එජාපයට ඡන්දය දෙන්න තරම් ජනතාව මෝඩ නෑ

එජාපයට ඡන්දය දෙන්න තරම් ජනතාව මෝඩ නෑ

ආචාර්ය මර්වින් සිල්වා
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය

හජන සම්බන්ධතා අමාත්‍යාංශය යනු කුමක්ද ? එහි කාර්යභාරය කෙසේද ? මේ මහජන සේවය ගමට ගෙන යා හැක්කේ කෙසේද ? සහ තවත් කාලීන දේශපාලන හා සාමාජීය කරුණු පිළිබඳ අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමඟ සිදු කළ සංවාදයකි.

* මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍යාංශය කියන්නේ කුමක්ද ? මෙම අමාත්‍යාංශයේ වගකීම් මොනවාද ? ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද ?

සමහරුන්ට මහජන සබඳතා අමාත්‍යාංශය කියපුවාම ඒ ගැන නිසි අවබෝධයක් නැහැ. ඒත් කලාපයේ සෙසු රටවල මහජන සබඳතා පිළිබඳ වෙනම අමාත්‍යාංශ පිහිටුවා තිබෙනවා. උදාහරණයකට ගනිමු ඉන්දියාව. ඉන්දියාවේ අගමැතිතුමා යටතේ තමයි මහජන සබඳතා කියන අමාත්‍යාංශය තිබෙන්නේ. මහජන සබඳතා විෂය තමයි රටක ප්‍රධානම විෂය විය යුත්තේ. රටක් ගොඩනගද්දී මහජනතාවගේ ප්‍රශ්න විසඳීම ප්‍රමුඛ කාරණයක් විදිහට සලකන්න පුළුවන්කම තිබෙන්නේ. මට ජනාධිපතිතුමා පවරා තිබෙන්නේ අති විශාල හා රටට ඉතාමත් වැදගත් වු විෂයක්.

රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබෙනවා නම් ඒ ගැන අවබෝධයක් ඇති කර ගැනීමට බැරි නම් සමාජය තුළ ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් වගේම රටේ දියුණුවටත් ඒ තත්ත්වය බාධාවක් වීමට තිබෙන ඉඩ ප්‍රමාණය වැඩියි. රජය මේ තත්ත්වය තේරුම් ගැනීම නිසා තමයි මහජන සබඳතා හා මහජන කටයුතු විෂය අමාත්‍යාංශ විෂයක් බවට පත් කර තිබෙන්නේ.

* ඒත් තවත් තර්කයක් බවට පත්ව තිබෙන්නේ ඔබට පවරා ඇති අමාත්‍යාංශයට විධිමත් විෂය පථයක් නොමැති බවයි ?

කවුද ඔය කතාව කියන්නේ ? මට තමා රටේ බලවත්ම විෂය පවරා දී තිබෙන්නේ. මට මහ පොළොවේ සිට උඩු ගුවන දක්වා හැම දෙයක්ම නිරීක්ෂණය කරන්න වගේම අවශ්‍ය සේවා සැපයීමට පුළුවන්කම තිබෙනවා. අනෙක මහජනතාව අතර සිටින මට මේ අමාත්‍යාංශය ඉහටත් උඩින්. මගේ අමාත්‍යාංශය මහජනතාව වෙනුවෙන් දවසේ වැඩි වේලාවක් විවෘතව තිබෙන්නේ.

මහජනතාවට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න දුරකථන අංකයක් තිබෙනවා. නැතිනම් මාව මුණගැහිලා මහජනතාවගේ ප්‍රශ්න විසඳාගැනීමටත් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටත් පුළුවන්කම තිබෙනවා. මේ විදිහට මහජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමට විශාල ප්‍රමාණයක් දිනෙකට මගේ අමාත්‍යාංශයට එනවා වගේම ඒ අයගේ ගැටලු විසඳීමටත් උපරිමයෙන් මැදිහත් වෙනවා.

* වර්තමාන තත්ත්වය අනුව මහජනතාවට ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට කොළඹ පිහිටි ඔබේ කාර්යාලයට එන්න ඕනෑ. ඔබේ අමාත්‍යාංශයෙන් කාර්යභාරය ගම් මට්ටමට විමධ්‍යගත කළ නොහැකිද ?

ඔව්, ඔබේ ප්‍රශ්නයට කලින්ම අපි මේ ගැන අවධානය යොමු කර අවශ්‍ය පියවර ගනිමින් සිටින්නේ. අප පසුගියදා “රාජ්‍ය සේවය ගමට” නමින් මේ ව්‍යාපාරය ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර තිබෙනවා. එමගින් දිස්ත්‍රික් ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරියා දක්වා සියලු නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයන් මෙහිදී මුණ ගැසෙන්න පුළුවන්. මගේ අරමුණ වෙලා තිබෙන්නේ ගමේ මිනිසාගේ ප්‍රශ්නය ගමේදීම විසඳා ගත හැකියි. මගේ අමාත්‍යාංශයේ අරමුණ හා ඉලක්කය වී ඇත්තේ එයයි.

* පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව පරාජය කිරීමට තරම් ශක්තියක් මේ වෙද්දි එජාපය සතු බව එම පක්ෂයේ ලේකම්වරයා ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ මේ තක්සේරුව ගැන ඔබේ අදහස මොන වගේද ?

එජාපයට අමු කැවිලද කොහෙද මීට අවුරුද්දකට පෙර ජනාධිපතිතුමා ජනාධිපතිවරණය ජයගත්තේ එදා එතුමා වැඩි ඡන්ද ලක්ෂ දහ අටක් ලබා ගත්තා. වලංගු ඡන්ද ප්‍රතිශතයෙන් 57.8 % ගත්තා. එතුමාගේ ප්‍රතිවාදි අපේක්ෂකයා වූ ෆොන්සේකා මහතා එජාපය, ජවිපෙ, ටී.එන්.ඒ., මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සියලු දෙනාගේ මුළු වැර යොදා ලබා ගත්තේ 40 % පමණයි. අද වෙද්දී ඒ පොදු විපක්ෂය දෙකට තුනට නෙවෙයි හතරට පහට කැඩිලා. එජාපය ඇතුලේ රනිල් පිල, සජිත් පිල, විදිහට කල්ලි දෙකයි. ජවිපෙ වෙනම යනවා. හකීම් මහත්මයා අපත් එක්ක එකතු වෙලා, ටී. එන්. ඒ. එක වෙනම තරග කරනවා.  මෙහෙම තියෙද්දී විපක්ෂයට ශක්තිමත්ව ඉදිරියට එන්න පුළුවන් කීවොත් ඒ දේ කියන පුද්ගලයා දේශපාලනය ගැන නොදන්න තොත්ත බබෙක්. එහෙම නැතිනම් මෝඩයෙක් වෙන්න ඕනෑ.

එදා ජනාධිපතිවරණයේදී කරන්න බැරි වූ දේ මහ මැතිවරණයේදී කරන්න බැරි වූදේ මේ පළාත්පාලන මැතිවරණයේදී කරන්න පුළුවන්ද ? මිනිස්සු දන්නවා ගමට වැඩ කළේ කවුද නැත්තේ කවුද කියලා. ඒ නිසා පළාත්පාලන ආයතනවලින් අති බහුතරයක් ආණ්ඩුවට දිනන්න පුළුවන්.  එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පිල එක තේමාවකින් තරගයට එද්දි සජිත් ප්‍රේමදාස මහතාගේ පිල තවත් තේමාවක් ඉදිරිපත් කරනවා. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා ගේ යුගයේ ඉඳලා අද දක්වාම එජාපය මැතිවරණවලට ඉදිරිපත් වුණේ එක තේමාවකින්. අද ඒ සම්ප්‍රදායත් එජාපය තුළ නැහැ. මේ විදිහේ අවුල් ජාලයක් වෙච්ච දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්න තරම් මෝඩයෝ නොවෙයි.

* ජනතා විමුක්ති පෙරමුණ ජනතාව රැවටිල්ලෙන් ගලවාගෙන රට අලුත් මගකට යොමු කරන බවට කියනවා ?

මේ අය අවුරුදු තිහ හතළිහක ඉඳන් කරපු රස්සාව තමයි රැවටීම කියන්නේ. හැත්තැ එකේදී තරුණයන් රැවටුවා. අසූ අටේදී තරුණයන් රැවටුවා. යළිත් විවිධ වෙස් මුහුණු දමාගෙන ඇවිත් මිනිස්සුන්ව රැවටුවා. ඔවුන්ගේ තේමා පාඨය ගැලපෙන්නේ ඔවුන්ගේම ක්‍රියාකාරීත්වයටයි. ජනතා විමුක්ති පෙරමුණ දැන්වත් තමන් නිසා පීඩාවට පත් වු ජනතාවගෙන් සමාව ගත යුතුයි. ජනතාව අද විශ්වාස කරන්නේ ජනාධිපතිතුමා පමණයි. ඔහු කිසිම දවසක මිනිස්සුන්ව රවටලා වැඩ කරලත් නැහැ. වැඩ කරන්නෙත් නැහැ. ඔහු යුද්ධය නිමා කර රටට සාමය උදා කරන්න අවංකවම ඇප කැප වුණා.

ඉන්පසු සංවර්ධනය වෙනුවෙන් ආර්ථිකයේ ස්ථාවරභාවය හා වර්ධනය වෙනුවෙන් ඉදිරිපත්ව තිබෙනවා. එතුමාට මේ හැම දෙයක් ගැනම අවංක උවමනාවක් තිබෙනවා. ඒ නිසා තමයි මෙවර සන්ධානය සපිරි ගමක් පිළිබඳ තේමා කරගෙන තිබෙන්නේ. මේ සපිරි ගම බිහි කරන්න නම් මේ පළාත් පාලන මැතිවරණයේදීත් නිදහස් සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදිය යුතුයි. මේ මොහොතේදී එජාපය නැතිනම් ජවිපෙට ඡන්දය ලබා දෙනවා කියන්නේ තමන්ගේ ඡන්දය අහක දමනවා කියන එකයි.

ගම්වලට පසුගිය කාලයේදී නොලැබුණ දෙයක් නැහැ. විදුලිය, මහාමාර්ග, පාලම්, බෝක්කු මෙකී නොකී හැම දෙයක්ම ලැබුණේ මේ ආණ්ඩුවේ පාලන කාලය තුළයි. එදා ගම් මට්ටමට ගියාම විදුලිය තිබෙන ගෙයක් දුරකථනයක් තිබෙන ගෙයක් වලවල් නැති පාරක් හොයන එක අමාරු දෙයක් වෙලා තිබුණේ. අද ගමකට ගියාම වලවල් තිබෙන පාරක් විදුලිය නැති දුරකථන නැති ගෙයක් හොයන එක අමාරු දෙයක් වෙලා තිබෙන්නේ. එදා හා අද වෙනස මේකයි. අද රට සංවර්ධනය සහජීවනය වෙත යන ගමන ආපසු හරවන්න ජනතාව සූදානම් නැහැ.

* ජන ජීවිතයේ එදිනෙදා සිදුවන ආර්ථික දුෂ්කරතා පිළිබඳත් මේ වන විට දේශපාලන කතාබහ ඇතිවෙලා තිබෙනවා. මේ තත්ත්වයට විසඳුමක් නැද්ද ?

ශ්‍රීලනිප ය කවදාවත් බොරු කියලා රවට්ටලා බලය ලබා ගත්තු දේශපාලන පක්ෂයක් නොවෙයි. මේ පක්ෂය තමයි යම් වැඩපිළිවෙලකට ජනතාව යොමු කර රට ගොඩනැගීමට හැමදාම උත්සාහ කළේ. අපට මතකයි 1977 අවුරුද්දේදී එජාපය ඡන්ද රැස්වීම් වලදී හබරල අල පෙන්නලා අපට කොලොප්පම් කරපු විදිහ. එදා ඒ අය මැතිණිය රට ගැන හිතලා ගෙන ආ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න නොකළ දෙයක් නැති තරම්. අදත් එජාපය ගත්තේ එදා ගත්තු උත්සාහයමයි. මහින්ද රාජපක්ෂ මහතාත් අද රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළකුයි අරගෙන යන්නේ.

ඔය විපක්ෂයේ ඉන්න රනිල්ලා, සජිත්ලා, දයාසිරිලා, අනුර කුමාරලා මොන දේ කියලා ජනතාව ගොනාට අන්දලා දක්කන්න හැදුවත් අද ජනතාව අන්දවන්නවත් දක්කන්නවත් බැහැ. අප හැම මොහොතේම සංසන්දනය කරන්න ඕනෑ එදා බඩු මිල හා අද බඩු මිල නොවෙයි. අද ලෝක බඩු මිලත් දේශීය බඩු මිලත් පමණයි. මේ වෙද්දි ලෝකෙ තෙල් මිල ඉහළ ගිහින් තියෙන්නේ. ඒත් මේ රටේ තෙල් මිල ඉහළ ගියේ නැහැ. මම දන්නා විදිහට කලාපයේ අඩුම තෙල් මිල තියෙන්නේ ලංකාවේ. ආහාර මිල වුණත් එහෙමයි. මේ රටේ කිසිම පුද්ගලයෙක් කන්න නැතිව මැරිලා නැහැ.

* ඔබ පහුගිය කාලයේදී මේ විදිහේ අර්බුදයක් ජය ගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව ප්‍රකාශ කළා. ඒ ගැන අද ඔබේ අදහස මොකක්ද ?

මම දවසෙන් දවසට අදහස් වෙනස් කරන මිනිහෙක් නෙමෙයි. එදත් අදත් මගේ අදහස එකයි. මේ විදිහේ අර්බුදයකදී රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ආණ්ඩුවේ පිටට ජනාධිපතිගේ පිටට සියලු පවු පටෝලා තමන් නිර්දෝෂයි කියලා පෙන්වන්නට. ඒකට විපක්ෂයේ දේශපාලන අවස්ථාවාදය හොඳින් රුකුල් දෙනවා. ඒත් මම කියන්නේ මේ විදිහේ ගැටලු වලදී 60 % වගකීම තියෙන්නේ ජනතාව අතේ. බඩු ගණන් බඩු ගණන් එළවළු ගණන් එළවළු ගණන් කිය කියා ඉන්නවාට වඩා සිදුවිය යුත්තේ තමන්ට තියෙන ඉඩමේ එළවළු පැලයක් අල වැලක් හිටවා ගන්න එක. මේක මහ දෙයක් නෙවෙයි. පර්චස් දහයේ ඉඩමේ වුණත් මේ දේවල් කරන්න පුළුවන්. එහෙම වුණොත් එළවළු ගන්න යන විශාල මුදලක් අපට ඉතිරි කර ගන්න පුළුවන්. මම මේ දේ කීව කියලත් සමහරු මට එක එක විදිහේ කතා කීවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා