ඊජීප්තු ජනපතිට එරෙහි විරෝධතා තවත් උග්‍ර අතට

ඊජීප්තු ජනපතිට එරෙහි විරෝධතා තවත් උග්‍ර අතට

හමුදා බලය යොදන බවට රජයෙන් රතු එළියක්

ඊජිප්තු ජනාධිපති හොස්නි මුබරක්ට ඉල්ලා අස්වන ලෙස බලකරන විරෝධතාවන් 17 වැනි දිනටත් දිග්ගැසී තිබේ. මේ විරෝධතා ව්‍යාප්තවීමත් සමග යුද හමුදා බලය යොදවා විරෝධතා මැඩපවත්වන බවට රජය අනතුරු අඟවා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පිහිටුවීම වෙනුවෙන් අරගල කරන ක්‍රියාකාරි විරෝධතාකරුවන් හමුදාව අත්අඩංගුවට ගන්නා බවත් ඔවුනට වදහිංසා පමණුවන බවටත් චෝදනා එල්ල වේ. තරීර් චතුරශ්‍රයේ සිට විරෝධතාකරුවන් දහස් ගණනින් පාර්ලිමේන්තු වෙත බදාදා පෙළපාළියකින් ගොස් ඇත.

හමුදාව මෙතෙක් මධ්‍යස්ථ ලෙස ක්‍රියා කළත්, මින් ඉදිරියට දැඩි පියවර ගනු ඇති බවට විදේශ ඇමැති අහ්මඩ් අබ්දුල් ගීට් අනතුරු අගවා තිබේ. හමුදාව රටේ පාලන බලය සියතට ගතහොත්, ඉතා භයානක තත්ත්වයක් උද්ගත විය හැකි බවට ඔහු වැඩිදුරටත් පවසා ඇත. එරට කුමන්ත්‍රණයක් ඇතිවීමට ඉඩ ඇති බවට උප - ජනාධිපති ඕමා සුලෙයිමාන්ද පසුගියදා අනතුරු අඟවා තිබිණි. ඊජිප්තු රාජ්‍යතන්ත්‍රයේ ක්ෂණික වෙනස්වීම් ඇති කළ යුතු බවට අමෙරිකාව කරන බලපෑම් අබ්දුල් ගීට් දැඩි විවේචනයට ලක්කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා