එජාපය බලයට ආ හැමවිටම රාජ්‍ය අංශය දුර්වල කළා

එජාපය බලයට ආ හැමවිටම රාජ්‍ය අංශය දුර්වල කළා

ඇමැති එස්. බී.

එජාප රජයන් බලයේ සිටි සෑම අවස්ථාවකම කළේ පෞද්ගලික අංශය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා රාජ්‍ය අංශය දුර්වල කිරීම බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා වසර 2001 ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු හඳුන්වා දුන් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වසර පහක් තුළ මෙරට රාජ්‍ය සේවය ලක්ෂ 9 සිට ලක්ෂ 4 දක්වා අඩුකිරීමට සැලැසුම් කළ බවද ඒ මහතා කීය. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ උඩුනුවර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයින්ගේ හමුවක දී දිසානායක මහතා මෙසේ පැවසීය.

උත්සවය දවුලගල සමුපකාර ශාලාවේ දී ඉකුත් 07දා පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙරට රාජ්‍ය සේවය මේ වනවිට ලක්ෂ 13 දක්වා වර්ධනය වී ඇතැයිද ප්‍රකාශ කළේය. වසර තිහක් පැවැති ත්‍රස්තවාදී ප්‍රශ්නය නිමවීමෙන් පසු අද රට සංවර්ධනය කරා ශීඝ්‍රයෙන් ගමන්කරන බවත් ඉදිරි වසර කිහිපය තුළ විරැකියාවට විසඳුම් ලැබෙන බවත් 27%ක්ව පැවති දිළිඳුකම මේ වනවිට 8% දක්වා අඩුවී ඇති බවත් ඒ මහතා කීය.

පාසලෙන්, කාර්මික විද්‍යාලයෙන්, තාක්ෂණ ආයතනයෙන්, විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවාට රැකියා සඳහා ඉල්ලුමක් තිබිය යුතු බවත් ඊට සරිලන දැනුමෙන් සන්නද්ධ ඉංගි‍්‍රසි භාෂාව කතා කරන අයෙකු මේ ආයතනවලින් බිහිකිරීම තම අරමුණ බවත් ඇමැතිවරයා කීවේය. එවැනි පසුබිමක් නිර්මාණය වූ පසු අපේ දරුවන්ට රැකියා ඉල්ලා මන්ත්‍රීවරුන් පස්සේ යාමට අවශ්‍ය නොවන බවද හෙතෙම අවධාරණය කළේය. මේ අවස්ථාවට මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන විල්සන් කුරුප්පුආරච්චි, මානෙල් බණ්ඩාර මහත්වරුද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා