ආහාර අර්බුදයට මුහුණ දෙමු

ආහාර අර්බුදයට මුහුණ දෙමු

ප්‍රායෝගික දේශපාලනඥයකු ලෙස අපි බැසිල් රාජපක්ෂ මහතා හඳුනාගෙන සිටිමු. ගමේ මිනිසුන් වත්ත පහළවතුර වලේ හිටවන කොහිල අලේ සිට සීතල නුවරඑළියේ සිටුවන කැරට් අලය දක්වා වු සියලු බෝග වගා පිළිබඳ ඔහුට හොඳ අවබෝධයක් තිබේ. ගමේ මිනිසුන් එදා කමතේ පැල් රකිමින් ගොයම පෑගු හැටිත් අද කිසිවකු නාඳුනන භූතයකු පැමිණ පැයෙන් දෙකෙන් ගොයම් ගොඩවල් වී කරන හැටිත් ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටී. ගමේ මිනිසුන්ගේ අවශ්‍යතාවලට හරස් වන පරණ පුස් කෑ නීති පොතේ ඇති බහුභූත කොන්දේසි ගැනත් ඒවානිසා ගමේ වැඩ අතපසුවීම ගැනත් බැසිල් රාජපක්ෂ මහතා හොඳින් අධ්‍යයනය කර තිබේ.

ඒවාට විසඳුම්ද තිබේ. ඉදිරියේදී ඇතිවන ලෝක ආහාර අර්බුදයට ඇඟට පතට නොදැනෙන සේ මුහුණ දිය හැකි සරල ක්‍රම ගැනත් එම ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක කරන ආකාරය ගැනත් ඔහු සතුව ඇත්තේ කිසිම විශේෂඥයකුට නැති දැනුම් සම්භාරයකි.  අපි මේ කෙටි හැඳින්වීම බැසිල් රාජපක්ෂ මහතා ගැන සඳහන් කළේ ඔහු මුරුංගා අත්තේ තැබීමට නොව ගැමි ප්‍රශ්න පිළිබඳවත් / රටේ ආර්ථිකය දියුණු කිරීම පිළිබඳවත් ඔහු තුළ ඇති ප්‍රායෝගික දැනුම ගැන පැහැදුණු බැවිනි. බුත්තලට ගොස් ගංවතුරෙන් පීඩාවට පත් ගොවි ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට යන වැව් දෙදහසේ සැලැස්මද ඔහු ඉදිරිපත් කර තිබේ.

වෙනත් දේශපාලනඥයන් මෙන් වැව් දහස් ගණනින් ඉදිකරන බවට කයිවාරු ගසා ඒවා සියල්ල අමතක කොට පරණ පුරුදු සටන් පාඨවලට බැසීම රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය නොවේ. දැනට ඇති වැව් සියල්ල සැඩ ගංවතුරට ගසාගෙන ගොස් සිඳී බිඳී ඇත. ගොවියාගේ වගාවට යොදා ගත හැකි ජල කඳ අනවශ්‍ය ලෙස ගලා ගියේ නම් වතුර රඳවා ගැනීමේ ක්‍රමයක් ගමට හඳුන්වා දිය යුතුය. ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා සූදානමින් සිටී. මේ අනුව ඉදිරි මාස කිහිපය තුළ ගමේ ආර්ථිකය නංවන වැව් සියල්ල ගොවි ජනතාවට අවශ්‍ය වන පරිදි සකස් කරන බවට අප තුළ කිසිම සැකයක් නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා