කියැවීමේ සංස්කෘතිය ක්‍රීඩාවටත් අත්‍යවශ්‍යයි

කියැවීමේ සංස්කෘතිය ක්‍රීඩාවටත් අත්‍යවශ්‍යයි

ප්‍රවීණ මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර

ඉංගී‍්‍රසි ජාතික වැවිලිකරුවෝ ස්වකීය විනෝදය උදෙසා ක්‍රිකට් ක්‍රීඩාව මෙරටට ගෙන ආහ. නකල්ස්, හුන්නස්ගිරිය හා පුස්සැල්ලාව කෝපි වතු පුරා ක්‍රිකට් ඉතා ජනපි‍්‍රය ක්‍රීඩාවක් බවට පත්වූයේ ය. එලෙසින් ඇරැඹි ක්‍රිකට් ක්‍රීඩාව සාහිත්‍යංගයක් ලෙස ක්‍රමිකව වැඩි වර්ධනය විය. ‘මුරලි විශිෂ්ටයන් අතර විශිෂ්ටයා’ රචනා වන්නේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. ලේක්හවුස් ආයතනයේ ක්‍රීඩා මාධ්‍යවේදියකු වන සම්පත් බණ්ඩාරයන්ගේ පස්වැනි ක්‍රීඩා සාහිත්‍ය කෘතිය වන මෙය ක්‍රිකට් සාහිත්‍යයෙහි ලා ක්‍රීඩා ලෝලීන් පාඨකයන් අවදි කිරීමට ගත් සාර්ථක උත්සාහයකි.

* ක්‍රීඩාව විෂය කොටගෙන ග්‍රන්ථකරණයට ප්‍රවිශ්ට ඔබ ජනමාධ්‍යවේදියකු ලෙස ආගමන පිළිබඳ සඳහන් කළොත්?

පුරා දශක දෙකක් මා ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරනවා. එහිලා මා උගත් පසුබිම මට රුකුල් දුන් බව මගේ අදහසයි. එහෙත් මාධ්‍යකලාවට ප්‍රවිශ්ට වීමේ සුවිශ්ෂී ආසාවක් මා තුළ පැවතියේ නැහැ. නමුත් පාසල් කාලයේදී පටන් මා ගීත රචනයට යොමු වුණා. ඒ නිර්මාණ ගායකයන්ට යැව්වා. මට ගීත රචකයෙක් වීමේ ආසාවක් පැවැතුණා. මේ ආසාව වැඩි වර්ධනය කළේ වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගය හා විශාරද නන්දා මාලිනිගේ ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගයෙන්. කෙසේ නමුත්, නවයුගය, වැනි පුවත්පත්වල මගේ කවි පළවුණා. 1993 දි මා දිනමිණ කර්තෘ මණ්ඩලයට බැඳෙද්දී පැවැති එකම පුරප්පාඩුව ක්‍රීඩා මාධ්‍යවේදියෙක්. මා යොමු කළේ ඒ පුරප්පාඩුවට යි. අනතුරුව දිනමිණ පත්‍රයේ ක්‍රීඩා සඟරාවේ හා ඩේලිනිව්ස් පත්‍රයේ ක්‍රීඩා අංශයට මා යොමු වුණා.

* ඔබේ කෘතියේදී ‘මුරලි නම් විශිෂ්ටයා’ පිළිබඳ කතා කරනවා. එම චරිතය තෝරා ගැනීමෙහිලා ඔබ උනන්දු කළ කාරණාවන් තිබෙනවාද?

කාරණා කිහිපයක්ම තිබෙනවා. පළමුවැන්න ඔහු සැබෑ විශිෂ්ටයෙක් වීම හා ශ්‍රී ලාංකීය කීර්ති නාමය ලොව පැතිරවීමෙහි ලා සුවිශේෂී දායකත්වයක් දැරූවෙක් වීමයි. ඊළඟට 2007 වර්ෂයේ මුරලි ශේන් වෝන් ගේ වාර්තාවට ළංව සිටියදී ඔස්ට්‍රේලියා සංචාරයක නියුක්ත වුණා. එහි බ්‍රිස්බෙන් නුවර සොෆිටෙල් හෝටලයේදී මුරලි මට ඇරයුම් කළා ඔහුගේ ජීවිත කතාව ලියන ලෙස. අනෙක් සුවිශේෂී කරුණ ක්‍රීඩා සාහිත්‍ය කෘති තව තවත් ලියන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මා දිරි ගැන්වීම. එතුමාට මා විසින් රචිත ග්‍රන්ථ හතරක් මේ වනවිට පිළිගන්වා තිබෙනවා. ඒ සියල්ලන් ක්‍රීඩාව හා සම්බන්ධයි.

* එහෙත් මෙරට ක්‍රීඩා සාහිත්‍ය නිසි ඇගයීමකට ලක්වනවාද යන්න මත භේදාත්මකයි නේද?

පැහැදිලිවම , ක්‍රිකට් ක්‍රීඩාවේ සාහිත්‍යයට ලංකාවේ තැනක් නෑ. එය සාහිත්‍යාංගයක් ලෙස හඳුනාගෙන නෑ. මේ තත්ත්වය ඇතිවීමට බලපාන සුවිශේෂි කරුණු තිබෙනවා. ප්‍රධානම හේතුව ඉංගී‍්‍රසි ජාතින් ක්‍රීඩාව හැර ක්‍රීඩා සාහිත්‍යයක් මෙරටට තිළිණ නොකිරීමයි. ඔවුන් ලංකාව ගැන, විවිධ දේ ලියා තැබුවා. රොබට් නොක්ස්, ඩේව් උදාහරණ ලෙස දැක්විය හැකියි. එහෙත් යුරෝපියයන් ඇරැඹූ ක්‍රිකට්, පාපන්දු වැනි ක්‍රීඩාවන් පිළිබඳ ඒ අය පත පොත ලියා තැබුවේ නෑ. එසේම ලංකාවේ කියවීම පිළිබඳ සංස්කෘතියක් නැහැ. එහෙත් ලෝකයේ වෙනත් බොහෝ රටවල කියවීම කියන්නෙ සංස්කෘතියක්. එය මෙරට තරුණ කොටස් අවධානය යොමු කළ යුතු ඉසව්වක්. එසේම අපට සිටින්නේ තරග නරඹන්නන් පමණයි. ලංකාවේ කුඩා වෙළෙඳ පොළට ක්‍රීඩා සාහිත්‍ය කෘති නැවුම් විෂයක්.

නමුත් ඉන්දියාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල මෙය බෙහෙවින් සම්භාවනාවට පාත්‍ර සාහිත්‍යංගයක්. උදාහරණයක් ලෙස ඉන්දියාවේ රාමචන්ද්‍ර ගුහා සඳහන් කළ හැකියි. ඔහු සමාජ විද්‍යාව පිළිබඳ යේල් විශ්වවිද්‍යාලයේත්, යුරෝපා විශ්වවිද්‍යාල ගණනාවකත් කථිකාචාර්යවරයෙක්. ඔහු විශ්වවිද්‍යාල ආචාර්ය ධූරයට සමුදීල වෘත්තීය ක්‍රීඩා සාහිත්‍යකරුවකු බවට පත්වූවා. මේ සාහිත්‍යවේදියා විසින් රචිත කෘති කාව්‍යමය බසක් ගෙන තිබීම සුවිශේෂී කරුණක්. රාමචන්ද්‍රගුහා විසින් රචිත ‘කෝනර් ඔෆ් ෆොරින් ෆීල්ඩ් ‘ කෘතියට එංගලන්තයේ ප්‍රබන්ධ නොවන කෘති අතරින් විශිෂ්ටතම කෘතියට හිමි සම්මානය පවා හිමිවූවා. එම කෘතියේ කවරයට ඔහු යොදා තිබුණේ සුපිරි ඉන්දියානු ක්‍රිකට් තරුවක් නොවේ. ආර්.කේ.නාරායන් තම දරු මුණුපුරන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන පැරැණි කළු සුදු ඡායාරූපයක්.

* ලාංකේය ක්‍රිකට් සාහිත්‍යයේ ආරම්භය පිළිබඳ සඳහනක් කළ හැකිද?

ක්‍රිකට් පිළිබඳ ලිඛිත සඳහනක් අපට ප්‍රථම වරට හමුවන්නේ 1832 වසරේ කලම්බු ජර්නල් පුවත්පත තුළින්. එහි සඳහන්ව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවට කැමැති අය ක්‍රීඩා සමාජයක් ඇති කිරීම සඳහා වන සාකච්ඡාවට කොළඹ කොටුවේ පුස්තකාලයට පැමිණෙන ලෙසයි. 1935 දී රාජකීය විද්‍යාලයට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දෙනු ලබනවා. ඒ ආ ගමන වර්තමානය දක්වා ඉතා සාර්ථක ඉනිමං ඔස්සේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඔසවා තැබුවා. කෙසේ නමුත් මෙරට ක්‍රීඩා සාහිත්‍යයක් පිළිබඳ වැදගත් කඩඉමක් වන්නේ 1926 දී. එෆ්. ෆොනැන්ඩර් නම් බර්ගර් ජාතිකයා ‘සික්ස්ටි ඉයර්ස් ඔෆ් සිලෝන්’ ක්‍රිකට් නමින් ලංකාවේ ප්‍රථම පරිපූර්ණ ක්‍රිකට් ඉතිහාස ග්‍රන්ථය රචනා කිරීමත් සමඟයි. මෙරට ක්‍රිකට් සාහිත්‍ය පිළිබඳව කළ මෙහෙය වෙනුවෙන් ෆොනැන්ඩර්ට එංගලන්තයෙන් එම්.බී.ඊ. ගෞරව නාමයක් පවා හිමි වුණා.

එතැනින් ඇරැඹි ක්‍රිකට් සාහිත්‍යයේ පෝෂණයට බොහෝ පිරිසක් වර්තමානය වනවිට දායක වී සිටිනවා. කෙසේ නමුත් මෙම සාහිත්‍යංගයට ප්‍රමාණවත් විචාර කලාවක් ගොඩනැගී නැහැ. බොහෝමයක් ග්‍රන්ථ ලකුණු පුවරුවලට සීමා වෙලා. බොහෝමයක් නීතිරීති ඇතුළත් ග්‍රන්ථ. විෂය දැනුම හා බද්ධ වූ සමාජ විද්‍යාත්මක පදනමක් එහි පැවැතිය යුතුයි. එනම් ක්‍රීඩාවේ සමාජ විද්‍යාත්මක පදනම හා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කළ යුතුයි. මෙතැනදීත් නිදසුනක් ලෙස රාමචන්ද්‍රගුහා සඳහන් කළ හැකියි. එසේම නූතන කී‍්‍රඩා සාහිත්‍ය ආරම්භ වූයේ එංගලන්තයෙන්. නෙවිල් කාඩස් වැනි ලේඛකයෝ ලකුණු පුවරුවෙන් බැහැරව ක්‍රීඩාව විස්තරකොට තිබෙනවා. ඔපෙරා, සිම්පනි වැනි වචනත් ඊට එක් කොට ඇති ආකාරය අපට දැකගත හැකියි.

* ‘මුරලි - විශිෂ්ටයන් අතර විශිෂ්ටයා ‘Murali - The Greates Among the Great’ ඔබේ පස්වැනි කෘතිය සෙසු කෘති ක්‍රිකට් ක්‍රීඩාව අලළාම රචිත දෑ වූ ඒවා ද?

නැහැ. ඉන් එක් කෘතියක් පාපන්දු ක්‍රීඩාව හා තවත් කෘතියක් ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසය හා සම්බන්ධයි. විශ්වයේ ජනපි‍්‍රයම ක්‍රීඩාව - පාපන්දු, මෙම කෘතියෙහි පාපන්දු ක්‍රීඩාවේ ලෝක ඉතිහාසය, ලෝක කුසලාන ඉතිහාසය, විශිෂ්ට ක්‍රීඩකයන්, පිළිබඳ තොරතුරු ඇතුළත්. ම’විසින් රචිත ‘ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසය’ මෙරට මලල ක්‍රීඩාවේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු ප්‍රථම පර්යේෂණාත්මක කෘතියයි. එය දීර්ඝ කාලයක් පර්යේෂණයට බඳුන් වූ කෘතියක් බව සඳහන් කළ යුතුයි. ඊට 1868 සිට 2008 දක්වා මෙරට මලල ක්‍රීඩා ඉතිහාසය අන්තර්ගතයි.

මා ලිවූ ප්‍රථම ග්‍රන්ථය ‘අර්ජුන රණතුංග‘ පිළිබඳ වූවක්. එය 1996 ලෝක කුසලාන ජයග්‍රහණය අවස්ථාවේදී පත්තර කලාවේ මගේ ගුරුතුමා වන ධර්මසිරි ගමගේ මහතා මෙම අවස්ථාව අලලා කෘතියක් කරන්නැයි කළ ඉල්ලීමෙහි ප්‍රතිඵලයක්. මගේ තවත් කෘතියක්, ‘ක්‍රිකට් වංශකතාව‘ එහි ලෝකයේ ක්‍රිකට් ආරම්භයේ පටන් අද දක්වා වන සුවිශේෂී සිදුවීම්, ඡායාරූප, ආදිය ඇතුළත්. කෙසේ නමුත් ‘මුරලි විශිෂ්ටයන් අතර විශිෂ්ටයා’ තුළිනුත් මා අපේක්ෂා කළේ ක්‍රීඩා සාහිත්‍ය උදෙසා අංශු මාත්‍රයක හෝ සේවයක් මා හට කළ හැකි නම් එය උපරිමයෙන් ඉටු කිරීමයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා