කාලානුරූපව කවිය ද වෙනස්විය යුතුයි

කාලානුරූපව කවිය ද වෙනස්විය යුතුයි

ප්‍රකට කවි මාතර පී. ඩී. ඇම්. ආරියදාස

මාතර පී. ඩී. ඇම්. ආරියදාස මෙරට කාව්‍ය ක්‍ෂේත්‍රයට නම් ආගන්තුක නමක් නොවේ. ඒ ඔහු දශක පහක් පුරාවටම බැඳී සිටියේ කවිය සමඟිනි. ඔහු නිරතුරුවම කවිය සැබැවින් ම හඳුනාගෙන නිර්මාණකරණයේ යෙදුණු මානව දයාවෙන් යුතු කවියෙකි. එනිසාම මාතර පී. ඩී. ඇම්. ආරියදාස කවියා පෙර පරපුර අතර පමණක් නොව නූතන කවි ලියන කියවන කවි කිවිඳියන් මෙන් ම පාඨකයා අතර ද විශේෂ නමක් දිනා ගත්තෙකි. ප්‍රචලිත කවියෙකි. පී. ඩී. ඇම්. ආරියදාස කවියට ලොල් බැන්දේ පුංචි සන්ධියේ සිටමය. මාතර පාලටුවේ උපන් ඔහු මාතර ජිනරාජ විදුහලින් ඉගෙනුම හදාරා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස රැකියාව කරද්දී ද කවි ලිවීම මදකට හෝ අතපසු කළේ නැත. බැන්ටිස් රණවීර ගේ ‘කිවියර’ සඟරාවෙන් ඇරැඹි ඔහුගේ කවි ලිවීම වඩාත් ඔපවත් වූයේ ‘සිළුමිණ’ පුවත්පත හරහා ය.

ප්‍රථමවරට ඔහුගේ කවි පංතියක් සිළුමිණ පුවත්පතේ පළ වූයේ 1959 වසරේදී ය. එවකට එහි කර්තෘ වූයේ ප්‍රකට කවියකු වූ මීමන ප්‍රේමතිලක මහතායි. එදා පටන් අද වන තුරුත් ආරියදාස කවියා අඛණ්ඩව ම ‘සිළුමිණ’ ට කවි ලීවේ ය. ‘සිළුමිණ’ පමණක් නොව ජනතා, යොවුන් ජනතා, තරුණි, සරසවිය, නවයුගය, දිනමිණ, මිහිර ඇතුළු ලේක්හවුස් හි ප්‍රකාශයට පත්වන බොහෝ සිංහල පුවත්පත්වල මෙන් ම ‘රසවාහිනි’, ‘වත්මන’ ආදියෙහි ද ඔහුගේ කවියට නිරතුරුවම ඉඩක් ලැබුණේ ය. කලක් තරුණි පුවත්පතට ස්වයං රැකියාවන් දිරි ගැන්වීම සඳහා කවියෙන් ඔහු අදහස් ඉදිරිපත් කළේය. එය ඉතාම ජනප්‍රිය විශේෂාංගයක් වූ බව ඔහු මතක් කරන්නේ සතුටිනි. ජාතික පුවත්පත් මෙන්ම විකල්ප පුවත්පත්වලට ද ආරියදාස කවියා නිර්මාණ ඉදිරිපත් කළේ ඊට උචිත පරිදිය.

මාතර පී. ඩී. ඇම්. ආරියදාස කවියාහට කවියෙන් තොර ජීවිතයක් නැති තරම් ය. ඔහුගේ ආත්මය වූයේ කවියයි. ඔහුගේ කවියට මුල් යුගයේ ගුරුහරුකම් ලැබුවේ කුමාරතුංග මුනිදාස, පී. එස්. මුතුකුමාරණ සහ ජයවීර ගුරුවරුන්ගෙනි. එලෙස කවියට පෙම් බැඳි ආරියදාස කවියාණන් තම ජීවිත කාලය පුරා ලියූ දහසක් කවි අතරින් සිත්ගත් කවි එකතු කොට කාව්‍ය පොතක් පළ කළේය. ‘රතුමල සහ වෙරළේ ගීතය’ නම් වූ එය ඔහුගේ කුළුදුල් කාව්‍ය එකතුව වෙයි. දශක පහකට වැඩි කාලයක් කවිය සමඟම ජීවත් වූ ඔහු කවිය ගැන පළ කළේ මෙවන් අදහසකි. ‘මම නම් හිතන්නේ කවිය කියන එක ගත්තම අනෙක් නිර්මාණ වගේ එයත් වෙනස් විය යුතුයි. එහෙම නොවුණොත් කවියට පැවැත්මක් නැතිව යනවා. වෙනස්වීම කියන්නේ පොදු ස්වභාවයක්. හැබැයි මේ වෙනස්වීම උචිත පරිදි උසස් විදිහට සිදුවිය යුත්තක් මිස බාල වීමක් සිදු නොවිය යුතුයි.’

මේ වෙනස් වීමේ දී අපි හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. එහි දී කවියේ අරුත, රිද්මය හා බැඳුණු දර්ශනය තුළින් සමාජයට යම් මෙහෙයක් කිරීම අනිවාර්යයෙන් ම සිදුවිය යුත්තක්. අතීතයේ දී මේ කාර්යය කවියෙන් ඉෂ්ට සිද්ධ වී තිබෙනවා. වර්තමානයේත් සිද්ධ වන බව පෙනෙනවා. අනාගතයේදීත් එය එසේ ම සිදු කළ හැකියි. කවිය කියන්නේ එතරම්ම ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක්. රජෙක් වෙලා පස්සේ කාලෙක රජකම නැති වී යා හැකියි. නමුත් කවියෙකුගේ කාව්‍යමය ශක්තිය යුගයෙන් යුගය පවතී. එම නිර්මාණාත්මක ශක්තිය කිසිවිටෙකත් අත කොළුවක් සේ පාවිච්චි නොකළ යුතුයි.’ ජ්‍යෙෂ්ඨ කවිවරයෙකු වූ ආරියදාස මහතා පවසයි. එසේ ම කාලීන ලෙස කවිය වෙනස් විය යුතු බව තරයේ ම විශ්වාස කරන අතර ඒ වෙනස සිදුවිය යුතු ආකාරය ගැන ද යම් අදහසක් පළ කරයි. ‘එක් කාලයකට හෝ එක් අවස්ථාවකට පමණක් හෝ කවිය සීමා නොවිය යුතුයි. ඔහුගේ කවිය යථාර්ථයට නැඹුරුව වෙනස් විය යුතුයි.

ඒ වෙනස්වීමේ දී යම්කිසිවෙකුගේ වහලෙකු හෝ අසම්මතයේ හිතුවක්කාරයකු නොවී මධ්‍යස්ථව හිඳිමින් ජනතාවගේ ප්‍රගමණය උදෙසාම විය යුත්තක් විය යුතුයි. අදට වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් ම කවිය යොමු විය යුතුයි. ආරියදාස කවියා සෑම විටම ජනතා මෙහෙවර උදෙසාම කවිය කැප කළේය. කවිය රසවත් වැකියක් ලෙස යොදා ගනිමින් ඔහු මානව අයිතිවාසිකම් පිළිබඳ සාමානාත්මතාවය යුක්තිය සාධාරණය අසාධාරණය, ජාත්‍යාලය මේ සියල්ල කැටි කොට ගනිමින් කාව්‍යකරණයේ නියැළුණි. ඔහුගේ කවියෙන් කිසිවිටෙකත් සංස්කෘති ලක්ෂණ අවඥාවෙන් බැහැර නොකළේ ය. හැදුනු වැඩුණු දේශය, භාෂාව සුරකිමින් සුලලිතව තම නිර්මාණකරණ හසුරුවා ගන්නට නිතරම ප්‍රයත්න දැරූ කවියෙකි. සොඳුරුබව ආත්මය කොටගනිමින් ජීවිතයේ යථාර්ථය මැනැවින් අරුත් ගැන් වූ ඔහු අතින් විවිධ අවස්ථාවන්හි ලියැවුණු කවි පැදි සමූහයකින් ‘රතුමල සහ වෙරළේ ගීතය’ සුසන්විත වෙයි.

බොහෝ පැරැන්නෝ නිතර නඟන මැසිවිලියක් නම් නූතන පරම්පරාව ඔවුන් ගැන නොසලකන බවයි. එහෙත් ආරියදාස කවියා ඒ අදහසට එකහෙළාම විරුද්ධ වෙයි. ඔහුගේ කාව්‍ය නිර්මාණ අගයමින් ලද පුද සත්කාර ගැන ද ඔහු සතුටින් මතක් කළේ ය. කලාභූෂණ, තරුණ කවි සම්මේලනයෙන් ලද සම්මාන වරක් ‘සිළුමිණ’ පුවත්පතින් ලැබුණ සම්මානයක් ගැන ද ඔහු සිහිපත් කළේ ය. ‘දැන් කවිය කොළඹ යුගය කියලා බෙදලා තියෙනවා. නමුත් මම නම් හිතන්නේ කවිය එහෙම යුගයකට බෙදා වෙන් කළ හැක්කක් නෙමෙයි. ඒ වගේ ම සදැස් නිසදැස් කියලා බෙදීමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. අපට තියෙන්නේ ‘ගැදි සහ පැදි’ කියන බෙදීම විතරයි. ගැදි කියන්නේ ලිවීම. පැදි කියන්නේ පැදලා කීම වශයෙනුයි. ඒ අතර චම්පු කාව්‍ය තිබිය හැකියි.

ඒ වගේ ම මට එක්තරා කනගාටුවක් තියෙනවා. එනිසා මේ දේ කියන්නට ඕනේ. වත්මන් පරපුරට පැරැණි කවියෝ පිළිබඳ එතරම් දැනීමක් අවබෝධයක් තිබෙන බව පෙනෙන්නට නැහැ. ඒ නිසා මම හිතනවා; පැරැණි කවියන්ගේ වතගොත එළිදැක්වීම කළ යුතුයි කියලා. අතීතය නොදැන වර්තමානයට යන්න බැහැ. ඒ නිසා පෙර පරපුර ගැන පාසලේදීවත් දරුවන්ට කියා දිය යුතුයි. ඒ කිවිපති ආරියදාසයන්ගේ අදහස් ය. ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් රන්පොකුණුගම නිවාස සංකීර්ණයේ නිස්කලංක පරිසරයක සුවය විඳිමින් තවමත් කවි ලියන ඔහුගෙන් මම සමුගත්තේ තවත් චිරාත් කලක් යෙහෙන් වැජැඹෙන්නට දිගාසිරි ද පතමිනි. දරුවන් පස් දෙනෙකුගේ ආදරණීය පියෙකු වන ආරියදාස මහතා කලා ලොවට දායාද කළ සඳුන් ගමගේ මෙරට සිටින ජනප්‍රියතම ඡායාරූප ශිල්පියෙක් හා මාධ්‍යවේදියෙකු වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා