ජනාධිපතිතුමා කාටුන් ශිල්පීන්ට සුවිශේෂී චරිතයක් වුණා

ජනාධිපතිතුමා කාටුන් ශිල්පීන්ට සුවිශේෂී චරිතයක් වුණා

ඩබ්ලිව්. බී. ගනේගල
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම්

නමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය මගින් "සැරද මහින්ද"නමින් කාටුන් චිත්‍ර ඇතුළත් ග්‍රන්ථ පෙළක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ කාටුන් පොත් පෙළෙහි ඇතුළත් වන්නේ 2007, 2008, 2009 සහ 2010 වර්ෂවලදී පුවත්පත්වල පළ වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන චරිතය විවරණය කරන පුවත්පත් කාටුන් රැසකි. "සැරද මහින්ද" කාටුන් පොත් පෙළ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතාගේ සංකල්පය අනුව පළ වූවකි. මේ පොත් පෙළ පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සිදු කළ සංවාදයකි මේ.

* සැරද මහින්ද නමින් ජනාධිපතිතුමාව කාටුන් ශිල්පීන් දකින ආකාරය මුල් කරගත් ග්‍රන්ථයක් මුල්වරට පළ වන්නේ 2006 වර්ෂයේදී ය. ඉන්පසු තවත් ග්‍රන්ථ මාලාවක් 2007, 2008, 2009 සහ 2010 වර්ෂ මුල් කර ගනිමින් එළිදක්වා තිබෙනවා. මේ සංකල්පයේ නිර්මාතෘවරයා ඔබයි. ඇත්තෙන් ම ඔබට මෙවැනි අලුත් දෙයක් කිරීමට සිතුණේ ඇයි ?

ජනාධිපතිතුමාව කාටුන් ශිල්පීන්ට සුවිශේෂ චරිතයක් වුණා. මා සිතන විදිහට පසුගිය කාලය තුළ කාටුන් ශිල්පීන්ගේ අවධානය වඩාත්ම යොමු වූ චරිතය තමයි මහින්ද රාජපක්ෂ චරිතය. මා මේ තත්ත්වය දිගන් දිගටම දුටුවා. මෑත කාලයේදී පමණක් නොවෙයි. 2002 සිට එතුමා විපක්ෂනායක ධුරය දරද්දී, අගමැති ධුරය දරද්දී පවා එතුමාව කාටුන් ශිල්පීන් විවිධ දෘෂ්ටි කෝණවලින් දුටුවා. එදා ඉඳලා මා මෙම කාටුන් චිත්‍ර එක් රැස් කරන්න උනන්දු වුණා. මුල දී මගේ හිතේ තිබුණේ මේ කාටුන් පොතකට එක්කළ යුතුයි කියලා. එහෙත් කාලය යද්දී මා සිතුවා අනාගත පරපුරට සිදු කරන දැනුම්වත් කිරීමක් විදියට කාටුන් එකතුව ග්‍රන්ථයක් බවට පත් කිරීමට.

ඒ විදියට සම්පාදනය වූ මේ පොත ජනාධිපතිතුමාගේ පළමු පදවි ප්‍රාප්තියේ දී වීරවිල යෙදුණු උත්සවයේ දී ජනාධිපතිªතමාට පිළිගැන්වූවා. ඉන් මද කළකට පසු ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවාස අමාත්‍යාංශයටත්, ඛනිජ තෙල් අමාත්‍යාංශයටත් ලේකම්වරයෙකු විදිහට ස්ථාන මාරු ලැබුණා. ඒත් මා එම කාලය තුළත් ජනාධිපතිතුමා පිළිබඳ ඇඳී කාටුන් එක්රැස් කළා. දිගු කාලයකට පසු යළිත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මට 2009 දී යළිත් පැමිණීමට අවස්ථාව ලැබුණා. ඉන්පසු යළිත් 2007, 2008, 2009 සහ 2010 වර්ෂවලදී පුවත්පත්වල පළ වූ මහින්ද රාජපක්ෂ චරිතය පදනම් කර ගත් කාටුන් ඇසුරින් මෙම ග්‍රන්ථ පෙළ ඉදිරිපත් කළේ.

* කාටුන් ශිල්පීන් ජනාධිපතිතුමා පිළිබඳව සිදුකර ඇති කාටුන් විචාරවලින් ඔහුගේ දේශපාලන පෞරුෂයට මොන විදිහේ බලපෑමක්ද සිදුකර ඇත්තේ

කාටුන් ශිල්පීන් ගේ කාටුන් මඟින් ජනාධිපතිතුමා ගේ දේශපාලනය ඉහළ යාමක් මිසක් ඔහු ගේ දේශපාලන පෞර්ෂයට හානියක් මෙමඟින් සිදුවෙලා නැහැ. බොහෝ අවස්ථාවල කාටුනයක් මඟින් දේශපාලනඥයකුගේ දේශපාලන චරිතයට, පෞර්ෂය බලපෑමක් සිදුවෙනවා. ඒත් ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයට මේ කාටුන් මඟින් හානියක් වෙලා නැහැ. ජනාධිපතිතුමාව දේශපාලන වශයෙන් විවේචනය කරන කාටුනයක දී වුණත් මා ඉහත සඳහන් කළ ලක්ෂණ වෙනස් වෙලා නැහැ.

* මේ ග්‍රන්ථ මාලාව තුළ ජනාධිපතිවරයාව විවේචනය කරන කාටුන්වලට සාධාරණ ඉඩක් ලබා දී තිබෙනවාද ?

මෙතනදී අප කාටුන් තෝරද්දී විවේචනාත්මකද නැද්ද කියලා සොයා බැලුවෙ නැහැ. ඒත් අපහසාත්මක කාටුන් නම් අප මෙහි පළ කෙළේ නැහැ. ඒත් අපහාසය නැති හොඳ උපහාසත්මක ලක්ෂණ ඇති කාටුන් මේ පොතට ඇතුළත් කර නැහැ. මොකද එවැනි අපහාසාත්මක දේවල් මෙවැනි ග්‍රන්ථයකට ඇතුළත් නොකළ යුතුයි කියන ස්ථාවරයේයි අප සිටියේ. මෙහිදී මට පෙනී යන තවත් දෙයක් තියෙනවා මෑත කාලයේ දේශපාලඥයකු වෙනුවෙන්, රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් වැඩි ම කාටුන් චිත්‍ර ඇඳ තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙනුයි. මෙයත් විශේෂ අවස්ථාවක් විදිහට දක්වන්නට පුළුවන්.

* කාටුන් වැනි කලාවක් තුළ දේශපාලනය විග්‍රහ කළ හැක්කේ මොන විදියටද ?

වචන දහසක මහා විග්‍රහයකින් කියන්න පුළුවන් අදහසක් කාටුන් ශිල්පියෙකුට පින්සල් පහර කිහිපයකින් ලබා දෙන්න පුළුවන්. කාටුන් කලාව තුළ මා දකින විශේෂත්වය වන්නේත් එයයි. දහසක් වැඩ මැද පවා මා මේ විදිහට කාටුන් එකතුවක් ඇති කිරීමට යොමුවන්නේත් කාටුන් චිත්‍රයේ ඇති මේ සුවිශේෂි ගුණය නිසායි. එමෙන් ම දේශපාලන මතයක් තුලනාත්මකව තවත් කලාත්මක ආකාරයට ඉදිරිපත් කිරීමක් ද කාටුනයෙන් සිදුකළ හැකියි.

* මේ කාටුන් ග්‍රන්ථ පොත පාඨකයන් අතරට කුමන ආකාරයට ද යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ?

මේ පොත් විවෘත වෙළෙඳපොළට යොමු කිරීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ. ඒත් දිවයින පුරා පළාත් පාලන ආයතනවලට අනුබද්ධ පුස්තකාල ආයතනවලට මේ පොත ලබා දෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට මහජන පුස්තකාල හරහා මේ පොත පරිශීලනයටත් රසවින්දනයටත් එක්විය හැකියි. එමෙන්ම පාසල් පුස්තකාලවලටත් "සැරද මහින්ද " පොත් පෙළ ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. තවද මෙරට පිිහිටි සෑම විදේශීය තානාපති කාර්යාලයකට ම මේ පොත් පෙළ අප දැනටමත් ලබා දී තිබෙනවා. මට මේ වෙද්දී තානාපති නිලධාරීන්ගෙන් මේ පොත අගයමින් ප්‍රතිචාර රාශියක් ලැබී තිබෙනවා.

* මේ කාටුන් පොත්පෙළට ජනතාවගෙන් ලැබුණ ප්‍රතිචාරය මොන වගේද ?

බුත්තල දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී අප ගේ ප්‍රදර්ශන කුටියේ දී මේ පොත් පෙළට ඇතුළත් කාටුන් ප්‍රදර්ශනයට තැබුවා. එහි දී මේ ප්‍රදර්ශන කුටියට විශාල ලෙස ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාර ඇතුළත් සටහන් පොත් පවා අප මෙහි තැබුවා. මෙහි දී ජනතාව මේ කාටුන්වලට දක්වන ප්‍රතිචාර දහස් ගණනක් සටහන් කර තිබුණා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා