වැඩිහිටි නිවාස  සංස්කෘතියේ  හෙට දවස

වැඩිහිටි නිවාස  සංස්කෘතියේ  හෙට දවස

වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ සංස්ථාව දෙස බලනවිට එහි ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් වැඩිහිටියන් ලෙස සැලකිය හැකි ය. අප සාමාන්‍යයෙන් වැඩිහිටියන් ලෙස සලකන්නේ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් ය. 2000 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් දස දෙනෙකුටම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් එක් අයෙකු සිටි අතර 2025 වන විට එය 5:1ක් වනු ඇත. වයස අවුරුදු 18 සහ 60 අතර කාලය සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ක්‍රියාකාරී වයස ලෙස හැදින්විය හැකි ය.

පුරාණයේ සිට පවුලේ සාමාජිකයින් හා ළඟම ඥාතීන් විසින් පවුලේ වැඩිහිටියන් රැක බලා ගැනීම තම වගකීමක් ලෙස සැලකුනි. එහෙත් කල් ගතවන විට ඇතිවූ ප්‍රජා විද්‍යාත්මක, සමාජ, ආර්ථික හා සංස්කෘතික වෙනස්වීම් සමඟ මේ තත්ත්වය වෙනස් වී ඇත. වර්තමානයේ පවතින ආර්ථීක රටාව තුළ පුද්ගලයා කාලය ගැන නොතකා බොහෝ වේලාවක් තම කටයුතු සඳහා යොදවයි. එහි දී තම නිවසේ සිටින මවුපියන්ට, වැඩිහිටියන්ට සැලකීමට ඔහුට වේලාවක්, අවස්ථාවක් නොලැබේ. මේ නිසා ඔවුන්ට සැලකීම සඳහා වෙනත් ක්‍රමයක් යෙදීමට ඔහුට සිදුවේ. තමන් ගේ පවුල, එනම් බිරිඳ සහ දරුවන් වෙනුවෙන් ද ඉටුකළ යුතු යුතුකම්, කාර්යයන් රැසක් ඔහු පිට පැටවෙයි. මේ නිසා එම වැඩ කටයුතුවලින් තරමක් හෝ නිදහස් වීම සඳහා ඔවුහු පවුලේ වැඩිහිටියන් වැඩිහිටි නිවාසයක රැඳවීමට කටයුතු කරති.

බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද කම්කරු වැටුප් ක්‍රමය නිසා අතීතයේ සිට පැවති රාජකාරි ක්‍රමය අහෝසි විය. ඒ නිසා පවුලේ වැඩිහිටියන් රැකබලා ගැනීමට විසඳුමක් ලෙස වැටිහිටි නිවාස ඇති විය. මෙම නිවාස සඳහා ස්වේච්ඡා ආධාර සහ පුණ්‍යාධාර ලැබුණු අතර රජයෙන්ද මුදල් ආධාර ලබාදෙන ලදී. මෙහි වැදගත් ම මූලධර්මය වූයේ ඉතාම සුදුසු අනාථ වැඩිහිටියන්ට ජීවත්වීමට කිසියම් ආකාරයක ආධාරයක් සැපයීමයි.

අනතුරුව සමාජයේ ක්‍රමයෙන් ඇති වන්නට වූ වෙනස්කම් නිසා සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් රජයේ ද වැඩිහිටි නිවාස ඇති කරන ලදී. මේ අතර කිසියම් මුදලක් ගෙවීමේ හැකියාව ඇති ධනවත් පුද්ගලයන් සඳහා වෙනම ම සුඛෝපභෝගී වැඩිහිටි නිවාස ඇති විය. මෙසේ දූ පුතුන් රැකියාවල යෙදීම නිසා ඔවුන්ගෙන් නිසි සංග්‍රහ, සත්කාර විඳීමට නොලැබෙන වැඩිහිටි පිරිස් සඳහා මෙසේ වැඩිහිටි නිවාස ඇති වන්නට විය. වැඩිහිටි නිවාසවල සිටින්නන්ගෙන් වැඩි දෙනෙක් තමන්ගේ වැඩ තමන්ට ම කරගත හැකි තත්ත්වයක සිටිති. අන් අයගේ උදව් අවශ්‍ය අය සිටින්නේ සුළු පිරිසකි. ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනයෙන් ආයතන ගත රැකවරණය සොයන්නේ 1%ක් පමණ වූ සුළු පිරිසකි. මොවුන් මේ නිවාසවලට පැමිණෙන්නේ සිය කැමැත්තෙන් නොව ඔවුන් රැක බලා ගැනීමට පවුලේ සාමාජිකයින් හෝ ඥාතීන් නිවෙස්වල නොමැති නිසා ය. මුදල් ගෙවන නේවාසිකයින්ට ඉඩකඩ ඇත්තේ නිවාස සුළු සංඛ්‍යාවක පමණි.

වයස්ගත අය ඉතාම මහලු වනතුරු ස්වාධීන ජීවිතයකට ලැදියාවක් දක්වති. අවුරුදු අසූව ඉක්ම වූ පිරිස් මෙහි දී සැලකිල්ලට ගත යුතු ය. ඔවුහු වැඩිහිටි නිවාසයට වඩා තම නිවසේ ජීවත් වීම පි‍්‍රය කරති. නමුත් නිවැසියන් ගේ රාජකාරි සහ අනෙකුත් කටයුතු නිසා ඇති වන අවිවේකී බව නිසා ඔවුන්ට සැලකීමට කාලය ප්‍රමාණවත් නැත. එසේ ම වර්තමාන ජීවන රටාව අනුව බොහෝ දෙනෙක් ආර්ථික අපහසුතාවලින් පීඩා විඳිති. ඒ අතර මවුපියන්ට ද සැලකීමට සිදුවීම ඔවුන්ට දුෂ්කර කටයුත්තකි. වයස්ගත වනවිට සෞඛ්‍යයේ පිරිහීමක් ද සිදු වන අතර විවිධ බෙලහීනතා ඇතිවනු පෙනේ. අඩු ආදායම් සහිත පිරිසකට රජයෙන් දෙනු ලබන ආධාර දීමනාව ඔවුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් නැත. ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම් හෝ ඔවුන් සපයා ගත යුතු ය. අවශ්‍ය වන්නේ පිං පිණිස යමක් දීම නොව ඔවුන් ගේ තත්ත්වය තේරුම් ගෙන යම් ඵලදායී කටයුත්තක් සම්බන්ධ දීමනාවක් ලබා දීම ය.

වැඩිහිටියන් ගේ මහලු වයස හා සම්බන්ධ රෝග මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය විධි සැපයිය යුතු ය. රජය මගින් වැඩිහිටියන්ට විශ්‍රාම වැටුප් සහ ජීවනාධාර ලෙස ද විශාල මුදලක් යොදවනු ලැබේ. ශ්‍රී ලංකාවේ විශ්‍රාම ගන්නා වයස ලෙස සැලකෙන්නේ අවුරුදු 60 ය. නමුත් වැඩිවන ජීවිත අපේක්‍ෂාවලට අනුව කලින් කල විශ්‍රාම ගැන්වීමේ වයස වැඩි කළ හැකි ය. එයින් වැඩ කරන කාලසීමාව මත අඩු පීඩනයක් ඇති විය හැකි ය. එමෙන් ම වැඩිහිටියන් ගේ සෞඛ්‍යය පිළිබඳ ද අනෙක් රෝගීන්ට මෙන් ම විශේෂඥ පුහුණු වෛද්‍ය පිරිසක් ඇති කළ යුතු ය. වැඩිහිටි නිවාස සඳහා ඇති අඩුව දිවා සුරැකුම් මධ්‍යස්ථාන මගින් පිරිමසා ගත හැකි වනු ඇත. නිවැසියන් උදේ රැකියාවට ගොස් සවස ආපසු නිවසට එනතුරු වැඩිහිටියන් බලා ගැනීමට සුදුසු ස්ථාන හා පහසුකම් සැපයිය හැකිය. මේ මගින් මවුපිය, දූදරු සම්බන්ධතාව ද තවදුරටත් තහවුරු වනු ඇත. ගෘහ සේවකයින් සඳහා යන වියදමද ඉතිරි කරගත හැකි ය. ගෘහ සේවකයින් නිසා ඇතිවන ආරවුල ද එමගින් විසඳා ගත හැකි වේ. මෙහෙකරුවන් යොදවා නොව දරුවන් තමන්ම වියපත් වූ මවුපියන්ට සැලකීම මවුපියන්ට ද සතුටක් ගෙන දෙන්නකි. දරුවන් කෙරෙහි ඇති ආදරය තවත් වැඩිකරවන්නකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා