පිටස්තරයෝ

පිටස්තරයෝ

න්තර්ජාතික ටයිම් සඟරාවේ අලුත් ම කලාපය කියන ලෙස යුරෝපයේ ආර්ථිකය කඩා වැටී අවසන් ය. ඊට සමගාමී ලෙස අමෙරිකාවත් පල්ලම් බසිමින් සිටී. එහි ණය බර ශීඝ්‍රයෙන් ඉහළට ගමන් කරයි. අමෙරිකාව වැඩි ම ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ චීනයේ මූල්‍ය සමාගම්වලින් ය. එංගලන්තයේ ප්‍රධාන නගර ගිනිගෙන දැවෙයි. තරුණ පරම්පරාව එරට රාජ්‍යතන්ත්‍රයෙන් පළි ගනිමින් සිටිති. මෙතෙක් ලෝක ධාතුවෙහි සාම කුරුල්ලකු ලෙසින් පෙනී සිටි මෝර්වේ රාජ්‍යයෙහි බෝම්බ පුපුරන්නට පටන්ගෙන තිබේ. මේ සියල්ලෙන් පැහැදිලි වනුයේ බටහිර නමගිය ධනපති ක්‍රමය බිමට සමතලා වන බව ය. දැන් අපි ආසියාව දෙසට හැරෙමු. ලෝකයේ ශක්තිමත් ම ආර්ථිකය චීනයේ පවතී. ඉන්දියාව, වියට්නාමය, දකුණු කොරියාව ලෝකයේ ඉහළ ම ආර්ථිකය වර්ධනය සටහන් කරගෙන තිබේ. යම් පසුබෑමක් පෙන්නුම් කළ ජපානය හා රුසියාව නැවත පීල්ලට වැටී තිබේ. ඔවුන්ගේ ආර්ථිකයන් ශීඝ්‍ර වර්ධනයකට යෑම නැවැත්විය නො හැකි ය.

මේ අතර ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ප්‍රමාණයේ ආර්ථිකයක් සහිත ආසියානු රාජ්‍යයෝ මහා පරිමාණ ආර්ථික ව්‍යාපෘති ආරම්භ කරති. යුරෝපයේ පැවැති ආර්ථික සමෘද්ධිය කෙමෙන් ආසියාව කරා මාරුවන්නට පටන්ගෙන තිබේ. ලෝක ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයක යෙදෙන කෙනකුට දැකිය හැකි නව ප්‍රවණතාව එය යි. වෙනස්වීම මෙසේ පැවැතිය ද බටහිර කුමන්ත්‍රණ තව ම අවසන් වී ඇත. ලොව ධනවත් ම රාජ්‍යයන් ලෙස පවතින මැද පෙරදිග රටවල් ද, අප්‍රිකාවේ ඉස්ලාම් රාජ්‍යයන් ද විසිරුවා ආරාජික තත්ත්වයට පත් කිරීමේ බටහිර කුමන්ත්‍රණය ගජරාමෙට ක්‍රියාත්මක වේ. ඊජිප්තුව ඊට හසු විය. ඉරාකය එයින් විනාශ විය. සිරියාව, ලිබියාව ඇතුළු රාජ්‍යයන් ගණනාවක් බටහිර කුමන්ත්‍රණයේ ගිලී සිටින බව දැක ගත හැකි ය. මෙහි දෙවන අවස්ථාව ඇෆ්ගනිස්ථානය වැනි රටවලට ද තෙවන අවස්ථාව ශ්‍රී ලංකාව වැනි රටවලට ද යොමු වී ඇති බව ඉතා පැහැදිලි ය. මෙයින් මිදී රාජ්‍යයේ ස්වාධීනත්වය හා සමෘද්ධිය පවත්වාගැනීමේ වගකීම රැඳී ඇත්තේ ඒ ඒ රටවල නායකයන් වෙත ය. ට පෙර අපට අසන්නට ලැබුණු වාක්‍යයක් වූයේ අමෙරිකාවට හෙම්බිරිස්සාව නම් ශ්‍රී ලංකාවට නියුමෝනියාව යන්න ය.

නිදහස ලබා වසර ගණනාවකට පසු අපි ඒ ක්‍රමය වෙනස් කර ඇත්තෙමු. මේ වන විට අමෙරිකාවට උණ සන්නිපාතය හැදුන ද අපට නිරෝගී ලෙස ජීවත්වීමට හැකියාව ලැබී තිබේ. එය අප ලබා ඇති විශාල ම ජයග්‍රහණය වේ. දේශීය නිෂ්පාදනය අගය කරන ප්‍රතිපත්තියක් තුළ මෙරට කෘෂිකර්මය හා වෙනත් නිෂ්පාදන කර්මාන්ත වර්ධනය කරගැනීමට අපට හැකි විය. ආහාර ද්‍රව්‍ය ආනයනය සීමා කිරීම තුළින් විදේශ වත්කම් ඉතිරි කරගැනීමට ද අවස්ථාව උදා වී තිබේ. විදේශීය ගොවියා පොහොසත් කරමින් දේශීය ගොවියා අඩපණ කරන පිටි පරිභෝජනය සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබේ. ත්‍රස්තවාදයේ පරාජයත් සමඟ ශ්‍රී ලංකාවේ ජනතාව තුළ බලවත් චින්තන විප්ලවයක් ඇති වී තිබේ. එය කේන්ද්‍රගත වී ඇත්තේ දේශප්‍රේමීත්වයට ය. ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් නො වන බවත් මානව හැකියාවෙන් මෙන් ම සම්පත් අතින් ද අප පොහොසත් බවත් ජනාධිපතිවරයා නිතර කියයි. එය ආදර්ශ පාඨයක් ලෙස තරුණ පරපුර අතරට ගොස් තිබේ.

මෙහි ප්‍රතිඵලය දැනට ම අපට දැකගන්නට ලැබේ. පුරන් කුඹුරු වපුරන්නට පටන්ගෙන ඇත. සෑම ගෙවත්තක ම කුමන හෝ වගාවක් දකින්නට ඇත. එකිනෙක කුටුම්භයන් තම පවුලේ ආදායම් මාර්ග පුළුල් කරගන්නා අතර ජාතික ආර්ථිකයට ද කිසියම් දායකත්වයක් දක්වනු පෙනෙන්නට තිබේ. මේ වනා හී නිදහසින් වසර හැට ගණනකට පසු අප අත්විඳින ආස්වාදනීය තත්ත්වයෙකි. රටේ බහුතරය ඉහත තත්ත්වයන් පිළිගෙන ඒ අනුව ක්‍රියාත්මක වන්නේ වුව සුළු පිරිසක් බටහිර කුමන්ත්‍රණවලට නතු වී සිටිති. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ ආණ්ඩුවත්, ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමයත් විවේචනය කිරීම ය. එම විවේචන රට හා ජාතිය කෙරෙහි ඇති ආදරයකට කරන විවේචන නො ව ආණ්ඩුව කෙරෙහි ද්වේෂයකින් කරන විවේචන ය. ඒ අනුව අධිවේගී මාර්ග තැනී ම වැරැදි ය. අලුත් වරායවල්, ගුවන් තොටුපොළවල් හැදීම වැරැදි ය. විවේචකයෝ එහි කුමන හෝ අඩුවක් සොයා එය අතිශයෝක්තියෙන් දක්වති. ඇතැම්විට අමු බේගල් කියති. මේ මගින් රටේ සංවර්ධනය ආපස්සට යන්නේ නැති නමුදු විවිධ අතුරු බාධක පැන නඟින්නට පුළුවන.

මේ රටේ ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වූ දේශපාලන ව්‍යාපාර සටන් පාඨ හිඟයකින් පෙළෙයි. ඔවුන් ජනතාව වෙත යෑමට අපේක්ෂා කරනුයේ බරපතළ විවේචනයක් ද සමඟ ය. විවේචන යනු ආණ්ඩුවට එල්ල කරන බර අවි ප්‍රහාර ලෙස ඔව්හු සලකති. කිසිවක් ම නැති තැන ජනතාව කුලප්පු කරන මායාවක් හෝ ඇති කිරීම අද දේශපාලනයේ සිරිත වී තිබේ. මීට සහාය දෙන කණ්ඩායම් ගණනාවක් ද තිබේ. රාජ්‍ය නො වන සංවිධාන, මානව හිමිකම් සංවිධාන, ඊනියා මාධ්‍ය සංවිධාන ඒ අතර තිබේ. ඇතැම්හු විදේශගත ව මේ ව්‍යාපාරයට සහාය දක්වති. ‘චැනල් ෆෝ’ චිත්‍රපටවලට සහාය දක්වන ශ්‍රී ලාංකේය මාධ්‍ය සංවිධානයක් ද විදේශ රටවල් කිහිපයක් නියෝජනය කරමින් පවතී. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ සාමය හා නිදහස පවතී. ඒ අනුව සාර්ථක ආර්ථික ගමනක් ද ආරම්භ වී තිබේ. අනාගත පරපුර ගැන කල්පනා කරන කිසිවකු එම ආර්ථික ගමනට අකුල් හෙළන්නේ නැත. එහෙත් රටක් – ජාතියක් ගැන නො සිතන මෙන් ම අනාගත පරපුරක් නැති අය ද ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති බව සියලු දෙනා වටහා ගත යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා