ශ්‍රී ලංකාව ජය මාවතට ඔස්ටේ‍්‍රලියාව පරදා ලකුණු 78ක ජයක්

ශ්‍රී ලංකාව ජය මාවතට ඔස්ටේ‍්‍රලියාව පරදා ලකුණු 78ක ජයක්

උපුල් තරංග ගේ විශිෂ්ට පිති හරඹය (ලකුණු 111) මෙන්ම ලසිත් මාලිංගගේ දක්ෂ පන්දු යැවීම (28/5) හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 78ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සමත්විය. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 286ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ඕවර 44.2 කදී සියලු දෙනා දැවී ලකුණු 208ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139ක සබඳතාවක් ගොඩ නැගූ අතර උපුල් තරංග දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් අගනා ලකුණු 111ක් රැස් කළේ හතර් පහර 11ක් ද සමගිනි. ඒ ඔහුගේ එක්දින ක්‍රීඩා දිවියේ 11වැනි ශතකය විය. ඔහුට අනගි සහායක් ලබා දෙමින් නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 55ක් ද රැස් කළේය. කුමාර සංගක්කාර ලකුණු 49ක් ද මහේල ජයවර්ධන ලකුණු 36ක් ද රැස් කළහ.

පන්දු යැවීමේදී ඩග් බොලිංගර් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර ඔහු ලකුණු 42කට කඩුලු 4ක් බිද හෙලීය. මිචෙල් ජොන්සන් ලකුණු 45කට කඩුලු 2ක් ද, ෂේන් වොට්සන් ලකුණු 58කට කඩුලු 2ක් ද දවා ගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානුවන්ට සාර්ථක වීමට ලසිත් මාලිංගගෙන් ඉඩක් ලැබුනේම නැත. මාලිංග කඩුලු 5ක් දවා ගත් අතර ප්‍රබල ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව හොඳම පන්දු යැවීම ලෙස වාර්තා පොතේ සටහන් කිරීමට මාලිංගට හැකි වූයේ ලකුණු 28කට කඩුලු 5ක් වශයෙනි.

ජාත්‍යන්තර එක්දින පිටියේ පළමු තරගයට මුහුණ දුන් ශාමින්ද එරංග ලකුණු 38කට කඩුලු 2 ක් දවා ගනු ලැබීය. නුවන් කුලසේකර හා අජන්ත මෙන්ඩිස් ද එක කඩුල්ල බැගින් දවා ගත්හ. ඔස්ට්‍රේලියානු ඉනිමේ සාර්ථක පිතිකරුවා වූයේ මයිකල් හසීය. ඔහු ලකුණු 63ක් රැස් කළ අතර නායක මයිකල් ක්ලාර්ක් ලකුණු 46ක් රැස් කළේය. රිකි පොන්ටිං ලකුණු 22ක් ද ස්ටීවන් ස්මිත් ලකුණු 18ක් රැස් කළහ. සෙසු ක්‍රීඩකයෝ අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගියහ. තරගයේ වීරයා සම්මානය උපුල් තරංගට හිමි විය.  තරග 5කින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවේ.

හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (16) පැවැති ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින තරගය නැරඹීමට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ හා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහත්වරු තරගය නරඹන අයුරු. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපති උපාලි ධර්මදාස මහත්වරුද මෙහි වෙති.

ඡායාරූපය – කමල් ජයමාන්න

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා