අර්බුද ඇති එජාපයට ඡන්දය දෙන්න ජනතාව මෝඩ නෑ

අර්බුද ඇති එජාපයට ඡන්දය දෙන්න ජනතාව මෝඩ නෑ

අලවි මවුලානා
බස්නාහිර පළාත් ආණ්ඩුකාර

ටේ වර්තමාන දේශපාලන තත්ත්වය, ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ තවත් කාලීන හා සමාජීය කරුණු රැසක් පිළිබඳ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

* කොළඹ මහ නගර සභාව ඇතුළු නගර සභා රාශියක මැතිවරණ සඳහා නාම යෝජනා කැඳවා තිබෙනවා. මෙම නාගරික මැතිවරණයෙන් ජය ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා ද?

අප මීට පෙර ගම ජයග්‍රහණය කළා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දෙවන අදියරේ දී එජාපයේ ඡන්ද ප්‍රතිශතය 22% තරම් පහළ ගියා පමණක් නොවෙයි එජාපය දෙමළ ජාතික සන්ධානයටත් වඩා පහළ තැනකටයි වැටුණේ. එවැනි පක්‍ෂයකට නගරයේ ජනතාව ඡන්දය දෙන්නේ නැහැ. ජනාධිපතිතුමා රට වෙනුවෙන් විශාල සේවයක් ඉෂ්ට කර තියෙනවා. යුද්ධය නිමා කිරීම පමණක් නොවෙයි රට තුළ විශාල සංවර්ධනයකට අවශ්‍ය පසුබිම තීරණය කළෙත් ජනාධිපතිතුමා. මේ සියල්ල රටේ ජනතාව ඉහළින් අගය කරනවා. ඔවුන් ඇත්ත නැත්ත මොකක්ද කියලා දන්නවා. යුද්ධයෙන් පසු මෙරටට විශාල ලෙස ජාත්‍යන්තර බලපෑම් සහ පීඩනයන් එල්ල වුණා. මේ හැම දෙයක්ම නිසි විදිහට කළමනාකරණය කර ගැනීමට පුළුවන්කම ලැබුණා. ඒ නිසා මේ මොහොතේ දී සියලු දෙනා ගේ යුතුකම විය යුත්තේ ජනාධිපතිතුමාට අවශ්‍ය කරන මහජන සහයෝගය ලබාදීමයි. මේ නිසා මෙවර මැතිවරණයේ දීත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව හා ශක්තිය තිබෙනවා. නගරය, ගම කියා වෙනසක් නැහැ. ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම එක හා සමානයි. ඒ නිසා මට ඇති දේශපාලන අත්දැකීම් අනුව මා විශ්වාස කරනවා කොළඹ මහ නගර සභාව ඇතුළු සියලු පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබෙනවා.

* එහෙත් දේශපාලන ඉතිහාසයේ කොළඹ නගරය තුළ දේශපාලන බලය ස්ථාපිතව තිබුණේ එජාපයට. මේ තත්ත්වය ක්‍ෂණික වෙනසක් වීමට ඉඩකඩ ඇතැයි ඔබ සිතනවා ද?

ඒ තර්කය අතීතයට වලංගු වුණත් අද දේශපාලන තත්ත්වය අනුව එය එහෙම නොවෙයි. එයට වඩා බොහෝ සෙයින් වෙනස්. මේ වෙද්දී එජාපයට දේ්ශපාලනය කිරීමට වෙලාවක් නැහැ. ඔවුන් නායකත්ව අර්බුදයකට වැටිලා ඉන්නේ. රනිල් ට සජිත් විරුද්ධයි සජිත්ට රනිල් විරුද්ධ යි. කරු තව පැත්තක. ඒ විදිහේ ආරවුල් ඇති තැනකට ඡන්දය දීමට තරම් ජනතාව මෝඩ නැහැ. නගරයේ ජනතාව වඩාත් බුද්ධිමත්ව කටයුතු කරන පිරිසක්. ඔවුන් කිසි විටෙක බුද්ධිමත් නොවන විදියට ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. ආරවුල් ඇති දේශපාලන පක්‍ෂයකට රටක් ගමක් ප්‍රදේශයක් දියුණු කරන්න බැහැ. ජනතාවට අත්‍යවශ්‍ය වෙලා තිබෙන්නේ ගම නගරය දියුණු කළ හැකි දේශපාලන පක්‍ෂයක් මිසක් ආරවුල් ඇති එකිනෙකා මරා ගන්නා දේශපාලන පක්‍ෂයකට නොවෙයි.

කොළඹ නගරය තුළ කියලා වෙනසක් නැහැ. මේ දේශපාලන පරමාර්ථ දේශපාලන බලාපොරොත්තු මුළු රටටම සමානයි. මෙතෙක් කල් එජාපයට ඡන්දය දුන්න කියා කොළඹ ජනතාවට වූ සෙතක් නැහැ. එජාපයට අවශ්‍ය වුණේ ජනතාව පැල්පත්වලට ගොනු කරලා තමන්ගේ ඡන්ද ප්‍රමාණය ආරක්‍ෂා කර ගැනීම පමණයි. එහෙත් අපට එහෙම නොවෙයි. කොළඹ නගරය සංවර්ධනය කිරීම වගේම නගරය තුළ සිටින ජනතාවට අවශ්‍ය නූතන පහසුකම් සියල්ල ලබාදීමට රජය සැලැසුම් කර තිබෙන්නේ. අපට අවශ්‍ය කර තිබෙන්නේ වර්තමානයට ගැලපෙන විදිහට කොළඹ නගරය මෙන්ම මුළු රටම පරිවර්ථනය කිරීම තමයි.

* කොළඹ නගරය තුළ සිටින මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් දීර්ඝ කාලයක් තිස්සේ එජාපයට ලැදිව ඡන්දය පාවිච්චි කළ පිරිසක්. මේ තත්ත්වය මෙවර වෙනස් වේවි යැයි ඔබ විශ්වාස කරනවා ද?

මා ඔබෙන් යළිත් ප්‍රශ්නයක් අහනවා එජාපයට ඡන්දය දුන්නා යැයි කියා මුස්ලිම්වරුනට සිදු වූ සෙතේ මොකක්ද කියලා. එදා මෙදා තුර එජාපයට ඡන්දය දුන්නා කියලා මුස්ලිම්වරුනට මෙතෙක් කල් වූ දෙයක් නැහැ. ඒ යථාර්ථය දැන්වත් මුස්ලිම්වරු තේරුම් ගන්න ඕනෑ. ජනාධිපතිතුමා හැමදාම මුස්ලිම්වරුනට හිතවත්ව ඔවුන්ගේ පාර්ශ්වය ගෙන කටයුතු කළ නායකයෙක්. ඒ නිසා මුස්ලිම්වරු හා ජනාධිපතිතුමා අතර ඇති බැඳීයාව ඉතාමත් ඉහළයි. පලස්තීන අර්බුදය අවස්ථාවේ දී ජනාධිපතිතුමා සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් විදිහට සිටිමින් ඔවුන්ගේ සටනට අතිවිශාල සහයෝගයක් ලබා දුන්නා. හැම මොහොතකම ජනාධිපතිතුමා මුස්ලිම් වරුනට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් කටයුතු කළ පුද්ගලයෙක්. අරාබි ලෝකය තුළ මහින්ද රාජපක්‍ෂ නාමයට විශාල ගෞරවයක් වගේම විශාල භක්තියක් තිබෙනවා. මේ හැම දෙයක් ගැනම සමබරව කල්පනා කළාම වර්තමාන දේශපාලන ලෝකය තුළ මුස්ලිම්වරුනට සමීපම දේශපාලඥයා තමයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා.

* මුස්ලිම් ජනතා ආකර්ෂණය දිනා ගැනීමට ආණ්ඩුවට ඇති වැඩපිළිවෙළ මොකක්ද? ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද?

අපට විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය නැහැ, ජාති භේදයෙන් තොරව ආගම් භේදයෙන් තොරව අපට මුළු රටම දිනාගත හැකි වැඩපිළිවෙළකුයි අවශ්‍ය වෙන්නේ. අද මෙරට ජනතාව මර බියෙන් තොරව නිදහස් නිවහල් මිනිස්සු විදිහට තමන්ගේ ජීවිතය ගත කරනවා. ඒ ජනාධිපතිතුමාට පිංසිදුවීමටයි. එදා කොළඹ නගරය තුළ අඩියක් නිදහසේ ඇවිද යාමට පුළුවන්කමක් තිබුණේ නැහැ. මුස්ලිම්වරයෙකුට නිදහසේ තමන්ගේ ආගමික කටයුතු නියැළීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. අද එහෙම නැහැ. හැමෝම නිදහසේ තම කටයුතු කරගෙන යනවා. මේ දේ පමණක්ම වුණත් ඇති මුස්ලිම්වරු දිනා ගැනීමට. එපමණක් නොවෙයි සියල්ලන් දිනා ගැනීමට මේ දේ පමණක්ම වුවත් ඇති.

* කල් ගත වුවත් ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට මෙතෙක් අසමත්ව ඇතැයි චෝදනා එල්ල කරනවා. මේ චෝදනාව පිළිබඳ ඔබේ ප්‍රතිචාරය මොකක් ද?

වැඩපිළිවෙළක් නැහැ කියලා චෝදනා එල්ල කරන අයට තියෙන වැඩපිළිවෙළ මොකක්ද කියන එක ප්‍රශ්නයක්. මුළු රටටම බලපෑ යුද්ධය නිමා කළ මේ ආණ්ඩුවට සෙසු ප්‍රශ්නවලටත් ක්‍රමිකව විසැඳුම් ලබාදිය හැකියි. ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් තිබෙනවා.

* රුපියල් දසදහසකින් සිය වැටුප් ඉහළ දමන ලෙසට වෘත්තීය සමිති පාර්ශ්වයෙන් ඉල්ලීම් යොමුවෙමින් තිබෙනවා. මේ ඉල්ලීම පිළිබඳ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු ලෙස ඔබේ අදහස මොකක් ද?

වැටුප් ඉහළ දැමීමට කිසිවෙක් ඉල්ලා සිටිනවා නම් එම ඉල්ලීම තුළ අසාධාරණයක් ඇතැයි මා සිතන්නේ නැහැ. පසුගිය කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගියා. එම බඩු මිල ඉහළ යාමට සාපේක්‍ෂව තමයි වැටුප් ඉහළ යාමක් වෘත්තීය සමිති පාර්ශවයෙන් ඉල්ලා සිටින්නේ. බඩු මිල පහළ දැමීමට හැකියාවක් ඇත්නම් එය තමයි වඩාත් සුදුසු දේ ෂදිහට මා දකින්නේ. අද වෙළෙඳ මාෆියාවක් තමයි ක්‍රියාත්මක වන්නේ. ඔවුන්ට අවශ්‍ය විදිහට තමයි බඩු මිල ඉහළ පහළ යාම් සිදුවන්නේ. එය හොඳ දෙයක් නොවෙයි.  බඩු මිල ඉහළයාම පාලනය කිරීමට නොහැකිනම් කෙතරම් වැටුප් ඉහළ දැමුවත් එයින් ප්‍රතිඵලයක් ලබා ගැනීමට පු‍්‍රළුවන්කමක් නෑ. ඒ නිසා ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන් කළ යුතුව ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කළ හැකි කමිටුවක් හෝ වැඩපිළිවෙළක් ඇති කිරීමයි. ඒ විදිහේ ක්‍රමවේදයක් නිසි විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්නම් වැටුප් ඉහළ දැමීම පිළිබඳව ඉල්ලීමක් ඇති වන්නේ නැහැ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා