ඇන්. ඇම්ලා අවශ්‍ය යුගයක්

ඇන්. ඇම්ලා අවශ්‍ය යුගයක්

ටට වැඩක් කරන්නට රටේ ජීවත් විය යුතු රටක් වටිනා මිනිස්සු ත්‍රස්තවාදී බලවේග විසින් අකාලයේ මරා දමනු ලැබෙති. ත්‍රස්තවාදයට එරෙහිව ජාත්‍යන්තර තලයේ ලොකු වැඩපිළිවෙළක් ගෙන ගිය ලක්‍ෂ්මන් කදිරගාමර් නම් වූ මානව හිතවාදී බුද්ධිමතා ඝාතනය කිරීම හැමට සිතාගත නොහැකි දෙයක්ම විය. රටේ සිටිය යුතු මහා දැවැන්ත මිනිස්සු දත් මැද ඉවත දමන දැහැටි කූරු සේ ඉවතට දැමෙති. සාතන්වරුන් සහ දේශපාලන නොදරුවන් එක්ව අටවාගත් ප්‍රතිගාමී බලවේග විසින් ඇන්. ඇම්, කොල්වින්, ලෙස්ලි, පීටර් වැනි දේශපාලන වියතුන් පසෙකට විසි කරනු ලැබූවේ 1975 වසරේදී රටට වැඩක් කරන්නට ආරම්භ කළ විගසමය.

ලෝකයේ එදා ජීවත් වූ මහා ආර්ථික විශේෂඥයන් දහ දෙනාගෙන් එක් අයකු වූ ආචාර්ය ඇන්. එම්. පෙරේරා එසේ ඉවත දැමුනේ දේශපාලන පුස්සන්ගේ ප්‍රතිගාමීත්වය විසිනි. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ජාතික නිදහස් සටනට පණදුන් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අපෙන් සමුගෙන වසර 32ක් පිරුණදා ඔහු ගැන ලියන්නේ ඔහුට පණ දෙන්නට දැයි කෙනෙකු ප්‍රශ්න කරනු ඇත. එවන් මිනිසුන්ට පණ දෙන්නට ක්‍රමයක් තිබේ නම් අද දේශපාලනයේ කැපී පෙනෙන හිදැස් පියවන්නට සමත් වනු ඇත. කුලයෙන් අඩු යැයි කොන් කළ ජන කොට්ඨාසයක් වෙනුවෙන් තුන් කෝරළයේ අපරිමිත සේවයක් කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සමඟි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමැතිකමෙන් අයින් කළේ ඇන්. ඇම්. දේශීය ධනපතීන්ට එරෙහි වූ නිසා විය හැකිය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිය දේශපාලන ඉතිහාසයේ ගත් වැරදි තීන්දු තිබුණා නම්, ඒ අතරින් වඩාත් වේදනාකාරී දේශපාලන තීන්දුව වූයේ ආචාර්ය ඇන්. එම්. ඇතුළු සම සමාජ පක්ෂයේ ඇමැතිවරුන් සහ කොමියුනිස්ට් පක්‍ෂයේ පීටර් කෙනමන් සමඟි පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් කිරීම ය. මෙය දේශපාලන වැරදි තීන්දු ගැන විග්‍රහ කිරීමට කාලය නොවේ’ මුදල් ඇමැති ලෙස ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මේ රටේ ආර්ථිකයේ විප්ලවීය වෙනසක් කළ කැපී පෙනෙන ආර්ථික විශේෂඥයෙකි. ඔහු සිය මුදල් ඇමැති පදවිය ආරම්භ කළේ අපේ මිනිසුන් පෙට්ටගමේ, ලිප් බොක්කේ, පිං හාල් මුට්ටියේ, ජාතක පොතේ, පිරිත් පොතේ සඟවා තිබූ රුපියල් සීයේ, පනහේ මෝට්ටු එළියට ඇද බැංකුවල තැන්පත් කිරීමට ඉගැන්වීමෙනි.

එවන් පුද්ගලයකුගේ චරිතය අග සිට මුලට අධ්‍යයනය කරන්නට අද කාඩ්බෝඩ් වීරයන් බවට පත්වී සිටින දේශපාලන පුස්සන්ට හැකි නම් රටට කළ හැකි සේවය අසීමිතය. ඇන්. ඇම්. මේ රටේ කම්කරුවන් වෙනුවෙන් ගෙන ගිය සටන් ගැන අධ්‍යයනය කරන්නට අද කාඩ්බෝඩ් වීරයන්ට පුළුවන්කම තිබේ නම් එයින් සිදුවන්නේ රටටත් කම්කරු පන්තියටත් වඩාත් ඵලදායි සේවයකි. මේ රටේ මිනිසුන් වෙනුවෙන් වසර 40ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා වැනි බුද්ධිමතුන්, ආර්ථික විශේෂඥයන් සිටිය යුත්තේ මහින්ද රාජපක්‍ෂගේ කැබිනට් මණ්ඩලයේ බව සිදුවිය නොහැකි වුවද ප්‍රකාශ කළ යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා