විදේශ ආධාරවලින් සියයට පනහකටත් වඩා පළාත් පාලන ආයතනවලට වෙන් කරනවා

විදේශ ආධාරවලින් සියයට පනහකටත් වඩා පළාත් පාලන ආයතනවලට වෙන් කරනවා

- ඇමති බැසිල් රාජපක්ෂ

රටේ ජනතාව වෙනුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටද සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

රට සංවර්ධනය කරා ගෙනයාමේදී ජනාධිපතිවරයාට, අමාත්‍යවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට මෙන්ම ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන්ටද සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ යුතුව තිබෙන බවද හෙතෙම සඳහන් කරයි.

ඇමතිවරයා මේ අදහස් පැවසුවේ ගම්පහදී පසුගියදා පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සඳහාවූ වැඩමුළුවකට සහභාගී වෙමිනි.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සංවිධාන කළ මෙම වැඩමුළුව සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, උප සභාපතිවරුන් සහ සෑම ප්‍රාදේශීය සභාවකම මන්ත්‍රීවරු සහභාගි වූහ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරමිභ කළ මෙම වැඩමුළුව සියලුම දිස්ත්‍රික්කයන්හි පැවැත්වීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

වැඩමුළුවේදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ සංවර්ධන අරමුණ කරා යාමේදී පක්ෂ පාට භේද නොසලකා ගමේ අවශ්‍යතා හඳුනාගෙන ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කල යුතු බවයි.

ගම්පහ දිස්ත්‍රික්කය සෑම පක්ෂයකින්ම රටේ නායකයන් බිහිකළ බවත් මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල බලය හිමිවී ඇති බවත් ආර්ථික සංවර්ධන ඇමතිවරයා සිහිපත් කළේය.

එවැනි බලයක් ලබාදුන් ජනතාවට සේවය කිරීමේදී ජනතාවට වඩාත් සමීපතම පුද්ගලයන් සතුව සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇතැයිද කී ඇමතිවරයා ගම්පහ දිස්ත්‍රික්කය රටේ ආර්ථික, සාමාජික වශයෙන් ඉතා වැදගත් නගරයක් බවද කීවේය.

එකම ගුවන් තොටුපොළ පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවත් වැඩිම නිදහස් වෙළෙඳ කලාප ප්‍රමාණයක්, කර්මාන්තශාලා ප්‍රමාණයක්, මෙන්ම වැඩිම රාජ්‍ය සේවකින් පිරිසක් පදිංචිවී සිටින්නේද ගම්පහ දිස්ත්‍රික්කයේ බවත් සඳහන් කළ රාජපක්ෂ මහතා පොල්, බිත්තර, පලතුරු වැනි කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයන් අතරින් ගම්පහ දිස්ත්‍රික්කය දෙවැනි වන්නේ අම්පාරට සහ කුරුණෑගලට පමණක් බවද පෙන්වා දුන්නේය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තම ප්‍රදේශයේ පවතින අඩුපාඩු පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලිය යුතු බවත් ඒ ඒ ප්‍රදේශවල පිහිටි සෑම පහසුකමක් සම්බන්ධයෙන්ම විශේෂ අවධානය යොමු කළ යුතු බවත් කීය.

සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාමේදී ජනතාව සමඟ එකතුවෙලා ඒවාට සැලසුම් නිර්මාණය කළයුතු බව කී ඒ මහතා සමහර ස්ථානවල සිදු කළ ඉදිකිරීම් නිවැරදි කරන එක හදනවාට වඩා අපහසුවී තිබෙන බවද පැවසීය.

සරුසාර අස්වැන්නක් ලැබෙන කුඹුරු ගොඩකර බස් නැවතුම් පොළවල් ඉදිකර තිබෙන බවත් ක්‍රීඩා පිටිවල තණකොළ වැවී තිබෙන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝක බැංකුවත් සමඟ එක්ව පුරනැඟුම වැඩසටහන වෙනුවෙන් ණය ආධාරයක් ලබා දුන් බවත් විදේශ ආධාරවලින් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් පළාත් පාලනය සඳහා වෙන් වන බවත් හෙතෙම වැඩි දුරටත් කීවේය.

පළාත් පාලන හා පළාත් සභා ඇමැති ඒ. එච්. එමි. අතාවුල්ලා, නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක, එම අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා