සිරියාව අරාබි ලීගයෙන් නෙරපීමේ තීරණයක්

අල් අසාද්ගේ ප්‍රචණ්ඩත්වය නතර කරන තුරු

සිරියාව අරාබි ලීගයෙන් නෙරපීමේ තීරණයක්

සිරියානු ජනාධිපති බෂා අල් - අසාද් රටවැසියන්ට එරෙහිව මුදා හැර ඇති ප්‍රචණ්ඩත්වය නතර කරන තුරු, සිරියාව අරාබි ලීගයෙන් නෙරපීමට අරාබි ලීගය සෙනසුරාදා තීරණය කර ඇත. සිරියාවට එරෙහිව සම්බාධක පනවන ලෙස ද ඉල්ලා තිබේ. මේ අතර අරාබි ලීගය විසින් විරුද්ධ පාක්‍ෂිකයන් සමග බලය හුවමාරු කරගැනීම පිළිබඳ සාකච්ඡා අරඹා ඇත.

අරාබි ලීගය සමග පැමිණි එකඟතාව දැනටමත් ක්‍රියාත්මක කර ඇති බැවින්, අරාබි ලීගය ගත් තීරණය සිරියානු තානාපති යුසුෆ් අහමඩ් හෙළා දැක තිබේ. අරාබි ලීගය මෙම තීරණය ගෙන ඇත්තේ අමෙරිකාවේ ඉල්ලීම මත බව ද ඔහු චෝදනා කරයි. ලිබියාවේ සිදුකළ ආකාරයට සිරියාවට ද විදේශ රටවල මැදිහත්වීමකට අරාබි ලීගය උල්පන්දම් දෙන බවටත් ඔහු වැඩිදුරටත් පවසාැ ඇත.

අරාබි ලීගය විසින් සෙනසුරාදා ගත් තීරණය ජනාධිපති ඔබාමාගේ පැසසුමට ලක් වී ඇත. මේ අතර, සිරියාවේ විරුද්ධ පාක්‍ෂිකයන්ට සම්පූර්ණ සහයෝගය දක්වන බවට යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රධානී කැත්රින් ඇෂ්ටන් පවසා ඇත.

පසුගිය සිකුරාදා දිනයේදී පමණක් සිරියානු විරෝධතාකරුවන් 23 දෙනකු මියගොස් ඇත.

හොම්ස් නගරය අවට ප්‍රබල මානුෂික සංහාරයක් සිදුවන බවට විරුද්ධ පාක්‍ෂිකයෝ චෝදනා කරති. මේ අතර සෙනසුරාදාත් 13 දෙනකු මියගොස් ඇතැයි මානව අයිතිවාසිකම් සංවිධාන ප්‍රකාශ කරයි.

ජගත් ආරක්‍ෂක සංවිධානයේ සංඛ්‍යා ලේඛන වලට අනුව සිරියාවේ රාජ්‍ය විරෝධී ගැටුම් ඇරඹූ දා පටන් මිය ගිය සංඛ්‍යාව 3,500කට අධිකය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා