පිතිකරුවනි, අවදිවන්න...

පිතිකරුවනි, අවදිවන්න...

- තිලකරත්න ඩිල්ෂාන්

තමන් තුළ සිරකර ගෙන සිටින දක්ෂතා මුදා හැර පාකිස්තාන පන්දු යවන්නන්ට මුහුණ දෙන ලෙසට ලකුණු අතරට පිවිසීමේ අරගලයක මැදිව සිටින ශ්‍රී ලංකා පිතිකරුවන්ට දන්වා සිටින නායක තිලකරත්න ඩිල්ෂාන්, කණ්ඩායමේ දුර්වල පිතිකරණය නිසා තමාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබෙන මේ අවස්ථාවේ පමා නොවී වහා අවදිවන ලෙසට ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටී.

තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අපට සිටිනවා. නමුත් අපට තවත් බලාගෙන ඉන්න බැහැ. ඔවුන් දැන්ම ඉදිරියට පැමිණිය යුතුයි. එය තරුණ ක්‍රීඩකයන්ට පමණක් නොව මමත් ඇතුළත් සියලු දෙනාටම පොදුයි. පිතිකරු අංශයේ සෑම දෙනාම ඔවුන්ගේ කාර්යය කළ යුතුයි” ඩිල්ෂාන් පවසයි.

පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ් පැවැත්වෙන තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාවේ දෙවැනි තරගය අද ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

දෙපිළ අතර පසුගිය සිකුරාදා පැවැති පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරය ලබා ගත් ශ්‍රී ලංකාව 131 ක අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් අවසානයේ කඩුලු 8ක පරාජයක් ලැබීය. මේ පරාජය නිසා පත්ව සිටින 1 – 0 ක හිඟය මේ තරගමාලාවේ යළි තමන්ගේ වාසියට හරවා ගැනීමේ උත්සාහයක ශ්‍රී ලංකාව නිරතව සිටින හෙයින් පළමු තරගයේ පරාජයට වහා ප්‍රතිචාර දක්වන ලෙස නායක ඩිල්ෂාන් සිය සගයින්ගෙන් ඉල්ලා සිටී.

“අපි අපේ සියළුම ක්‍රීඩකයන්ට ඔවුන්ට සුපුරුදු ලෙසින් පන්දුවට පහර දෙන ලෙස කියා ඇත්තේ ඔවුන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා ගෙනයි. නමුත් මේ වන විට එයින් හොඳ ප්‍රතිඵල ලැබිලා නැහැ. ප්‍රශ්නය එයයි. නමුත් දැන් ඒකට වෙලාව ඇවිත්. අපිට තවත් කල් බලාගෙන ඉන්න බැහැ. මොකද, පසුගිය තරගමාලා තුන හතරේදීම අපි හොඳ ආරම්භයක් ලබා ගත්තේ නැහැ” ඩිල්ෂාන් කියයි.

“මේ තරගමාලාවේ අපට තවත් අවස්ථා හතරක් තියෙනවා. අපට තවත් බලාගෙන ඉන්න බැහැ. පැහැදිලිවම අප ශක්තිමත්ව හෙට (අද) තරගයට යළිත් අවතීර්ණ වී වඩා හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් කළ යුතුයි. සෑම කෙනෙක්ම මොහොතකට ඔවුන්ගේ අවධානය යොමුකොට තමන්ට මෙතෙක් වැරදුනේ කොතැනද? කොහොමද? කියලා සිතා බැලිය යුතුයි. ඒ වැරදි හදාගෙන ශක්තිමත්ව දෙවැනි තරගයට මුහුණ දිය යුතුයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තම තමන්ගේ කාර්යය උපරිමයෙන් ඉටුකිරීම සියළු දෙනාගේම යුතුකමයි.”

කෙසේ වෙතත්, දැනට කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කරගෙන ඇතැයි පෙනෙන එක් ක්‍රීඩකයෙකු වන්නේ 21 හැවිරිදි දිනේෂ් චන්දිමාල් ය. පළමු තරගයේදී හයේ පහර 2ක්ද එල්ල කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ප්‍රීති ප්‍රමෝදයට පත්කළ චන්දිමාල් පන්දු 31 කින් ලකුණු 28 ක් රැස්කර ගෙන එම තරගයේ ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරුවා බවට පත්විය.

එම තරගයේදී චන්දිමාල් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියේ කුමාර් සංගක්කාරට පසුව එහෙත් මහේල ජයවර්ධනට පෙර අංක 4 පිතිකරු ලෙසිණි. “චන්දිමාල් තවමත් තරුණයි. අංක තුනේ ‘සංගා’ හා අංක පහේ මහේලට මැදින් චන්දිමාල්ව ස්ථාවර කරන්න මට ඕන” යනුවෙන් ඩිල්ෂාන් පැහැදිලි කරයි. “එතකොට චන්දිමාල්ට පුළුවන් මේ පළපුරුදු පිතිකරුවන් දෙදෙනා වටා පිතිහරඹ කරන්න.”

පසුගිය සිකුරාදා ඩුබායි ක්‍රීඩා නගරයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගය නැරඹීම පිණිස ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් පැමිණ සිටියහ. ඔවුන් එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩාව පිළිබඳ කලකිරීමට පත්වූවා නොඅනුමානය. “අපි අපේ ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාව සියයට සියයකින්ම කළ යුතුයි. අපි අපේ ‘ස්ටයිල්’ එකේ ක්‍රිකට් ක්‍රීඩාව කරන තුරු අපේ ක්‍රිකට් ලෝලීන් තවමත් පුල පුලා බලා සිටිනවා. ඒ නිසා සඳුදා (අද) තරගයේදී අපි වඩා හොඳින් අපේ ක්‍රීඩාව කළ යුතුයි” තිලකරත්න ඩිල්ෂාන් වැඩි දුරටත් කියා සිටියේය.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පෙළ පිළිබඳ අවසන් තීරණයකට එළැඹීමට පෙර පසුගිය සිකුරාදා සිය දණිසේ තැල්මක් ගැන පැමිණිලි කළ මහේල ජයවර්ධනගේ සෙෘඛ්‍ය තත්ත්වය පිළිබඳව තක්සේරු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා කඳවුරේ තත්ත්වය මෙසේ තිබෙද්දී තරග බිමේ සෑම දෙයක් ම පාකිස්තාන නායක මිස්බා උල් හක්ගේ කැමැත්තට සිදු වෙමින් තිබෙන සෙයකි. ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගමාලාව ජය ගත් පාකිස්තානය පළමු එක්දින තරගයේද ජයග්‍රහණයෙන් පසුව දැන් ඉතිරි තරගද ආක්‍රමණය කිරීමේ අරමුණින් පසුවේ. තරග බිමෙන් සමුගෙන සිට යළි පැමිණි වහාම පන්දු යැවීමෙන් දස්කම් දක්වමින් ‘තරගයේ සරයා’ බවට පත්වූ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි මෙන්ම වේග පන්දු යවන අබ්දුල් රසාක්ගේ එක් වීමෙන් පාකිස්තාන කණ්ඩායමේ ශක්තිය තවත් වැඩි වී තිබේ.

“පාකිස්තානයත් ශ්‍රී ලංකාවත් කියන්නේ ඉහළම පෙළේ කණ්ඩායම් දෙකක්. තරගයට යළි සාර්ථකව එළැඹීමේ හැකියාව ශ්‍රී ලංකාවට තියෙනවා” යැයි මිස්බා උල් හක් කියයි.

සිකුරාදා පළමු තරගයේ ලැබූ ජයග්‍රහණය පහසු එකක් වූවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ එවැනි දේ සිදුවන බව පවසන පාකිස්තාන නායකයා තම ක්‍රීඩකයන්ට මෙසේ අනතුරු අඟවයි. “බලාගෙනයි, එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘ඕෆ් ඩේ’ එකක්!”

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා