නූර්ති කලාවේ නව නැම්මක් ඇති කළේ මගේ තාත්තායි

නූර්ති කලාවේ නව නැම්මක් ඇති කළේ මගේ තාත්තායි

කලාභූෂණ ලයනල් ගුණතිලක

සම්පූර්ණ නම : විල් ආරච්චිගේ දොන් ලයනල් විජේසිංහ ගුණතිලක
උපන්දිනය : 1933. 01. 06
ගම : උඩහමුල්ල, ඇඹුල්දෙණිය
පාසල් : (1) උඩහමුල්ල පරමවිඥානාර්ථ බෞද්ධ මිශ්‍ර විශ්ව පාඨශාලාව (වර්තමාන සිද්ධාර්ථ විදුහල), (2) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය
පියාගේ නම : දොන් ජේමිස් විජේසිංහ ගුණතිලක (නූර්තී නාඩගම් කලාවේ විශ්වකර්ම ගුරුතුමා)
මවගේ නම : කලුතන්ත්‍රිගේ දෝන මාග්‍රට් ජයවීර
සහෝදර සහෝදරියන් : 01 කෙනයි (සීතා විජේසිංහ ගුණතිලක)
බිරියගේ නම : සිදුරංගලගේ දෝන එමලින් නන්දසීලි
දරුවන් : දෙදෙනයි
ලැබූ සම්මාන : 1996.05.22 කලාභූෂණ සම්මානය, 1995 ටවර්හෝල් රඟහල පදනම සම්මානය, 2008 ජෝන් ද සිල්වා සමරු රඟහල පදනම සම්මානය, 2009 යුනිලීවර් සම්මානය, 2010 නවගත්තේගම තම්මැන්නා සංස්කෘතික කේන්ද්‍ර සම්මානය, 2000 උතුරුමැද පළාත අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් පිරිනැමූ සම්මානය, 2002 ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ උපහාර සම්මානය (සමුද්‍රදේවි නාට්‍ය වෙනුවෙන්), 2001 පර්යේෂණ ග්‍රන්ථ වෙනුවෙන් රාජ්‍ය සම්මානය

“මගේ අතීතය ගැන කියනකොට මාව මේ ලෝකෙට බිහිවුණ වෙලාව ගැන ඉස්සර නිතරම මගේ මවුපියෝ කියනවා මට මතකයි. අම්මට මාව ලැබෙන්න හොඳටම අමාරු වෙලා කෑගහනකොට තාත්තා වින්නඹු අම්මට කියනවලු අනේ මොනවා හරි කරලා ඉක්මනට බේරගන්න කියලා... වින්නඹු අම්මා කිව්වලු මටනම් කරන්න දෙයක් නෑ. ඔයා ඕන දෙයක් කරගන්න කියලා. තාත්තා ඒපාර එකදිගටම පිරිත් කියන්න පටන්ගත්තලු. එතකොට අමාරුවක් නැතිව මාව ලැබුනලු.”

මම පුංචිකාලේ ඉඳලම ගෙදර තිබුණෙ සංගීත පරිසරයක්. මගේ මුල්ම සංගීත ගුරුවරයා මගේ තාත්තා. 1939 වසරේදී මම මුලින්ම තාත්තගෙන් ඉගෙනගත්ත ගීතය මට අද වගේ මතකයි. මම ගයමින් වාදනය කරලා පෙන්නන්නම්.

“බොරු කීම බෝම නරකයි
සිද්ධවේවි පව් සැබවින්
දුර්ගන්ධ ඒවි මුඛයෙන්
ළමයින්ට මේවා පාඩම්
කරගන්න සෑහෙ නිතියෙන්”

තරුණ මම

විවිධ කෘතින් රාශියක් රචනා කරමින් විශ්වකර්ම ගුරුතුමා යනුවෙන් ප්‍රසිද්ධ වුණු නූර්ති නාඩගම් කලාවෙ නව නැම්මකට ගෙනා පුරෝගාමියා විදිහට සලකපු දොන් විලියම් විජේසිංහ ගුණතිලක මහතා තමා මගේ පියා.

1847 වසරේදී අළුත්ගම මාලවනකන්ද වත්තෙ වලවිටෙදි උපන්න දොන් පිලිප් විජේසිංහ ගුණතිලක මුහන්දිරම් තුමාගෙ මුනුපුරෙක් තමා මගේ පියා. සංගීත ඉතිහාසය කියන පොතේ තාත්තා ගැන වැඩි විස්තර සඳහන් වෙනවා. තාත්තා පොත්පත් රාශියක් ලියලා තියනවා. නූර්තී, නාඩගම්, නවකතා, වෛද්‍ය, නක්‍ෂත්‍ර හා සිංහල අකාරාදිය යන පොත්. ඒ අතරින් ‘තාරකා විනිශ්චය’ කියන නක්ෂත්‍ර පොතත්, ‘ලිලීගේ පොරොන්දුව‘, ‘එමලියාගේ රහස් කාමරය’, ‘මළමිනියෙන් පලිගැනීම’, ‘මාලනීගේ වස්තුව‘ හෙවත් ‘එච්. ගෙ පෙම්වතිය’ යන නවකතාත්, ‘ජීවිත පී‍්‍රතියේ රහස’ යන වෙද පොතත් ගොඩක් ජනපි‍්‍රය වුණා.

තාත්තා අවුරුදු 80ක් ජීවත්වෙලා මියයනකොට මට වයස අවුරුදු 16යි. ඊටපස්සෙ පවුලෙ බර සේරම මගේ පිට පැටවුණා. ඒකාලෙ මම මංගල උත්සවවල සාජ්ජේ දාන්න ගියා. ඒ කාලෙ ඒක ලොකු දෙයක් ඒවට යනඑක. ඒවට ගෙන්නන්නෙ හොඳම සංගීත මාස්ටර්වරු. මමත් ඒ අය එක්ක තාත්තගෙ ඇඳුනුම්කම් නිසා යනවා. ජපන් මැන්ඩලීනය තමා මුලින්ම මම වාදනය කළේ.

1948 වසරේදී මගේ තාත්තා නිෂ්පාදනය කරපු ‘මානසික බලය’ කියන වේදිකා නාට්‍යයෙන් තමා අවුරුදු 15දී මම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුනේ.

1949 වසරේ දී මම මුලින්ම සී. ටී. ඕ. (C.T.O.) කියන විදුලි පණිවුඩ කාර්යාලයේ ටෙලිග්‍රෑම් ගෙනියන රැකියාවකට ගියා. ඒකාලේ මගේ මුල්ම පඩිය රුපියල් 76.50යි. ඒකාලේ තැපැල් දෙපාර්තමේන්තුවෙ ලිපිකරුවෙකුගෙ මාසික වැටුප රු: 87.50යි. ඒ රස්සාව කරගෙන ඉන්නවිට තැපැල් රියදුරුවරු ඉල්ලලා තිබුණා. මම කරපු තනතුරට වඩා රුපියල් 10කින් ඒ තනතුරට වැඩි වැටුපක් ලැබෙන නිසා මම ඒකට මාරුවුණා. එතකොට මට රුපියල් 97.50ක් ලැබුණා. ඔහොම තැපැල් දෙපාර්තමේන්තුවෙ සේවය කර කර ඉන්නකොට මම 1983 වසරේදී තැපැල් ස්ථානාධිපති විභාගය ලියලා සමත්වෙලා දෙවන පෙලේ තැපැල් ස්ථානාධිපති කෙනෙක් ලෙස පත්වුණා.

මම මුලින්ම ගුවන්විදුලියේ සම්මුඛ පරීක්‍ෂණයකට ගියේ 1960 වසරේදීයි. ඒකෙන් සමත්වුණා. එදා අමතක නොවනම සිදුවීම තමා මම ගුවන්විදුලි සංස්ථාව ළඟ ඉඳන් සතුට වැඩිකමට කල්පනා කර කර පිටකොටුවටම පයින් ගිහින් දන්නෙම නැතිව.

මගේ මුල්ම සංගීත වැඩසටහන තමා “සංගීතයේ 25 වසරකට පෙර” නැමති වැඩසටහන. සංගීත දිවියේ හිටපු අය ගැන කරපු එකක්.

1969 වසරෙදි නැවත ගුවන් විදුලියේ තිබුණු නූර්ති ගීත පරීක්‍ෂණයක්. මම ඒකෙන් විශිෂ්ඨ ශ්‍රේණියේ ශිල්පියෙකු විදිහට සමත්වුණා. එතැන් සිට අද දක්වා නූර්ති ගීත, රංගධාර මාසික රැගුම, සරල ගී, නාඩගම් ගී, අතීතයෙන් ඇසෙන ගී වැනි වැඩසටහන් රාශියක් ගුවන්විදුලියේ කළා.

අපේ පවුලේ කට්ටිය

මම මුල්ම වැඩසටහන කරලා ඇවිත් ඇඹුල්දෙණියෙන් බස් එකෙන් බහිනකොට ගමේ හැමෝම මාව මහ ඉහළින් පිළිගත්ත හැටි මට අද වගේ මතකයි.

මම ගුවන්විදුලියේ හිටි මුල් කාලෙ සෝමචන්ද්‍ර පට්ටිආරච්චි, වෙන්ගරගම් සෙල්වදොරේ යන අයගෙන් දැනුම ලබාගත්තා. ඊට අමතරව එම්. ආරියදාස, බී. අරවින්ද සිල්වා, විලියන් පීරිස් යන අයගෙන්ද ආශ්‍රය කරන අතරේ දැනුම ලබා ගත්තා. කලා භූෂණ ප්‍රවීන තබ්ලා වාදක විමල් ජේ. සේනාරත්න (ෂෙල්ටන් පේ‍්‍රමරත්න මහතාගෙ මල්ලි) මහතා ගෙනුත් දැනුම ගත්තා. ග්‍රන්ථ ආශ්‍රයෙන්ද බොහෝ දැනුමක් ලබා ගත්තා.

මුලින්ම ගුවන්විදුලියේ මට වැඩසටහනකට ගෙව්වෙ රු: 30/= යි. ඒ කාලෙ මම කොහොමහරි සල්ලි එකතු කරලා 1960 වසරේදී රුපියල් 750/=කට පෝර්ඩ් කාර් එකක් ගත්තා. ඒක ටික කලක් පාවිච්චි කරලා රුපියල් 1200/= කට විකුණුවා.

ගුවන්විදුලියේ මම කරපු වැඩසටහන් අතර ජෝශප් පෙරේරා මාස්ටර් පිළිබඳව, කෝකිලදේවි වීරතුංග, එම්. ජී. තුංගසේන, ඩෝනා සුමේධා, එලියන්ද සොයිසා, එම්. ආරියදාස, එම්. ඩී. චන්ද්‍රපාල, එඩී ජූනියර්, ඇලන් රත්නායක වැනි අය ගැන කරපු වැඩසටහන් විශේෂ වුණා. ඊට අමතරව නීතිඥ ජෝන්ද සිල්වා, නීතිඥ චාල්ස් ඩයස් මහත්වරුන් පිළිබඳව ගුණානුස්මරණ වැඩසටහන් කළා. 1984 වසරේ සිට 2005 වසර දක්වා අඛණ්ඩව සෑම වර්ෂයකම 20 වසරක් පුරාවට සීදොන් බස්තියන් ගුණානුස්මරණ වැඩ සටහන පැයක් කළා.

ලයනල් සරත්ගේ ‘යුද්ධය හා සාමය’ ගීත නාටකයත්, ආනන්ද කවිරත්නගෙ ‘මලීනා’ ගීත නාටකයත් කළා. ‘මලීනා’ ගීත නාටකයට එඩ්වඩ් ජයකොඩි, රූපා ඉන්දුමතී, ලක්‍ෂ්මන් රුද්‍රිගෝ, අතුල සෝමසිරි, ආචාර්ය සනත් නන්දසිරි, ත්‍යාගා එන් එඩ්වඩ් යන අය දායක වුණා.

තාත්තා මියගියාට පස්සෙ 1958 වසරේ දී මම තාත්තගේ ‘මානසික බලය’ නාට්‍ය නිෂ්පාදනය කළා. ඒක පළවෙනියටම කළේ මහරගම අනූෂා හෝල් එකේ. හෝල් එක පිරෙන්නම පේ‍්‍රක්‍ෂකයෝ හිටියා. ඊටපස්සෙ ‘පරීක්‍ෂක සුමිත්‍ර’ (1955) ‘ශ්‍රී සංඝබෝධි’ (1976) ‘සිවම්මා ධනපාල’ (1974) ‘දිට්ඨ මංගලිකා (1976) ‘කලියුගකරණය’ ‘සමදරා’ වැනි නූර්ති නාට්‍ය ගණනාවක් මගේ අතින් නිෂ්පාදනය වුණා.

1976 වසර හා 1999 වසර දක්වා කලා නිර්මාණ ආශ්‍රයෙන් 1999 වසරේදී ‘දෑරග‘ ගීසර නම් දැවැන්ත නූර්ති ප්‍රසංගයක් අලුත් මුහුණුවරකින් මරදාන ටවර් රඟහලේ දින තුනක් පුරාවට පැවැත්වූවා. ඉන්පසු දර්ශනවාර 30ක් සිදුකළා. අපෙන් ගිලිහී යන නූර්ති කලාව නාට්‍යානුසාරයෙන් පැය 2ක් පුරාවට කළ එම වැඩසටහනේ සී ඩී තැටි තවමත් ඕනෑම අයෙකුට මිලදී ගත හැකියි.

දොන් ජේමිස් විජේසිංහ
(මගේ තාත්තා)

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රැන්සිස් වන්නිආරච්චි නිෂ්පාදනය කළ කලා රසාංග හා නාදසිත්තම් වැඩසටහන කළා. ජාතික රූපවාහිනියේ නූර්ති ගී, බලන් සබේ මිතුරේ, කලස වැනි වැඩසටහන් විවිධ ශිල්පීන් සමඟ ශාස්ත්‍රීය වාදන ද මා අතින් ඉදිරිපත් කෙරුණා. ස්වර්ණවාහිනියේ ජීවිතය ලස්සනයි, වැඩසටහන හා සිරසෙ කමත වැනි වැඩසටහන්වල සංගීත වැඩසටහන් කළා.

1992 වසරේ සිට මේ දක්වා ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ හාමෝනියන් වාදකයෙකු ලෙස කටයුතු කරනවා.

මේ දවස්වල මම කරන වැඩ ගැන මතක් කළොත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා ටවර් රඟහල පදනම එක්ව වාර්ෂිකව පවත්වන නාට්‍ය තරගයේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරනවා. සමස්ත ලංකා පාසල් නාට්‍ය තරග විනිශ්චය කරනවා. ඊට අමතරව ගෙදර සංගීත පංතියක් පවත්වාගෙන යනවා. මගේ පුද්ගලික ජීවිතය ගැන කියන කොට මම 1958 වසරෙදී එමලින් නන්දසීලි යන අය සමඟ විවාහ වුණා. ඒ කාලේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරනකොට තමා මගේ නෝනට දරුවා ලැබෙන්න හිටියෙ.

මේ දවස්වල මට අමතකම නොවෙන සිදුවීම තමා මගේ බිරියට තුන්නිවුන් දරුවෝ ලැබුණා. ඒක මම මුලින්ම දැක්කෙ පත්තරෙන්. ඒ කාලෙ දැන්වගේ සන්නිවේදනය දියුණු නැහැ. මම පත්තරේ බලපු ගමන් ඇඹුල්දෙණියට ආවා. එතකොට මාර පැටලිල්ලක් වෙලා තිබුණෙ. ඉස්පිරිතාලෙන් නන්දසීලිගේ ගෙදරට ටෙලිග්‍රෑම් එකක් එවලා ඒක ඉංගී‍්‍රසියෙන් ලියලා තිබුණ එක විදුලි පණිවිඩකරුවා වරද්දවලා කියලා දීලා. විදුලි පණිවුඩේ තිබිලා තියෙන්නෙ Nandasili's Triplet. you ger freeble. කියලා.

ඒක තේරුම් කරලා දීලා තියෙන්නෙ නන්දසීලිට අමාරුයි එක ළමයෙකුගෙ කකුලක් කොටයි කියලා. මම ගෙදරට එනකොට නැන්දම්මා මගේ ඇඟට කඩාපැන්නා. පස්සෙ මම තේරුම් කරලා දීලා කලබලය ලෙහා ගත්තා. අද වගේ තාක්‍ෂණය දියුණූ නැති නිසා ටික කලකින් නිවුන්නු තුන්දෙනාගෙන් දෙන්නෙක්ම නැතිවුණා. ඊට පස්සෙ තමා කමනිට ශාන්ති දුව ලැබුණෙ. තුන් නිවුන්දරුවන්ගෙන් අද ඉන්නෙ ශාන්ත ගුණතිලක පුතා විතරයි.

මගේ බිරියත් ඉස්සර ගුවන් විදුලියේ පද්‍යාවලියෙ ගායිකාවක්. ඇත්තටම ඇය ගැන කියනවානම් මගේ ජීවිතේ සෙවනැල්ල වගේ හිඳීමින් අද වනතුරු පුදුම පිටිවහලක් ලබා දෙනවා.

මම දැනට වසර 17ක් තිස්සේ උඩහමුල්ල මිරිහාන අවමංගල්‍යාධාර හා සුබසාධක සමිතියේ සමාජ සේවකයෙක් ලෙස සුහද සරණ සමිතිය අරඹලා කටයුතු කරනවා. ඊට අමතරව සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කලා මණ්ඩලයේ වසර ගණනාවක් කටයුතු කරනවා. දැන් මට වයස අවුරුදු 78ක් වෙනවා. ඒත් තාම මම නිරෝගි සුවයෙන් පසුවෙනවා. ඒකේ ප්‍රධානම රහස තමා හිත හොඳකම.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා