පොදු ජන යුගය උදා කළ ඩී. ඒ.රාජපක්ෂ මැතිඳුන්

පොදු ජන යුගය උදා කළ ඩී. ඒ.රාජපක්ෂ මැතිඳුන්

ජාතියේ උරුමය අරමුණක් ඇති පෙරමුණකට ගොනු කරමින් ලක්දිව එක්සේසත් කිරීම දක්වා ආ සේනාධිනායකයකු බිහි කළ ශ්‍රේෂ්ඨ මානව හිතවාදී ජනතා නායකයෙකු වූ ඩී.ඒ.රාජපක්ෂ මැතිඳුන් පිළිබඳ වන අතීතාවලෝකනය තුළින් නව පරපුරකට ආමන්ත්‍රණය කිරීමට මේ උචිතම කාලයයි.

ලාංකික දේශපාලන වංශ කථාවේ හැරවුම් ලක්ෂයන් කිහිපයකදීම ප්‍රගතිශීලි කඳවුර ශක්තිමත් කරන්නට සිය නිසඟ දායකත්වය ලබා දෙමින් නිවැරදිම හැරවුම් ලක්ෂයන්ට අනුගත වූ ඩී.ඒ.රාජපක්ෂ මැතිඳුන් ඒ හරහා දේශයට ලබා දුන් ජයග්‍රහණයන් බොහෝ ය. එම ජයග්‍රහණයන් අප අද අභිමානයෙන් යුතුව සිහිපත් කරනු පමණක් නොව එකී ජයග්‍රහණයන් තුළින් ලත් දායාදයන්, පොදු ජන අයිතිවාසිකම් භුක්ති විඳිමු.

පාත් පත් ඉරු මතට ගොනු කළ නොහැකි වූ මහා මෙහෙවරක් ඉතිහාසයට එක් කළ ඩී.ඒ. රාජපක්ෂ මැතිඳුන් පිළිබඳ අතීතාවලෝකනයේ සංසිද්ධීන් කිහිපයක් පමණක් මෙහි ගෙනහැර දක්වමු.

ඩී.එම්. රාජපක්ෂ මැතිඳුන්ගේ හදිසි අභාවයෙන් පසු රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරඟයෙන් පත් වූයේ ඩී.ඒ. රාජපක්ෂ මැතිඳුන් ය. රුහුණේ ජනතාවගේ නොනවතින සටන ඉදිරියට ගෙන ආවා පමණක් නොව ඉතාමත් ම අර්ථවත් එමෙන්ම ආදර්ශමත් නායකත්වයක් ලබා දුන්නේ ය. 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට රුහුණේ ගොවි ජනතාවගේ නායකයා ලෙස පත් වූ ඩී.ඒ.රාජපක්ෂ මැතිඳුන් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කර ගැනීමටත්, ගම්බද ගොවි ජනතාවට හිමි උරුමයන් දිනා ගැනීමටත්, ප්‍රගතිශීලි ව්‍යාපාරය සමඟ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී නොනවතින හඬක් නැගුවේ ය. දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමා සහ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිඳුන් ඇතුළු තමන්ගේ යහළු සගයන් සමඟ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී බ්‍රිතාන්‍ය පාලකයන්ට එල්ල කළේ නොනවතින සටනකි. ඒ නිසාම එතුමා ජනතාවගේ විශ්වාසවන්ත නායකයෙකු බවට පත්විය.

ගමේකම

ඩී. ඒ. රාජපක්ෂ මැතිඳු වලවේ ගඟ සංවර්ධන ව්‍යාපෘතියට එක්වෙමින්. දිවංගත අගමැති එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක හා පිලිප් ගුණවර්ධන මැතිතුමන්ලාද මෙහි වෙති.

‘රුහුණේ සිංහයා’ යයි විරුදාවලිය ලත්,සිය සොයුරු ඩී.එම්.රාජපක්ෂ මැතිඳුන්ගේ ඇවෑමෙන් සිය ජීවිතය මෙන් සැලකූ ගොයම් කෙතින් රාජ්‍ය මන්ත්‍රණ සභාව හරහා දේශපාලනයට බට ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා ගොවි ජනතාව හා බැඳි ජීවන චරිතයක් විය. ඔහු පාර්ලිමේන්තුවට වඩා කෙතට නිල්ලට යාමට පි‍්‍රය කළ බව එතුමාගේ චරිත ප්‍රදානයන්හි ඉස්මතු ;ව්. 1945 දී කෘෂිකර්ම හා ඉඩම් විධායක කාරක සභාවේ සාමාජික ලෙස වූ පළමු තනතුරෙන්ම ගොවි ජනතාව නගා සිටුවීමට රාජ්‍ය අනුග්‍රහය වඩ වඩාත් ලබා දෙන්නට මුල් විය. රාජ්‍ය මන්ත්‍රණ සභාව හා පාර්ලිමේන්තුව තුළ කෘෂි කාර්මික දිවියට සම්බන්ධ තනතුරු හරහා එතුමා ගොවි ජන ජීවිතයට වටිනාකමක් එක් කරන්නට කැප විය.

එය ලක් ඉතිහාසයේ අසිරිමත් අවස්ථාවක් මෙන්ම අවිනිශ්චිත අවස්ථාවක් ද විය. මතු ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය භුක්ති විඳින්නට සැරසෙන සුවහසක් දුවා දරුවන්ගේ ඉරණම විසඳෙන දවසක් විය. සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ ය. පසුව එය සම්මත කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීමේදී එක් ඡන්දයක අඩුවකින්, පනත පරාජය වෙමින් මතු නිදහස් අධ්‍යාපනය ලබන්නට සදාකාලිකවම කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට නොහැකිවන මොහොතක් උදාවෙමින් තිබිණ. ඩී. ඒ.රාජපක්ෂ නම් වූ මානව හිතවාදියා නිදහස් අධ්‍යාපන පනත සම්මත කරන්නට සිය ඡන්දය භාවිතා කරමින් ලක් ඉතිහාසයේ අවිනිශ්චිත තීරණාත්මක අවස්ථාවක් අසිරිමත් කරන්නට කටයුතු කෙළේ ය.

නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපේ රටේ වරප්‍රසාද ලත් පැලැන්තිය හා පවුල් නියෝජනය කළ මන්ත්‍රීවරු එම පනතට විරුද්ධ වෙද්දී ඩී.ඒ.රාජපක්ෂ මැතිඳා එම පනත ජයග්‍රහණය කරවීම සඳහා පොදු ජනතාවට නිදහස් අධ්‍යාපනය උදා කරදීමට එසේ සිය ඡන්දය පාවිච්චි කිරීම ඓතිහාසික අවස්ථාවක් විය.

1947 දී යළිත් නව පාර්ලිමේන්තුවට පත්වීමත්, බහුතරය නොමැති ඡන්ද ප්‍රතිඵලයකට පාර්ලිමේන්තුව පත් වූ අවස්ථාවේදී ද වමේ හා ප්‍රගතිශීලි හා ස්වාධීන මන්ත්‍රීවරු සමඟ බණ්ඩාරනායක මැතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට, ප්‍රගතිශීලි හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට එතුමා දැරූ උත්සාහය අසාර්ථක වුවද එය අනාගතය නිවැරදිව දැකීමක් විය.

නිදහසින් නොලද නව නිදහසක් සොයා තීරණාත්මක පියවරක් තබමින් 1951 ජූලි 14 දින එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා සමඟ ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට පැමිණෙමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා සමඟ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරන්නට කැපවෙමින් නව මගකට ප්‍රවිෂ්ඨ විය. එක ලක් ඉතිහාසය වෙනස් කරන්නට සමත් වූ තීරණාත්මක පියවරකි.

නවමු දේශපාලන ව්‍යාපාරයක් තුළ ද සිය අසුන විජයග්‍රහණය කළ එතුමා ප්‍රගතිශීලි කඳවුර හා සන්ධානගත දේශපාලනය තුළින් රටට බොහෝ දේ දායාද කළ හැකි බව නිතර පසක් කෙළේ ය. එවකට පැවති රජයේ ජනතා විරෝධී ක්‍රියාදාමයන් පරාජය කරන්නට ප්‍රගතිශීලි කඳවුර හා එක්විය යුතු බව අවධාරණය කෙළේ ය.

1956 ට ඔන්න මෙන්න කියා තිබියදී 1955 කොළඹ සිට කතරගමට ගිය දේශප්‍රේමි රථ යාත්‍රාවේ තංගල්ල නගරයේදී මුළු රටක් අවදි කරමින් ගමන් කළ සෝමවීර චන්ද්‍රසිරි කවියා කේ.එස්.කවියා, ටී.මලල්ගම කවියා, පී.බී.අල්විස් පෙරේරා කවියා ඇතුළු සියක් කවියන්ගෙන් සැදුම්ලත් දහස් ගණන් ජනයා තංගල්ල නගරයේදී ඩී.ඒ.රාජපක්ෂ මැතිඳා පිළිගත් අවස්ථාව මා කුඩා දරුවෙකු ලෙස දැක ඇත්තෙමි.

කුඩා දරුවන් ලෙස එදා චමල් රාජපක්ෂ මැතිඳා , මහින්ද රාජපක්ෂ මැතිඳා, එම කවියන්ගේ හඬ අසමින් අප පියවරු හිටපු වේදිකාවේ පහළ සිටි බවද මා ගෞරවයෙන් සටහන් කරමි.

1956 පෙබරවාරි 18 දින පාර්ලිමේන්තුව විසිර වූ පසු මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරඟ කළ යුතු යැයි සමහරුන් කළ යෝජනාවට එරෙහි වූ ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා, පිලිප් ගුණවර්ධන මැතිතුමා ඇතුළු ප්‍රගතිශීලි හා වමේ බලවේග සමඟ මැතිවරණයට මුහුණ දිය යුතු බව තරයේ ප්‍රකාශ කළේ ය. තනිව තරඟ කළොත් ආසන 20 යි. වමේ බලවේග සමඟ තරඟ කළොත් ආසන 70 යි. එය ඔහුගේ තක්සේරුව විය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා ඒ මතය පිළිගත්තේ ය.

බමුණු කුලය බිඳ

අධිරාජ්‍යගැති පාලන තන්ත්‍රයන් හා බමුණු කුලය බිඳ දමමින්, සමාජීය, දේශපාලනික , සංස්කෘතික හා ආර්ථික මහා පරිවර්ථනයක් සමඟින් එක්දහස් නවසිය පනස් හයේදී මෙරට පොදුජන යුගය ඇරඹිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිලිප් ගුණවර්ධන මැතිතුමා නායකත්වය දුන් විප්ලවකාරි සමසමාජ පක්ෂය, ප්‍රගතිශීලි පක්ෂ හා දේශප්‍රේමි සංවිධාන එක්ව, ‘ මහජන එක්සත් පෙරමුණ’ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පංච මහා බලවේගය ගොනු කරමින් රටේ සකලවිධ පරිවර්ථනයක් ඇති කෙළේ ය.

එදා ඩී.ඒ. රාජපක්ෂ මැතිඳුන්ගේ තක්සේරුව ප්‍රත්‍යක්ෂ විය. 1956 නව ජනතා රජයට ආසන 69 ක් ලැබිණ. එම ජනතා ජයග්‍රහණය උදා කිරීමෙහිලා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන රාජපක්ෂ පරපුර හා ගිරුවායේ ජනතාව දුන් අනුපමේය දායකත්වය අද ද අපි අභිමානයෙන් යුතුව සිහිපත් කරමු. මන්ද එය අද ද ලක්වැසියා බුක්ති විඳින ජනතා පරමාධිපත්‍යයේ එක් සංධිස්ථානයක වර්ණවත් පැතිකඩක් වීමයි.

එතුමා සිය ජීවිතයේ වඩාත් සතුටු වූ දින දෙකක් වූයේ මාගේ පියාණන් වූ පිලිප් ගුණවර්ධන මැතිඳුන් එදා ආහාර හා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඹුරු පනත සම්මත කළ දිනයත්, අගමැතිතුමා සමඟ වියළි ගොවි බිමට තෙතමනය ලබා දෙන්නට චන්ද්‍රිකා වැව යෝජනා ක්‍රමයට මංගල පස් පිඩැල්ල කැපූ දවසත් බව මා අසා ඇත. ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා නායකත්වය දුන් ගොවි ජනතාව හා එතුමන්ගේ බැණනුවන් වන ලක්ෂ්මන් රාජපක්ෂ මැතිතුමා ද සමඟ කුඹුරු පනතෙහි ජයග්‍රහණය ඉදිරියට ගෙන ඒම 1958 මාර්තු මාසයේ පළමුවනදා කුඹුරු පනත පළමුවෙන්ම ක්‍රියාත්මක දිස්ත්‍රික්කය ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රකාශයට පත් වීමත් සමඟ සිදුවිය.

මහත් පරිශ්‍රමයකින් කුඹුරු පනත කෙටුම්පත් කරමින් අවලාද තර්ජන මැද කුඹුරු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනේක විද ගැහැට මැද කුඹුරු පනත සම්මත කර ගැනීමට සිදුවිය. එය රිදී බන්දේසියක තබා දැහැමින් සෙමින් ලබා ගත් ජයග්‍රහණයක් නොවේ. මෙම පනත කෙටුම්පත් කිරීමේදී ඒ සඳහා වූ සාකච්ඡා තීන්දු තීරණ ගැනීමේදී ඩී.ඒ.රාජපක්ෂ මැතිඳුන් මා පියාණන් අභියසම සෙවණැල්ලක් මෙන්ම ක්‍රියාකළ බව නොරහසකි. විටෙක ඩී.ඒ.රාජපක්ෂ මැතිඳුන් බොරළුගොඩටත් විටෙක කොළඹටත්, පැමිණි අවස්ථා මෙන්ම පිලිප් ගුණවර්ධන මැතිඳුන් මැදමුලන ගිය අවස්ථා ද බොහෝ බව මා අසා ඇත. අද ද කෙතක නිදහසේ සිය ජීවනාලියෙහි යෙදෙන ගොවි ජනතාව දකිද්දී මා පියාණන්ගේ ගුණ සුවඳ මෙන්ම ඩී.ඒ.රාජපක්ෂ මැතිඳුන්ගේ දායකත්වය ද ඒ තුළ වන බව මට හැඟී යද්දී මහත් අභිමානයක් ගෙන දේ.

1956 දී පොදු ජනතාවගේ දහඩියෙන් බිහිකළ ‘රන්දෙවොලක්’ මෙන් වූ ජනතා රජය ප්‍රතිගාමින්ගේ කුමන්ත්‍රණයෙන් රහසේ බිඳ දමන විට ඩී.ඒ.රාජපක්ෂ මැතිඳුන් ඉන් වඩාත් ශෝකයට හා වේදනාවට පත් වූ පුද්ගලයෙකි.

අති දුෂ්කර කටුක දිවි පෙවෙතක් ගත කළ වලව නිම්නයේ ගොවි ජනතාව උදෙසා ආරම්භ වූ වලවේ ගඟ සංවර්ධන ව්‍යාපාරයේ චන්ද්‍රිකා වැව හා වාරි ව්‍යාපාරය හා සබැඳි බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම සඳහන් වූ ගොවිජන ව්‍යාපාරයේ යෝජනාව ඩී.ඒ.රාජපක්ෂ මැතිඳුන්ගේ ය. එවකට එතුමා ඉඩම් හා ඉඩම් සංවර්ධන උප අමාත්‍යවරයා ය.

සිහින සැබෑවක්

ගොවිතැන් බත් කරන රටක, අහරින් ස්වයංපෝෂිත විය හැකි ශ්‍රී ලංකාවක සිහිනය සැබෑ කරන්නට ඔහු තුළ තිබූ ඕනෑකම හා ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් පිටදීත් කැප වූ එම ආදර්ශමත් නායකයාගේ ගමන එලෙස සිහිපත් කරන්නේ එහි දෝංකාරය අද ද පවතින හෙයිනි.

මඩ ගොවිතැනට මෙන්ම ගොඩ ගොවිතැනට ද මූලිකත්වය දෙමින් මුඩු බිම්වල පැඟිරි බෝගය හා යෝග්‍ය බෝග වවා අමතර ආදායම් ලබා දීමට ජනතාව දිරි ගැන්වීය. පිදුරු භාවිතයෙන් වන ඇඹිලිපිටිය කඩදාසි කම්හල, හම්බන්තොට යල් කන්නයේ අහස් දියෙන් වන කපු වගා ව්‍යාපෘතිය එතුමන්ගේ නවමු සංකල්පයන් විය. ප්‍රදේශයට ආවේණික සියලු ග්‍රාමීය කර්මාන්තයන් නඟා සිටුවීමටද, ආවේණික නොවූවද, ක්‍රියාත්මක කළ හැකි ග්‍රාමීය කර්මාන්තයන් ස්ථාපිත කිරීමට ද කටයුතු කළ එතුමා සියලු අංශයන් නියෝජනය වන පරිදි සංවර්ධනයන් ගිරුවායට ගෙන ආවේ ය. එහිදී ප්‍රදේශයේ මානව සම්පත් ප්‍රදේශයේ දියුණුවට යොමු කිරීමට ප්‍රමුඛත්වය දුන්නේ ය. ගිරුවාය සංවර්ධනයට මුල පිරූ එතුමා එවකට පැවති සම්ප්‍රදායන් අනුව අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් නොහොත් උප ඇමති තනතුරුවල, එනම් ඉඩම් හා ඉඩම් සංවර්ධන උප අමාත්‍ය, කෘෂිකර්ම හා ඉඩම් උප අමාත්‍ය, වැඩබලන කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය, කාරක සභා නියෝජ්‍ය සභාපති, නියෝජ්‍ය කථානායක , කාරක සභා සභාපති යන තනතුරුහි වගකීම් නිසියාකාරව ඉටුකරමින් සකල ලංකාවටම සිය වගකීම් හරහා මෙහෙයෙක් කරන්නට කැපවිය.

ව්බිමේ ජීවනාලිය වූ ගොවි ජනතාව සමඟ කෙතේ සිට වක්කඩෙන් දෑත් සෝදා ගොවි ජනතාවගේ බර කරට ගන්නට සිය අත්සන යෙදූ ඩී. ඒ. රාජපක්ෂ මැතිඳුන් සිය ගොවි දිවිය කුරහන් සාටකය මගින් සංකේතවත් කොට මේ දේශයට අමිල දායාදයන් රැසක් තිළිණ කොට සිය මෙහෙවර ඉටුකළේ ය.

ඩී. ඒ.රාජපක්ෂ මැතිඳා එලෙස අප අතරින් සදහටම සමු ගත්තද, ජන අරගලයන් සහ ජාතික උරුමයන්ගේ සුවඳ ලබා දෙමින් පෙන් වූ ආදර්ශමත් මාවතේ හැදී වැඩී පන්නරය ලැබූ අප රට එක්සේසත් කළ අපේ රාජ්‍ය නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ පුතණුවන් අප රටට දායාද කර ඇත.

මාතෘ භූමියටත්, ජනතාවටත් ජයග්‍රහණය උදා කර දිය හැකි අධිෂ්ඨානය, කැපවීම හා ආදර්ශය එතුමන්ට ඒ උදාර පියාගෙන් ලැබුණාට කිසිදු සැකයක් නැත. ඒ සමඟම ගරු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාට මෙම ආදරණීය පියාගෙන් ලැබුණු අභිමානවත් පන්නරය අප රටට ශක්තියක් වී තිබෙන බව යළි යළිත් කිව යුතුය.

ඩී.ඒ. රාජපක්ෂ මැතිඳුන්ගේ නොනිමි මෙහෙවර ඉටුකරන්නට පෙරට එමින් 1970 දී ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් අද ශ්‍රී ලංකා ධරණිතලයම එක්සේසත් කළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් සිය සංවර්ධන සංග්‍රාමය දියත් කරන්නේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා මෙන්ම ගම හා කෘෂිකාර්මික සංකල්පයට මුල් තැන දෙමිනි.

අප ජනපති, එතුමා පැතූ ලොව අද ලක් පොළොව මත ගොඩ නගද්දී ඩී.ඒ.රාජපක්ෂ නාමය ගෞරවයෙන් සදාකාලිකව රැව් නැගෙනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා