යටගිය දවස බණකතා

යටගිය දවස බණකතා

ගණේගම ඤාණකීර්ති හිමි

අමාරුවේ වැටුණු දෙවිවරු

(බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කාලයේ රෝහිණී නදියේ ජලය සම්බන්ධයෙන් නෑයන් අතර ඇති වූ කලහය මුල් කොට ගෙන ඥාතීන් අතර සමගිය යහපත් බවත් එමගින් සතුරන් පරාජය කළ හැකි බවත් පෙන්වාදීම සඳහා මෙම ජාතක කතාව දේශනා කරන ලදී.)

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කාලයේ පළමු කොට උපන් වෙසවණ නම් යක් රජුට කාලයාගේ ඇවෑමෙන් චුතවන්නට සිදු විය. එවිට ශක්‍රදේවේන්ද්‍රයෝ ද වෙනත් කෙනෙකු ඒ නායකත්වයට පත් කළහ. කාලයාගේ ඇවෑමෙන් ඔහුට ද චුත වන්නට සිදු වූ කල්හි පත් වූ වෙසවුණු රජු

‘මහත් වූ ගස් කොළන් ලියවැල් ආදිය අතරින් තමන් කැමති තැනක විමාන සකස් කර ගැනීමට ඉඩ ලබා දෙන්නෙමි’යි

යනුවෙන් දෙවියන් අතරට පණිවිඩයක් යැවීය. එකල බෝසතාණන් වහන්සේ ද හිමාලය වනයෙහි එක්තරා සල් උයනක වෘක්‍ෂ දේවතාවෙක් ව උපත ලැබූහ. ඒ බෝසත් දෙවියා මේ පණිවිඩය අසා තමන්ගේ ඥාති දෙවි පිරිස අමතා

පින්වත් ඥාතිවරුනි, ඔබලා හැම දෙනා ම විමන් සාදා ගන්නේ නම් එළියේ හුදකලාව තිබෙන වෘක්‍ෂ වල විමන් සාදා නො ගන්නී ඔබලා මේ සල් වනයෙහි මා විසින් ගන්නා ලද විමානය පිරිවරා විමාන සකස් කර ගන්නැ’ කීය.

එය ඇසූ නුවණැති දේවතාවෝ බෝසත් දෙවියාගේ විමානය පිරිවරා විමන් සකසා ගත්හ. නුවණ නැති දේවතාවෝ

‘අපට වනයෙහි විමානයන් ගෙන් කවර ප්‍රයෝජනයක් ද? මිනිසුන් වසන ගම් නියම් ගම් රාජධානිවලම විමන් සාදා ගන්නෙමු. ගම් ඇසුරුකොට වාසය කරන දෙවියෝ බොහෝ ලාභයෙන් හා යසසින් උසස් බවට පැමිණෙන්නේය’

ආදී වශයෙන් මන්ත්‍රණය කොට මිනිසුන් සිටි එළිමහන් තැන්වල හටගත් තනිව වැඩුණු විශාල ගස්වල විමන් සාදා ගත්හ.

මේ අතර එක් දිනක් තද වැස්සක් සමඟ දැඩි සුළඟක් ඇති විය. මේ සුළඟින් තනිව වැඩුණු විශාල ගස් පවා ඉදිරී බිමට වැටුණි. එහෙත් සල්වනයේ තිබූ එක් ගසකටවත් කිසිදු හානියක් සිදු නො වීය.

බිදීගිය විමන් ඇති දෙවියෝ කිසිදු පිළිසරණක් නොමැතිව සල් වනයට පැමිණ බෝසත් දෙවියන්ට ඒ බව දැන්වූහ. එවිට බෝසත් දෙවියා ද

‘නුවණැත්තන්ගේ වචන නො අසා පිහිටක් නැති තැනට ගිය සත්ත්වයන්ට මෙවැනි දේ සිදුවන්නේය’

යනුවෙන් පවසා දේවතා පිරිස අමතමින්

‘පින්වත් දෙවියනි, ඔවු නොවුන් හා එක්ව බැදී නො සිට, වනයෙහි හටගත් ගස් පවා මහ සුළගින් ඉදිරී වැටෙන්නේ ය.

එනිසා පණ ඇති පණ නැති සියල්ලටම සමගි බව උතුම් වන්නේ ය.’

ආදී වශයෙන් ප්‍රකාශ කොට වෘක්‍ෂ දේවතාවන්ට අවවාද කොට යවා ආයු කෙළවර මිය පරලොව ගියහ. එකල දේවතාවෝ නම් දැන් මේ බුදු පිරිස ය.

නුවණැති වෘක්‍ෂ දේවතාවා නම් තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ය.

සත්‍යයේ බලයෙන් දිනූ මත්ස්‍යයා

(බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කාලයේ ඇති වූ නියඟයක් නිසා බුදු බලයෙන් වැසි වැස්සවීම හේතුකොට ගෙන භික්ෂූන් වහන්සේ අතර ඇති වූ සංවාදයක් මුල් කොට මේ ජාතක කතාව දේශනා කරන ලදී.)

ය ටගිය දවස කොසොල් රට වර්තමානයේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටින සැවැත්නුවර ජේතවනාරාමයෙහි ජේතවන පොකුණ පිහිටි තැන ගස්වැල් ආදියෙන් ගැවසීගත් එක්තරා ජලාශයක් විය. එකල බෝධි සත්වයන් වහන්සේ ඒ ජලාශයෙහි මත්ස්‍යයෙක්ව උපත ලබා මත්ස්‍ය සමූහයා විසින් පිරිවරා ඒ ජලාශයෙහි වාසය කළහ.

එකල හටගත් නියඟයක් හේතුවෙන් ගොවිතැන් වියලී ගියේ ය. වැව් ආදිය සිදී ගියේ ය. මසුන් හා කැස්බෑවුන් මඩ යටට වී සිටියහ. ජේතවන ජලාශයෙහි ද ජලය සිඳී ගිය බැවින් එහි සිටි මත්ස්‍යයෝ ද මඩ යටට ගොස් ඒ ඒ තැන්හි සැග වී සිටියහ. කපුටන් ආදී සත්වයින් පැමිණ මඩ මෑත් කොට ඒ යට සැගවී සිටින මත්ස්‍යයෝ අල්ලාගෙන කන්නාහ. බෝසත් මත්ස්‍යයා ද නියඟය නිසා තම ඥාති පිරිසට පැමිණි විනාශය දැක

‘මොවුන් ට පැමිණි මේ දුක නැති කරන්නට මා හැර වෙන කෙනෙක් නැත. එබැවින් මම සත්‍ය ක්‍රියා කොට වැසි වස්සවමි’ යි.

සිතා සැගවී සිටි තැනින් නික්ම වැස්ස වළාහක දිව්‍ය පුත්‍රයා අමතා

‘පින්වත් වූ වැස්ස වළාහක දිව්‍ය පුත්‍රය, මම නෑයන් නිසා දුකට පත් වූයෙමි. සිල්වත් වූ මා දුක් විඳිමින් සිටිය දී තොප කවර කාරණයක් නිසා වැසි නො වස්සන්නෙහි ද? මා තමන්ගේ ජාතියේ සතුන්ගේ මස් කා ජීවත්වන මත්ස්‍යයකු වී උපන් නමුත් කිසි දිනෙක හාල් ඇටයක් තරම් වූ හෝ මත්ස්‍යයකු නො කෑවේය. මා විසින් වෙනත් පණ ඇති සතකු හෝ මරා දමා නැත. මේ සත්‍යයෙන් වැසි වස්වා මාගේ ඥාති සමූහයා දුකින් මුදව.’

ආදී වශයෙන් කියමින් සත්‍ය ක්‍රියා කළේය. ඒ සත්‍ය ක්‍රියාවේ බලයෙන් මහත් හඬ නංවා ගොරවමින් විදුලි කොටමින් වර්ෂාව ඇඳහැලෙන්නට විය. ඒ මහා වැස්සත් සමඟ ජලාශ පිරී ඉතිරී ගොස් සියලු සතුන් හට සෙත සැලසුණේය. බෝසත් මත්ස්‍යයා මේ අයුරින් මහ වැසි වස්සවා සියලු සත්වයන් මරණ දුකින් මුදවා ජීවිතාවසානයෙහි කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියේ ය.

එකල මත්ස්‍ය සමූහයා නම් මේ බුදු පිරිසම ය. වැස්ස වළාහක දිව්‍ය පුත්‍රයා නම් ආනන්ද තෙරණුවන් ය. මත්ස්‍ය රාජව උපන්නෙන් තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා