ගලේවෙල ගම්මාන රැසක බෝංචි වගාවට වෛරස් රෝගයක්

ගලේවෙල ගම්මාන රැසක බෝංචි වගාවට වෛරස් රෝගයක්

අක්කර 200ක වගා විනාශයි: ගොවීහු අසීරුවේ

වෛරස් රෝගයක් වැළඳීමෙන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක පිහිටි බෝංචි වගාවක් විනාශ වී ගොස් ඇත. මැදබැද්ද, වහකෝට්ට, මාදපොළ, කැදන්ගමුව, දැඹව, පළාපත්වල, ලෝනවල, ගල්ගොඩයාය යන ග්‍රාම නිලධාරි වසම් හා අවට පිහිටි තවත් ගම්මාන රැසක ඇති බෝංචි වගාවන් මෙසේ විනාශ වී ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන ආකාරයට විනාශ වී ඇති බෝංචි කොටු ප්‍රමාණය තුන්සීයක් පමණ වේ. බිම් ප්‍රමාණයෙන් බැලූවිට අක්කර දෙසීයකට ආසන්නය. ඇට සිටුවා දෙසතියකට පමණ පසු බෝංචි වැල්වල කොළ කහපැහැ ගැන්වී ඇත. එසේ කහපැහැ ගන්නා කොළ මැරී හැලීයයි. කරල් හටගැනීමක් සිදු නොවේ. ආනයනිත බීජ වගා කිරීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ගොවීහු චෝදනා කරති.

රෝගය වැළැඳුණු බෝංචි වගාවක්.

වහකෝට්ට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පළාපත්වල කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සුසන්ති දිසානායක මහත්මිය මෙසේ අදහස් දැක්වීය. පළාපත්වල වසමේ ගොවීන් තිස්දෙනෙකුගේ පමණ බෝංචි කොටු මෙම රෝගයට ගොදුරුවෙලා. වැල්වල කොළ කහ ගැහෙනවා. කරල් හැදෙන්නේ නැහැ. අවට ගම්මාන හැට එකකම තත්ත්වය මේ හා සමානයි. ආනයනික බීජ වගා කළ ගොවීන්ටයි මේ තත්ත්වය උදාවී ඇත්තේ.

නිර්මලා විජේරත්න මහත්මිය - අපි අක්කර දෙකක බෝංචි හිටෙව්වා. මැලේෂියන් පොකුරු සීඩ් කියන ඇට වර්ගය මිලදී ගත්තා. මේ බෝංචි කොටුවට රුපියල් 75,000 – 80,000 පමණ මුදලක් වැය කළා. ඇට සිටුවා සති දෙකේ සිටම රෝගය, හැදෙන කොළ කහපාට වෙනවා, මැරී හැලී යනවා, කරල් හැදීමක් නැහැ. යොදන්න කියපු හැම බෙහෙතක්ම යෙදුවා. කිසිම බෙහෙතකින් රෝගය පාලනය කරගන්න බැහැ. ගොවීන්ගේ විශ්වාසය මේ රෝගය ප්‍රමිතියකින් තොරව ආනයනය කරන ඇට වර්ග නිසා සිදුවන රෝග තත්ත්වයක්.

වෑගොඩපොල ටී. එම්. පුංචිබණ්ඩා මහතා වසර තිහක පමණ අත්දැකීම් ඇති බෝංචි ගොවියෙක්. මේ ඔහුගේ අදහස්.

බීජ හිටවලා සති දෙකෙන් රෝගය වැළඳුණා. කියන කියන හැම බෙහෙතක්ම යෙදුවා. කිසිම ප්‍රතිඵලයක් නැහැ. අන්තිමේදී අක්කරයකට වැඩි බෝංචි කොටුව අතහැරලා දැම්මා. අද මේ පළාතේ ගොවියෝ දෙතුන් සීයක් අසරණවෙලා.

හොම්බාලන්දේ කේ. ජී. උපුල් ශාන්ත මහතා - මමත් බෝංචි කොටුවක් කළා. බීජ, පොහොර, තෙල් ආදි සියලුම දේ ණයට අරගෙනයි ගොවිතැන කළේ.  කොළ කහවීමේ රෝගයෙන් මුළු කොටුවම විනාශ වුණා. කිසිම ආදායමක් නැතිව ගත් ණය ගෙවා ගැනීම විශාල ගැටලුවක්.

වහකෝට්ට කෘෂිකර්ම උපදේශක කේ. ජී. පුංචිබණ්ඩා මහතා - මේ ප්‍රදේශයේ අක්කර දෙසීයකට ආසන්න බෝංචි වගාවක් විනාශ වී ගොස් තිබෙනවා. අපිට කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම ලබා දුන්නත් රෝගය පාලනය කරගන්නට බැරිවුණා. මෙය ආනයනික බීජවලින්ම ඇතිවූ රෝග තත්ත්වයක් යැයි ඇතැම් ගොවීන් දැඩිව කියා සිටිනවා. එහෙත් එකවරම එසේ තීරණය කළ නොහැකියි. මේ පිළිබඳව ගන්නෝරුව කෘෂි පර්යේෂණ අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා