නව වසරේ දී පුරසාරම් නවතා වැඩියෙන් වැඩ කළ යුතුයි

නව වසරේ දී පුරසාරම් නවතා වැඩියෙන් වැඩ කළ යුතුයි

ආචාර්ය සරත් අමුණුගම
ජ්‍යෙෂ්ඨ ඇමැති

කුත් වසරේ ආර්ථික ජයග්‍රහණ සහ 2012 ඉලක්ක පිළිබඳත්, ආර්ථික සංවර්ධනයේ දී රටේ ස්ථාවරත්වයක් තිබීම වැදගත් වන්නේ කෙසේද යන්න සහ උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා කොමිෂමේ නිර්දේශ මඟින් කෙරෙන මඟ පෙන්වීමත්, පළාත් සභා ක්‍රමය හා පොලිස් - ඉඩම් බලතල ගැනත්, රට ගොඩනැඟීමේ දී අවධානයට ලක්විය යුතු කාරණාත් විමසමින් අන්තර්ජාතික මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම සමඟ කළ සාකච්ඡාවකි.

* ඉකුත් වසරේ අප ලබාගත් ආර්ථික ජයග්‍රහණයන් සහ මේ වසරේ ඉලක්ක පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්ද?

2012 වර්ෂයේ අපේ රටේ ආර්ථික - සංවර්ධන ඉලක්ක පිළිබඳ ගරු ජනාධිපතිතුමාගේ අයවැය කතාව තුළිනුත් අයවැය විවාදයේ අවසන් පිළිතුරු කතාවෙනුත් එතුමා රටට දැන්වූවා. ඉන් ප්‍රධානම ඉලක්කය තමයි, සංවර්ධන වේගය 8% හෝ ඊට වැඩි මට්ටමක රඳවා ගැනීම. 2005 වසරේ පටන් අපේ රටේ ආර්ථිකය ප්‍රශංසාත්මක නැඹුරුවක පවතිනවා. 2012, 2011 වසරවලදී 8% ක වර්ධන වේගයක් අත්කර ගැනීමට හැකි වුණා. ඊට පෙර වර්ෂ කිහිපයේත් 6% සංවර්ධන වේගයක් පවත්වා ගත්තා. මෙය ඉතා ප්‍රශංසාත්මක නැම්මක්. මොකද, අද ලෝක ආර්ථිකය අර්බුදයට යමින් තියෙන්නෙ. අමෙරිකාව සහ යුරෝපා රටවල සංවර්ධන වේගය ඉතා පහළ හෝ සෘණ මට්ටමකට ඇවිත්.

මේ රටවල මූල්‍ය ක්‍රම, බැංකු ක්‍රම, නිෂ්පාදනය ආදී සියල්ල අභියෝගයට ලක්වෙලා. ගෝලීය ආර්ථිකයේ පෙරගමන්කරුවන් බවට දැන් පත්ව සිටින ඉන්දියාව හා චීනයේ පවා සංවර්ධන ඉලක්ක 8% කට සංශෝධනය කරලා. කලින් එය 10% කට ඉහළ මට්ටමක තිබුණේ. එනම් මේ තත්ත්වය ලොව ඉහළම ආර්ථික වර්ධනයක් සහිත රටවලටත් අභියෝගයක්. අපි මතක තබාගත යුතුයි මේ ප්‍රක්ෂේපණ ඉදිරිපත් වෙන්නෙ අසීරු ගෝලීය සන්දර්භයක බව. අපට හසුරුවාගත නොහැකි තෙල් මිල, භාණ්ඩ මිල, මූල්‍ය වටිනාකම් ආදී බාහිර සාධක අපේ ආර්ථිකයට බලපෑ හැකියි. අප මේ ආර්ථික අනාවැකි ඉදිරිපත් කරන්නෙ එවැනි සීමාවක් තුළ හිඳිමින්.

* ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් එවැනි ස්ථාවරත්වයක් කරා ළඟාවූයේ කොහොමද?

ප්‍රධාන හේතුව තමයි යුද්ධය නිමාවීම. දැන් උතුර සහ නැඟෙනහිර නිෂ්පාදකයන් දේශීය ආර්ථිකයට බද්ධ වෙමින් සිටින්නෙ. කෘෂිකාර්මික ක්ෂේත්‍රය ගත්තොත් ලංකාවට පමණක් නෙවෙයි ලෝකයටම ආදර්ශයක් විය හැකි ගොවීන් එහි සිටිනවා. අපේ ඇතැම් නිෂ්පාදකයන් මහ ලොකුවට ජාතිවාදය ගැන කතා කළත් උතුර, නැඟෙනහිර ගොවීන් තරම් සාර්ථකව නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්නේ නෑ. චීන කම්කරුවෙක් අපේ අත්වැඩකරුවකුට වඩා තුන් ගුණයක් වැඩ කරනවා. වෙනත් රටවල පරිපාලන නිලධාරීන් මෙහාට වඩා කාර්යක්‍ෂමයි. ඔවුන් සංවර්ධනය කරා යන ගමනේදී කකුලෙන් අදින්නෙත් නෑ. මෙවැනි පසුබිමක අවධාරණය කළ යුතු කාරණයක් තමයි, 2012 කියන්නෙ වේදිකාවල බෙරිහන් දෙන වසරක් නොවන බව. කුඹුරු ගොවිතැන, තේ, රබර්, පොල් ආදී වැවිලි වගා, ගොඩනැගිලි හා ඉදිකිරීම් කර්මාන්ත ආදී සෑම දෙයක්ම වඩාත් කාර්යක්‍ෂම විය යුතුයි.

නිදහසෙන් පසු සියල්ල නොමිලේ දීමට පටන් ගැනීම සූප්පුවක් දුන්නා වගේ වැඩක්. වැඩ කරන ජනයා ඵලදායිතාව අතින් පහළ මට්ටමකට වැටීමක් සිදුවුණා. විපක්‍ෂය කියනවා, විදේශීය ආයෝජන දුර්වල වෙන්නෙ රජයේ ප්‍රතිපත්ති නිසා කියලා. නමුත් සැබෑව නම්, අපේ ඵලදායිතාව සහ රාජ්‍ය පරිපාලනය වඩාත් කාර්යක්‍ෂම හා උසස් මට්ටමකට නොආවොත් මෙරට සේවකයන්ගෙන් වැඩක් නැති බව විදේශීය ආයෝජකයන් සිතීමයි. මේවා ගැන බොරුවට පිටකසා ගැනීමෙන් කාටවත් වැඩක් වෙන්නෙ නෑ. 2012 වර්ෂයේදී කතාව අඩුකර වැඩියෙන් වැඩ කළ යුතුයි. අද ලංකාවේ මාධ්‍යත් පුරසාරම් දොඩන දේශපාලනඥයන්ගේ වචනවලට මුල් තැන දෙනවා. ඒවා කම්මැලි මාධ්‍ය වෙලා. කිසිම දෙයක හරය විභාග කරන්න මහන්සි වෙන්නෙ නෑ. මේ විදිහේ ලණු දෙන මාධ්‍ය තුළින් රජය අපහසුවට පත්වෙන බව පසුගිය අධ්‍යාපන අර්බුදය, එළවළු කූඩ ප්‍රශ්නය, සාමය හා විනය පිළිබඳ ප්‍රශ්න වගේ ඒවායින් පැහැදිලි වුණා.

දැන්, එල්. ටී. ටී. ඊ. යට බැන බැන ඉන්නෙ නැතිව උතුර – නැඟෙනහිර ජනයාගේ කාර්යක්‍ෂමතාවට ළඟාවිය හැකි මට්ටමකට රටේ අනෙක් පළාත්වලත් දියුණුවක් පෙන්විය යුතුයි. වරප්‍රසාද ඉල්ලා කෑගසන, පෙළපාළි යන අයත් හොඳින් විභාග කළ යුත්තේ එවැනි වරප්‍රසාදයක්වත් නැති උතුර – නැඟෙනහිර ගොවි කම්කරු ජනයා කොපමණ ඉහළ මට්ටමකින් තමන්ගේ ශ්‍රමය උපයෝගී කර ගනිමින් තිබෙනවාද කියන එකයි. මෙහෙ කතා වැඩියි, තර්ජන වැඩියි, අභියෝග වැඩියි, එහෙ තියෙන්නේ නිහඬ ශ්‍රම දායකත්වයක්. කතාව අඩුයි, වැඩ වැඩියි. එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීම ගැන වේදිකාවල උදම් ඇනීමෙන්ම ඵලක් නෑ. ඒ පුරසාරම් නවතා වැඩියෙන් වැඩ කළ යුතුයි.

* යළිත් ත්‍රස්තවාදයට ඉඩක් නොතැබීම සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිෂමේ නිර්දේශ උපයෝගී කරගත හැකි යැයි ඔබ සිතනවාද?

උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂමේ වාර්තාව අප විග්‍රහ කළ යුත්තේ පෙර කී පසුබිමේ තබාගෙනයි. මේ රටේ සියලු ජනකොටස් සාමයෙන් - සහජීවනයෙන් සිටීම ඉතාම වැදගත්. ඔවුන් භේද භින්න කළොත් යළිත් රට ආර්ථික අතිනුත් අගාධයට යනවා. මේ නිසා රට එකමුතු කිරීමට අප සියලු දෙනාම සහාය විය යුතුයි. මෙයිනුත් ඊට අවශ්‍ය මඟපෙන්වීම් කර තිබෙනවා.

* 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අදාළව පොලිස් - ඉඩම් බලතල පිළිබඳ මතුකරන ප්‍රශ්නය ගැන ඔබේ දැක්ම කෙබඳුද?

13 වෙනි සංශෝධනය යටතේ දැනටමත් පළාත් සභා ක්‍රියාත්මකයි. උතුරේ හැර සෑම පළාතකම මහ ඇමැතිවරුන් සහ පළාත් කැබිනට් මණ්ඩල ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ සේවා, කෘෂිකර්මය ආදී විෂයයන් විමධ්‍යගත කර හමාරයි. එසේ කිරීමෙන් හොඳට දියුණු වූ ක්ෂේත්‍රයන් යළි කඩාවැටීම වෙනත් දෙයක්. මගේ පුද්ගලික අදහස නම් මධ්‍යම රජය යටතේ මේ ක්ෂේත්‍රයන් ක්‍රියාත්මක වූ කාලයේ දූෂණ – අක්‍රමිකතා අඩු බවයි, ඵලදායිතාව වැඩි බවයි. නමුත් විමධ්‍යගත වීමෙන් පසු ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හිරිකිත ක්‍රියාකලාපයන් නිසා ඉහත කී ක්ෂේත්‍රයන් අවුලෙන් අවුලට යනවා. ඒත් දැන් කරන්න දෙයක් නෑ. මෙය ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ දෙයක්. මෙතැනදි මට රහසක් හෙළිදරව් කළ හැකියි. මූලික වශයෙන් ජයවර්ධන ජනාධිපතිවරයා අදහස් කළේ පළාත් සභා උතුර – නැඟෙනහිරට පමණක් ලබා දීමටයි. දකුණේ පරිපාලනය මධ්‍යම රජය හරහාම කිරීම ඔහුගේ අදහස වුණා. නමුත් දෙවනුව පළාත් සභා ක්‍රමය රටටම අදාළ කෙරුණා. පළාත් සභාවලට එරෙහිව රට පුරා ඇතිවූ විරෝධයත්, පැමිණි බලපෑම් නිසාත්, ඔහුගේ ඇතැම් ස්ථාවරයන් වෙනස් වුණා. දැන් පළාත් සභා ක්‍රියාත්මකයි.

පොලිස් - ඉඩම් බලතල ගැන පමණයි අර්බුදයක් තියෙන්නෙ. දැන් සියලු පාර්ශ්ව පොලිස් බලතල ගැන එළවා නොයන බව මගේ විශ්වාසයයි. මක්නිසාද, මධ්‍යගත පොලිසිය මෙතරම් අසංවර නම්, විමධ්‍යගත පොලිසිය කොහොම වේදැයි අපට සිතාගත නොහැකියි. මහ ඇමැතිවරු යටතට පොලිසිය පත්කිරීම නරියාට කුකුළන් භාරදීම වගේ වැඩක් වෙයි. නිදසුනක් ලෙස, උගත් පාඩම් වාර්තාවේ පවා උතුරේ අවි ගත් කොටස් තමන්ගේ පටු අභිමතාර්ථ ක්‍රියාත්මක කර ගැනීමට ප්‍රයත්න දැරීම විවේචනය කර තිබෙනවා. පසුගිය සිද්ධීන් නිසා දේශපාලනඥයන් අවි – ආයුධ හා බලය අනිසි ලෙස යොදා ගැනීමට එරෙහිව රටේ විශාල ජනමතයක් ඇතිවෙලා. ඇත්ත නම්, මේ වගේ දේවල් නිසා අද දේශපාලනඥයන් රටේම හාස්‍යයට හා අවඥාවට ලක්වී ඇති බවයි. එවැනි පසුබිමක මහ ඇමැතිවරුන්ට හා පළාත් සභා මැති ඇමැතිවරුන්ට පොලිසියට අතපෙවීමට අවස්ථා දීමට මෙරට පුරවැසියන් කිසිසේත් එකඟවන්නේ නෑ. පනින රිලවුන්ට 13 වෙනි සංශෝධනයෙන් ඉනිමං බැඳීම අමනෝඥ ක්‍රියාවක්.

* ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ජාතීන් අතර එකමුතුව, විශ්වාසය ගොඩනැඟෙමින් තිබියදී එය බිඳ දැමීමට යම් යම් ප්‍රයත්න දියත් වෙමින් ඇති බවක් පෙනෙනවාද?

ජාතීන් අතර සමඟිය ඉතා ඉක්මනින් වර්ධනය කිරීම අත්‍යවශ්‍යයයි. ටිකෙන් ටික ද්‍රවිඩ හා මුස්ලිම් විරෝධාකල්ප මතුවෙන බවක් පෙනෙනවා. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අසාර්ථකත්වයෙන් අපට පාඩමක් ඉගෙන ගත හැකියි.  එනම්, දේශපාලන පක්‍ෂ අතර ගනුදෙනු තුළින් පමණක් ජාතික ප්‍රශ්නය විසඳාගත නොහැකි බවයි. මාධ්‍ය පවා අවධානය යොමුකරන්නේ පක්‍ෂ නායකයන් අතර ඇති සාකච්ඡා දෙසටයි. එහෙත් ලෙනින් කී පරිදි මහ පාරේ හඬට එනම් සාමාන්‍ය ජනයාගේ හඬට සවන් නොදුන්නොත් ගැටලු ඇතිවීම වැළැක්විය නොහැකියි. එවැනි විරෝධතා මර්දනය කරන්න ඒවා හිංසාකාරී මාර්ගවලට පිවිසීම ප්‍රවණතාවයි. අදත් සාම්ප්‍රදායික වම ගැන තරුණ පරපුරේ විශ්වාසය බිඳවැටිලා. මේ නිසා එකම විසඳුම හොඳ අධ්‍යාපන ක්‍රමයක් තුළින් හා ඉක්මනින් හා විකාශනය වන පුද්ගලික අංශය ද උපයෝගී කරගනිමින් මේ තරුණ පෙළ නව තාක්ෂණික ලෝකයට රැගෙන යාමයි. එසේ නැතිව පැරණි සටන් පාඨවල එල්බගෙන සිටියොත්, අපේක්‍ෂාවන් හා යථාර්ථය අතර ඇතිවන ගැටුම තුළින් අස්ථාවර බවක් ඇතිවීමට ඉඩ තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා