පහසුවෙන් සිහිය වඩන මඟ

පහසුවෙන් සිහිය වඩන මඟ

හැම සංගීතඥයෙක් ම මුලික ස්වර වාදනය කරයි. ඔබ පියානෝ වාදනය ඉගෙනීම අරඹන විට ඔබට ඉගෙනීමට සිදුවන මුලික ම දේ එය වන අතර නැවත කිසි කලෙකත් එය අත නොහරියි. ලෝකයේ හොඳ ම ප්‍රාසාංගික පියානෝ වාදකයන් විසින් පවා මුලික ස්වර වාදනය කිසිවිටෙකත් අතපසු කරනු නොලැබේ. එය අමතක වීමට ඉඩ හැරිය නොහැකි, මුලික ම කුසලතාව වන බැවිනි.

හැම ක්‍රිකට් ක්‍රීඩකයකු ම පන්දුවට පහර දීමට පුහුණු වෙයි. කුඩා කණ්ඩායම්වල දී ඉගෙන ගන්නා, කිසිදු දිනෙක අත්නොහැර පුහුණුවන පළමුවන දෙය එය ය. හැම ලෝක කුසලාන තරගයක් ම ආරම්භ වන්නේ පන්දුවට පහර දීම පුහුණුවීමෙනි. හැම විට ම මූලික කුසලතා මුවහත් ව තිබිය යුතු ය.

යෝගාවචරයා මුලික කුසලතා පුහුණු වන රංග භූමිය වාඩි වී කරන භාවනාව ය. ක්‍රීඩාව ඔහුගේම ජීවන අත්දැකීම් ය. ක්‍රීඩා උපකරණ වන්නේ ඔහුගේ ම ඉන්ද්‍රියයන් ය. හොඳින් පළපුරුදු වූ යෝගාවචරයා පවා වාඩි වී කරන පුහුණුව දිගට ම කරගෙන යයි. එයින් ඔහුගේ සුවිශේෂ කටයුත්තට අවශ්‍ය මූලික කුසලතාවන් තියුණු වී හොඳින් මුවහත් වී එයි. වාඩි වී කරන භාවනාව ම ක්‍රීඩාව නොවන බව අප කිසිදිනක අමතක නොකළ යුතු ය. එය පුහුණුවකි. මේ දැක්වෙන මුලික කුසලතාවන් උපයෝගී කර ගන්නා ක්‍රීඩාව, තමන් ගත කරන ඉදිරි ජීවිතයයි. එදිනෙදා ජීවිතයට එකතු කර නොගන්නා භාවනාව ප්‍රතිඵල රහිත හා සීමිත එකක් වනු ඇත.

විපස්සනා භාවනාවේ අරමුණු ඔබේ වින්දන හා ප්‍රජානන අත්දැකීම්වල මුලික හා ස්ථිර වෙනස්කම් ඇති කිරීම විනා එයට අඩු යමක් නොවේ. ඉන් බලාපොරොත්තු වන්නේ ඔබේ මුළු ජීවන අත්දැකීම් සමුදායෙහි ම විපර්යාසයක් ඇතිකරවීමට ය. පසෙක වාඩි වී පුහුණවෙහි යෙදෙන ඒ කාලපරිච්ඡේදයන් තම මනසට නව පුරුදු ඇතුළත් කිරීමට වෙන්කර ඇති වේලාවන් ය.

සංවේදන ලබා ගැනීමේ හා වටහා ගැනීමේ නව මාර්ග ඔබ උගනියි. දැනුමෙන් යුතු සිතිවිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ නව ක්‍රම සහ සිතට නොනවත්වා ගලා එන ඔබේ ම හැඟීම් කෙරෙහි යොමුවීමට නව වැඩපිළිවෙළක් දියුණු කර ගනියි. මේ අලුත් මානසික හැසිරීම් ඔබේ ජීවිතයෙහි ඉදිරි කාලය පුරා පවත්වාගෙන යාමට සකසා ගත යුතු ය.

එසේ නැතහොත් භාවනාව ජීවිතයේ අනෙකුත් අත්දැකීම්වලට කිසිදු සම්බන්ධයක් නැති වියළි, නිෂ්ඵල න්‍යායමය කොටසක් වශයෙන් ඉතිරි වෙයි. මේ කොටස් දෙක සම්බන්ධ කිරීමට කිසියම් උත්සාහයක් අත්‍යවශ්‍ය ය. යම්කිසි ප්‍රමාණයක දිගටම පවත්වා ගෙන යාමක් ඉබේට ම ඇතිවෙන නමුත් එය දුර්වල මෙන්ම අවිශ්වාසදායක දෙයකි. එසේ වුවහොත්, එය කිසි දියුණුවක් ඇති කරගත නොහැකි නිෂ්ඵල දෙයක් සේ සලකා, අතහැර දැමීමේ තත්ත්වයකට පැමිණිය හැකි ය.

අධිවේගී මඟ

ඔබේ භාවනා වැඩපිළිවෙළෙහි දී බොහෝ කලක් මතක තිබෙන සිද්ධියක් වන්නේ, ඔබ භාවනා කරමින් සිටින්නේ මුළුමනින් ම සාමාන්‍ය කටයුතු අතරතුර ය. යන්න පළමුවෙන් ම වටහා ගන්නා මොහොතයි. ඔබ අධිවේගී මගක රියක් පදවමින් සිටින අවස්ථාවක හෝ නිවසෙහි, කුණු කසල එළියට දැමීමට ගෙන යමින් සිටින විට හෝ එය ඉබේ ම සිහියට නැගෙයි. වැඩි දියුණුකර ගනිමින් සිටි කුසලතාවන් සැලසුමක් නොකොට ඉබේ ම ගලා ඒම නියම සතුටකි.

එය ඔබට අනාගතය දෙස බැලීමට ඉතාමත් කුඩා කවුළුවක් සපයා දෙයි. ඔබ පුහුණුව යනු කුමක් ද යන්න පිළිබඳ සුළු දැනීමක් නිරායාසයෙන් ම ලබයි.

අවබෝධයෙහි ඇතිවන මේ විපර්යාසය ඔබේ අත්දැකීමෙහි ස්ථිර ස්වභාවය බවට පත්විය හැකි ය යන්න ඔබට හෙළිදරව් වෙයි.

තවදුරටත් අවශ්‍යතා සහ ආශාවන් ම ලුහුබැඳ නොගොස් ඔබේ ඉදිරි කාලය ගත කළ හැකි ය යන්න ඔබ ම වටහා ගනී. පසෙකට වී සියලු දෙය ගලා බැස යන ආකාරය දැක බලා ගැනීම යනු කෙබඳු දෙයක් ද යන අපූරු ආස්වාදයේ රසයෙන් බිඳක් ඔබට දැනෙනු ඇත. එය අදහාගත නොහැකි මොහොතකි.

කෙසේ නමුත් ඔබ සක්‍රීය ලෙස වැඩපිළිවෙළ දිගට කරගෙන යාමට උනන්දු නොවුවහොත් එය සැබෑ නොවූ සිහිනයක් මෙන් පිළිබිඹු විය හැකි ය. භාවනාවෙහි ඉතාමත් ම වැදගත් අවස්ථාව ඔබ මෙට්ටයෙන් ඉවත්වන මොහොතයි. ඔබේ පුහුණු කාල පරිච්ඡේදය අවසන් වූ විට, ඔබට ඒ සියල්ල ම අතහැර දමා නැඟී සිටිය හැකි හෝ, එසේ නැතහොත් මෙම කුසලතාවන් ඔබේ ඉදිරි කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට ද හැකියාව තිබේ.

භාවනාව යනු කුමක්දැ’යි වටහා ගැන්ම ඔබට අත්‍යවශ්‍යය. එය කිසියම් ඉරියව්වක් හෝ හුදු මානසික අභ්‍යාස මාලාවක් නොවේ. භාවනාව යනු සිහිය පිහිටුවා ගැනීම වැඩිදියුණු කර ගැනීම සහ ඒ දියුණු කරගත් සිහියෙන් යුක්තවීම උපයෝගී කර ගැනීම ය.

ඔබට භාවනා කිරීමට වාඩිවීම අවශ්‍ය නොවේ. භාජන සෝදන අතර ද භාවනා කළ හැකි ය. නාන අතර ද, කිසියම් නිදහස් ක්‍රීඩාවක යෙදෙන අතර ද, ලිපි ටයිප් කරන අතර ද ඔබට භාවනා කළ හැකි ය. භාවනාව යනු සිහියෙන් යුක්තවීම වන අතර එය කෙනෙකුගේ සියලු ජීවිත කටයුතුවලට යොදාගත යුතුය. මෙය පහසු දෙයක් නොවේ.

නිශ්ශබ්ද ස්ථානයක භාවනා කිරීමට පහසු තැනක්වන නිසා විශේෂයෙන් ම එවන් තැනක, වාඩි වී සිටින ඉරියව්වෙහි යෙදී අපි සිහියෙන් යුක්තවීම දියුණු කරමු. යම් වැඩක යෙදී සිටින අතර, භාවනා කිරීම වඩාත් දුෂ්කර ය.

වේගයෙන් ඇදී යන ඝෝෂාකාරී පරිසරයක ද එය අසීරු ය. පේ‍්‍රමයෙන් මුසපත් ව සිටින විට හෝ, විවාදයක් වැනි දැඩි මමත්වය පෙරදැරි කරගත් කටයුතු මැද භාවනා කිරීම ඉහළම අභියෝගයකි. ආරම්භකයාට එතරම් මානසික පීඩාව ඇති නොකරන සෑහෙන කටයුතු ප්‍රමාණයක් ඇත.

එහෙත් භාවනා පුහුණුවෙහි පරමාර්ථය නොවෙනස් ව පවතී. නූතන සමාජ ජීවිතයෙහි දී එළඹෙන පීඩාවන් මධ්‍යයෙහි වුව ද නොසැලී සිටීමට තරම් මට්ටමකට කෙනෙකුගේ සමාධිය සහ සිහිය ශක්තිමත් ව ගොඩනැගිය යුතු ය. ඉලක්කය තවදුරටත් ඉතිරි ව තිබේ. ජීවිතයට බොහෝ අභියෝගයන් එළඹෙන අතර නියම යෝගාවචරයා කිසිවිටෙක වෙහෙසට පත්නොවෙයි.

ඔබේ එදිනෙදා ජීවන කටයුතු වෙත භාවනාව ගෙන යාම පහසු කටයුත්තක් නොවේ. එයට උත්සාහ කරන්න. ඔබට දැකගත හැක්කේ එවිට ය. ඔබේ භාවනා පුහුණුව අවසන් වී සාමාන්‍ය කටයුතු ඇරඹීමට පිවිසෙන අවස්ථාව දිගු පියවරකි. අප බොහෝ දෙනෙකුට එය ඉතාමත් දිග වැඩි ය. මිනිත්තු ගණනක් තුළ අපේ සන්සුන්කම සහ සමාධිය වාෂ්ප වී යන අතර අප කලින් සිටි තත්ත්වයට වඩා යහපත් තත්ත්වයකට නොපැමිණි බවක් මෙයින් හැඟෙනු ඇත. පරතරය යා කොට ඇති වන වෙනස්කම් සුමුදු කිරීම සඳහා අභ්‍යාස මාලාවක් බෞද්ධයන් විසින් සකසාගෙන ඇත. ඔවුහු ඒ පරතරය කොටස්වලට වෙන්කර කෙටි පියවර බවට පත් කරති. එක් එක් පියවර, වෙන් වෙන් වශයෙන් පුහුණු විය හැකි ය.

සක්මන් භාවනාව

අපේ එදිනෙදා පැවැත්ම චලිතයන්ගෙන් පිරුණකි. මුළුමනින් ම නිසොල්මන් ව පැය ගණනක් වාඩිවී සිටීමේ සාමාන්‍ය හැසිරීමට පටහැනිය. මුළුමනින් ම සන්සුන් තත්ත්වයන් මැද, අප වර්ධනය කරගන්නා නිශ්චලතාව ගොඩනඟා ගන්නා ඒ පාරිශුද්ධ, ශාන්ත තත්ත්වය, අප සසල වූ වහා ම අහෝසි වී යාමේ නැඹුරුවක් දක්වයි. සසලවීම් මධ්‍යයේ, ඒ පිළිබඳව දැනුවත් ව එහෙත් තැන්පත් ව සිටීම උගන්වන යම් ආකාරයක වෙනස්වීමේ අභ්‍යාසයන් අපට අවශ්‍ය ය. සසල නොවන තත්ත්වයක සිට දෛනික ජීවිතයට මාරුවීම සඳහා සක්මන් භාවනාව අපට උපකාරී වේ. වාඩි වී සිටීමට විකල්ප වශයෙන් යොදා ගන්නා එය, භාවනාව ක්‍රියාකරවීම ය. ඔබ නිමක් නැති තරම් නොසන්සුන් තත්ත්වයක පවතින වේලාවන්වල සක්මන් කිරීම විශේෂයෙන් යහපත් ය. පැයක සක්මන් භාවනාවෙන් බොහෝ විට එම නොසන්සුන් ගතිය ;ගවී යාමට ඉඩ ඇති අතර සෑහෙන ප්‍රමාණයක ශාන්තභාවයක් අත්පත් කරවාදීමට සමත් වෙයි. වඩාත් යහපත අත්වන සේ ඉන්පසුව ඔබට වාඩි වී භාවනා කිරීමට යොමුවිය හැකි ය.

ඔබ දෛනික ලෙස වාඩි වී කරන පුහුණුවට අමතර වශයෙන් භාවනාවට පමණක් වෙන් වූ සාමුහික වැඩසටහන්වලට සහභාගී වීම යෝග්‍ය බව සම්මත බෞද්ධ පුහුණුවීම් වැඩපිළිවෙළවල් පෙන්වා දෙයි. හුදෙකලා, සාමූහික භාවනා පුහුණු වැඩසටහන් විශේෂයෙන් භාවනාවට ම කැපවූ සාපේක්ෂව දිගු කාලපරිච්ඡේදයන් ය. එවැනි වැඩසටහන් ගිහි භවතුන්ට සාමාන්‍ය ය. පළපුරුදු යෝගවචරයන් වෙනත් කිසිදු කටයුත්තක් නොමැති ව, ආරාමික පරිසරයක වරකට මාස ගණනක් ගත කරන්නට පුළුවන. ඉතාමත් දැඩි වූ එවන් පුහුණුවකට සෑහෙන තරම් කායික සහ මානසික කැපවීමක් අවශ්‍ය කරයි. ඔබ වසර කිහිපයක් එවැනි පුහුණුවක යෙදී නොමැති නම්, ඵලදායක ලෙස වාඩි වී සිටිය හැක්කේ සීමිත කාලයක් පමණි.

වාඩි වූ ඉරියව්වෙහි ගතකරන නිශ්චල පැය දහයක කාලයක් බොහෝ ආරම්භක යෝගාවචරයන් තුළ ඔවුන්ගේ සිත් එකඟ කිරීමේ ශක්තියක් ඉක්මවා ගිය දැඩි කායික සහ මානසික වෙහෙසකාරී තත්ත්වයක් ඇති කරයි. එනිසා ප්‍රයෝජනවත් හා භාවනා පුහුණුවට පමණක් සීමා වූ සාමූහික පුහුණු වාරයක දී යොදා ගන්නා ඉරියව්වෙහි යම් වෙනසක් ඇතිවිය යුතු අතර, යම් ප්‍රමාණයක සංචලනයක් එකතු කරගත යුතු ය. සක්මන් කිරීමේ සහ වාඩිවීමේ අවස්ථාවන් කලවමේ යොදා ගැනීම සාමාන්‍ය පිළිවෙළ ය. කිසියම් ඉරියව්වක පැයක් ගත කර කෙටි විරාම ගැනීම සාමාන්‍ය පිළිවෙළ ය.

අප්‍රසිද්ධ ස්ථානයක්

සක්මන් භාවනාව සඳහා අව ම වශයෙන් පියවර පහක් දහයක් තරම්වත් කෙළින්, ඇවිද යා හැකි තරම ප්‍රමාණවත් ඉඩකඩ තිබෙන, පෞද්ගලික ස්ථානයක් අවශ්‍ය ය. ඔබ එහා මෙහා යනවිට එය බොහෝ බාහිර වැසියන්ගේ ඇස්වලට නම්, එදිනෙදා ජීවිතය සමඟ සම්බන්ධයක් නැති, අපූර්ව දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන. මෙය අනවශ්‍ය ලෙස අන් අයගේ අවධානයට ලක්වන පරිදි ඔබ නිවසෙහි දී කළ යුතු අභ්‍යාසයක් නොවේ එහෙයින් අප්‍රසිද්ධ ස්ථානයක් තෝරා ගන්න.

ස්ථානමය ලක්ෂණ ඉතා සරල ය. අවහිරතා නැති තැනක් තෝරාගෙන එක කෙළවරකින් පටන් ගන්න. අවධානයෙන් යුක්තව විනාඩියක් සිටගෙන සිටින්න. දෑත පහසු ආකාරයකට ඉදිරිපසින්, පසුපසින් හෝ දෙපසින් තබාගන්න. හුස්ම ගන්නාවිට එක පයක විළුඹ ඔසවන්න. හුස්ම හෙළන අතර එම පය ඉදිරියට ගෙන ගොස් ඇඟිලි බිම තබන්න. නැවතත් හුස්ම ගනනා විට අනෙක් පාදයේ විළුඹ ඔසවා ඉදිරියට ගෙන ගොස් හුස්ම හෙළන විට එය බිම තබන්න.

නැවත අනෙක් පාදයෙනුත් එය ම කරමින් අනෙක් කෙළවර දක්වා මෙසේ හෙමින් ගමන්කර, මිනිත්තුවක් නැවතී සිට ඉතා සෙමින් ආපසු හැරී, තවත් මිනිත්තුවක් සිටගෙන සිට ඉදිරියට ගමන් කරන්න. ඒ අයුරින් නැවත නැවතත් කරගෙන යන්න. හිස ඔසවා, ගෙල සැහැල්ලු ව තබා ගන්න. සමබරතාවය පවත්වා ගැනීම සඳහා ඇස් දෙක ඇරගෙන ඉන්න. නමුත් කිසිවක් දෙස විශේෂයෙන් නොබලන්න. ස්වාභාවික ලෙස ඇවිදින්න. ඔබට පහසු තරමින් හෙමින් පියවර ගන්න.

වටපිටාව ගැන සැළකිලිමත් නොවන්න. ශරීරයෙහි මස්පඩුවල ආතතියක් ඇතිවීම, පිළිබඳ සැළකිලිමත් වන්න. එසේ ඇතිවනු දැනුණ විගස එය මුදා හරින්න. ප්‍රසන්නව සිටීමට විශේෂ උත්සාහයක් නොදරන්න. ලස්සනට පෙනී සිටීමට උත්සාහ නොකරන්න. මෙය මලල ක්‍රීඩා අභ්‍යාසයක් හෝ නැටුමක් නොවේ. දැනුවත් වීමේ අභ්‍යාසයකි. ඔබේ අරමුණ පරීක්ෂාකාරීභාවය පවත්වාගෙන, දැඩි සංවේදිතාවයෙන් යුතු ව, ඇවිදීමේ ක්‍රියාපිළිවෙළ සම්පූර්ණයෙන් හා කිසිදු අවහිරයකින් තොරව අත්දැකීම ය. සුපරීක්ෂාකාරී තත්ත්වයකට පැමිණීම ඔබේ අරමුණ ය. දෙපතුල්වල සහ පාදවල ඇතිවන දැනෙන සුළු බව කෙරෙහි සම්පූර්ණ අවධානය ම යොදවන්න.

එක් එක් පියවර ගන්නා විට දැනෙන දේ ගැන මුළුමනින් ම සැළකිලිමත් වීමට තැත් කරන්න. ඉදිරියට යැවෙන අතරතුර ඒ පිළිබඳ හැකිතාක් තොරතුරු එක්කර ගැනීමට උත්සාහ කරන්න. ඇවිදීම නැමැති පිරිසිදු හැඟීම තුළට කිමිදී, හැම පියවරක ම ඇතිවන ඉතා සියුම් චලනයන් පවා දැන ගන්න. හැම මස් පිඩුවක ම ඇතිවන චලනයන් වෙන වෙන ම දැනගන්නී පය බිම තබන විටත්, නැවත ඔසවනවිටත්, සංවේදනයෙහි ඇතිවන හැම සියුම් වෙනසක් ම අත්දැක ගන්න.

ඉතා සියුම් ලෙසට පෙනෙන සක්මන් ක්‍රියාව සංකීර්ණ, කුඩා ගැස්මවල් මාලාවක් ඇතුළත් ව සකස් වී ඇති බව වටහා ගන්නී එකකුදු මග නොහරින්නට තැත් කරන්න. ඔබගේ සංවේදිතාව වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම චලනයන් නිශ්චිත, කුඩා කොටස්වලට වෙන්කරගත හැකි ය. හැම පියවරක් ම පාදය එසවීමක්, ඉදිරියට ගෙන යාමක්, ආදී වශයෙන් ඉදිරියට යයි. මේ හැම කොටසක ම ආරම්භයක්, මැදක් සහ අවසානයක් ඇත. මේ හැම ගමන් ක්‍රියාපිළිවෙළක් ම හොඳින් දැනෙන තත්ත්වයට ඔබේ සිත පත්කරවීම සඳහා හැම අවස්ථාවක් ගැන ම පැහැදිලි මානසික සටහනක් සකසා ගැන්මෙන්, ඔබට ආරම්භ කළ හැකි ය.

විපස්සනා භාවනා ක්‍රමය

‘එසවීම, ඉදිරියට ගෙන යාම, පහත් කිරීම, බිමට ස්පර්ශ වීම, තද කිරීම’ ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවන් ගැන සිතේ සනිටුහන් කරගන්න. එකකට එකක් පසුපස එන චලනයන් ඔබට හුරුපුරුදු කරවීමට සහ මෙහි ඇතිවන එක් එක් අවස්ථාවකුදු අතපසු නොකිරීමට පුහුණු කිරීමේ වැඩපිළිවෙළකි. දිගට පවතින නිමක් නැති තරම් වූ සියුම් සිදුවීම් ගැන වඩා දැනුවත් වනවිට ඔබට වචන යොදා ගැනීමටත්, කාලයක් නැතිවේවි. නොකඩවා ගලා යන චලනයන් පිළිබඳ සිහියෙහි ඔබව ගිලී සිටින අයුරු ඔබට ම දැකගත හැකිවෙයි. දෙපතුල ඔබේ මුළු විශ්වය ම බවට පත්වෙයි. ඔබේ සිත තැන තැන යා නම්, සාමාන්‍ය පළපුරුදු ආකාරයට සිත නොමඟ යාම සනිටුහන් කරගෙන සක්මනට ආපසු පැමිණෙන්න.

මේ සියල්ලක් කරන අතරතුර ඔබේ දෙපා දෙස බැලීම හෝ ඔබේ දෙපා සහ දෙපතුල් පිළිබඳ ව මනසින් ඇදගත් රූප බලමින් එහා මෙහා ගමන් කිරීම හෝ නොකරන්න. සිතන්නට නොව විඳගන්නට යොමුවන්න. පතුල් පිළිබඳ අදහසක් හෝ චිත්තරූප ඔබට අවශ්‍ය නැත. ගලා එන සංවේදයන් පිළිබඳව කෙළින් ම දැනුවත් වන්න. ආරම්භයේ දී කෙළින් සිටීම සම්බන්ධයෙන් ඔබට ඇතැම් අපහසුතා ඇතිවේවි. ඔබ දෙපාවල මස්පිඩු අලුත් ආකාරයකට පාවිච්චි කරන අතර, ඉගෙනීමට කාලයක් ගතවීම ස්වාභාවික ය. නිෂ්ඵල හැඟීමක් ඇතිවේ නම්, එය සනිටුහන් කරගෙන අතහැර දමන්න.

විපස්සනා සක්මන් භාවනා ක්‍රමය සකසා ඇත්තේ ඔබේ සිත හැඟීම්වලින් පිරී ඉතිරී යාමට සැලැස්වීමට ය. එය කෙතරම් දැඩි ලෙස කළ යුත්තේ ද යත්, අනෙක් සියලු දේවල් පසෙකට කළ යුතුය. මෙහි සිතුවිලිවලට ඉඩක් නැති හෙයින් උත්තේජනවලට ද අවකාශයක් නැත. අල්ලා ගැනීමට හෝ ක්‍රියා පිළිවෙළ සිතුවිලි මාලාවක් තුළ හිර කිරීමට වේලාවක් නැත. මමත්වය ඇතිකර ගැන්මට ද අවශ්‍යතාවයක් නැත. එහි ඇත්තේ එකිනෙකට සම්බන්ධ ක්‍රියාදාමයක් සහ චලනය වන සංවේදනයන් දැනීමත්, නිරන්තරයෙන් වෙනස්වන හුදු අත්දැකීම් මාලාවකුත් පමණි. මෙහිදී යථාර්ථයන් ඉවත්වෙනු වෙනුවට එයට වඩාත් සමීපවීමට උගනිමු. අප ලබන අවබෝධයන් කවරක් වූව ද ඒවා මතිමතාන්තරවලින් පිරුණ අපේ ජීවිතවල ඉදිරි කාලයට කෙළින් ම යොදාගත හැකිය.

ඉරියව්

පුහුණුවෙහි අරමුණ මොහොතක්, මොහොතක් පාසා අඛණ්ඩ ප්‍රවාහයක් ලෙස, අපේ අත්දැකීම්වල හැම පැත්තක් ගැන ම මුළුමනින් ම දැනුවත් වීමයි. අප කරන දේවල් සහ ලබන අත්දැකීම්වල වැඩි හරිය ඇතිවන්නේ සම්පූර්ණයෙන් ම නොදැනුවත්කම හෝ ඉතා සුළු අවධානයකින් යුක්තව ය. අපේ සිත් මුළුමනින් ම තිබෙන්නේ වෙනත් තැනක ය. අපි අපේ කාලයෙන් වැඩි හරියක් දවල් හීන සහ කලින් පැලපදියම් වු අදහස් නමැති ඝන මීදුමෙහි අතරමංවුන ස්වයංක්‍රීය නියමුවෙකු ලෙස ගත කරමු.

අප අතින් බොහෝ විට වැඩිපුරම නොසලකා හැරෙන්නේ අපේ පැවැත්මෙහි කායික පැත්ත ය. අපේ හිස තුළ දර්ශනය වන විවිධ වර්ණ රූපසටහන් කෙතරම් සිත් ඇදගන්නා සුළු ද යත් ඒවාට අපේ මුළු අවධානය, සියලුම ස්පර්ශ සංවේදනයන්ගෙන් ඉවතට ඇදගත හැකි වේ. ඒ තොරතුරු හැම තත්පරයක ම ස්නායු තන්තු ඔස්සේ ගොස් මොළය මත පතිත වෙතත්, අපි පුළුල් වශයෙන් එය සිතින් ඉවත්කර මුද්‍රා තබමු. එය සිතෙහි පහත් මට්ටම්වලට පතිතවන අතර ඉන් ඔබ්බට යාමක් නොමැත. උඩු සිතට මේ තොරතුරු පතිතවීම සඳහා දියදොර හැරීමේ අභ්‍යාසයක් බෞද්ධයන් විසින් සකසාගනු ලැබ ඇත. එය යටි සිතෙහි ඇති යමක් කෙරෙහි සිහියෙන් යුක්තවීම ඇති කෙරෙන තවත් මාර්ගයකි.

අත්දැකීම්

එක් දිනක් තුළ ඔබේ සිරුරෙහි විවිධ වෙනස්කම් ඇති වෙයි. ඔබ හිට ගනියි, ඉඳගනියි, ඇවිදියි, වැතිරෙයි, නැමෙයි, දුවයි, ඇඹරෙයි, ඇඟමැලි කඩයි, භාවනා ගුරුවරු ඔබට මේ කරන ආටන නාටක ගැන දිගින් දිගට ම සිහියෙන් යුක්ත ව සිටින ලෙස දන්වා සිටී. දවස ගතකරන අතරතුර හැම මිනිත්තු කිහිපයකින් ම තත්පරයක් දෙකක් ඔබේ ඉරියව්ව ගැන විමසා බැලීමට ගත කරන්න. එය විනිශ්චයකාරී ලෙස නොකරන්න. මෙය ඔබේ ඉරියව්වෙහි හරි වැරදි බැලීමට හෝ පෙනුම වැඩි දියුණු කිරීමට කරන අභ්‍යාසයක් නොවේ.

අවධානය සිරුර පුරා ගෙන ගොස් ඔබේ සිරුර තබාගෙන සිටිනුයේ කෙසේදැ’යි විඳගන්න. ‘ඇවිදීම’ හෝ ‘වාඩිවීම’ හෝ ‘සිටගෙන සිටීම’ ආදී වශයෙන් නිහඬව සිතෙහි සනිටුහන් කරගන්න. මෙය ඇත්ත වශයෙන් ම ඉතාමත් සරල දෙයකැ’යි හැඟුණත්, නොවැදගත් දෙයක් සේ නොසැලකිය යුතු අතර ඉතාමත් බලසම්පන්න අභ්‍යාසයක් ද වෙයි. ඉතා හොඳින් කරන්නේ නම්, මෙම මානසික පුරුද්දෙහි ගැඹුරට කාවැදුණහොත්, ඔබේ අත්දැකීමෙහි විපර්යාසයක් ඇති කිරීමට එයට හැකියාව තිබේ. එය පුර්ණ, නව සංවේදන පරිමාණයක් තුළට ඔබව කාවද්දන අතර නැවත පෙනීම ලබාගත් අන්ධයකු තත්ත්වයට ඔබ පත්වෙයි.

හෙමින් ක්‍රියාත්මක කළ යුතු දෙයක් :-

මේ දක්වන හැම ක්‍රියාකාරකමක් ම වෙන් වෙන් වූ කුඩා කොටස්වලින් සෑදී තිබෙන්නේ, සපත්තු, ලේස් ගැට ගැසීමේ සරල ක්‍රියාව ඉතා ම සියුම්, සංකීර්ණ චලනයන් මාලාවකින් සැකසී ඇත. මේවායින් වැඩි ප්‍රමාණයක් කිසිදු විමසීමක් නැති වම මඟහැරී යයි. සමස්තයක් වශයෙන් ගෙන සිහියෙන් යුක්තවීමේ පුරුද්ද වැඩි දියුණු කිරීම සඳහා ඉතා සරල ක්‍රියාවක් පවා හැකිතාක් හෙමින් ක්‍රියාත්මක කරවමින් එහි හැම සියුම් අවස්ථාවක් කෙරෙහි ම අවධානය යොමු කිරීම කළ හැකි වේ.

මේසයක් ළඟ වාඩිවී තේ කෝප්පයක් පානය කිරීම එක් උදාහරණයකි. මෙහි අත්දකින්නට බොහෝ දේවල් ඇත. වාඩිවී සිටින නිසා, ඔබේ ඉරියව්ව දෙස බලා, ඇඟිලි තුඩු අතර රැඳී තිබෙන කෝප්පයෙහි අඩුවේ ස්පර්ශයන් දැනගන්න. තේ කෝප්පයෙන් නිකුත් වන සුවඳ විඳගන්න. කෝප්පය තිබෙන තැන, තේ වතුර විමසන්න. ඔබේ අත සහ මේසයෙහි පිහිටීම හොඳින් දැක බලා ගන්න. අත එසවීමේ හැඟීම සිතෙහි මතුවන ආකාරය, කෝප්පය තොල් මත ස්පර්ශ වීම, දියරය මුව තුළට ගලායාම දැකගන්න. තේ රසවිඳ, ඉන්පසු අත පහත් කිරීමේ හැඟීම ඇතිවීම දැකගන්න. හැම සංවේදනයකට ම, සිතුවිලි සහ හැඟීම් ප්‍රවාහයට ම, නොබැඳුණ අවධානයක් යොමු කරවමින්, සම්පුර්ණයෙන් ඔබ එයට යෙදෙවෙන්නෙහි නම්, මුළු ක්‍රියාදාමය ම සිත් ගන්නා සුළු මෙන් ම ප්‍රසන්න ද වෙයි.

උපක්‍රම

ඔබේ දෛනික කටයුතු බොහෝමයකට මෙම උපක්‍රමය ම යොදා ගත හැකි ය. හිතාමතා ම ඔබේ සිතුවිලි, වචන සහ කායික චලනයන් ගලා එන වේගය අඩු කිරීමෙන්, සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට වඩා ගැඹුරින් විනිවිද යාමට ඔබට ඉඩ සලසයි. එහිදී ඔබට දැක ගැනීමට තිබෙන දේ සම්පුර්ණයෙන්ම විස්මය දනවයි. මේ ඉතාමත් අඩු වේගය බොහෝ හුරුපුරුදු කටයුතුවල දී හිතාමතා ම පවත්වා ගැනීම දුෂ්කර විය හැකි නමුත් එම කුසලතාව කාලය ගතවීමත් සමඟ වර්ධනය වෙයි.

වාඩි වී කරන භාවනාවෙහි දී දැඩි අවබෝධයක් ඇතිවන අයුරින් දවසේ එදිනෙදා කටයුතු කරන අතරතුර අප අපේ ම ඇතුළාන්තයෙහි වැඩපිළිවෙළවල් ඇත්ත වශයෙන් ම ගැඹුරින් පරීක්ෂා කරන්නේ නම්, අවබෝධයක් මෙන් ම නොයෙක් කරුණු හෙළිදරව්වීම් ද ඇතිවිය හැකිය. අපේ ම හැඟීම්වල ක්‍රියාකාරිත්වය සහ ආශාවේ හැසිරීම, සත්‍ය වශයෙන්ම දැකීම අරඹන පරීක්ෂණාගාරය මෙය ය. අපේ විචක්ෂණ නිගමනයන්හි විශ්වාසවන්ත භාවය සහ අපේ සත්‍ය හැඟීම් සහ අපවත් අනෙක් අයවත් රවටන්නට අප යොදාගෙන තිබෙන ව්‍යාජ අවි ආයුධවල ස්වභාවය පිළිබඳ දැකීම් මාත්‍රය සත්‍ය වශයෙන් ම තක්සේරු කළ හැකි ස්ථානය මෙයයි.

මෙම තොරතුරු වලින් වැඩි හරියක් පුදුම උපදවන අතර, බොහෝමයක් සිත් සසල කරවිය හැකි නමුත් ඒ සියල්ල ඉතා ප්‍රයෝජනවත් ය. මද අවධානය මනසෙහි කුඩා, අඳුරු අහුමුළුවල එකතු වී, සැඟවුණු ලට්ට ලොට්ටවලට කිසියම් පිළිවෙළක් ගෙන එයි. සිත විනිවිද දැකිය හැකි සිහියෙන් යුක්තවීමේ ආලෝකය සිතෙහි හැම අඳුරු අහුමුල්ලකට ම යොමු කෙරෙන නිසා ජීවිතයේ සාමාන්‍ය කටයුතු අතරතුර, ඔබ පැහැදිලි අවබෝධයකට පැමිණෙනවාක් මෙන් ම, විමසිලිමත් ව සහ සන්සුන් ව සිටීමේ හැකියාව ද ලබයි.

එවිට ඔබේ සිතෙහි පවත්නා දුකට ඔබ ම කෙතරම් දුරට වගකිව යුතු ද යන්න ඔබට ම පෙනෙන්නට පටන් ගනියි. ඔබේ සිතෙහි ඇති කරගෙන තිබෙන මසුරුකම, බිය, නොසන්සුන්කම, ඔබ ම ඇති කරගත් දෙයක් බව ඔබට පෙනෙයි. ඔබේ ම පීඩා සහ සීමාවන් ඔබ විසින් ම ඇතිකර ගන්නා බව ඔබට පෙනෙනු ඇති. මේ මානසික ක්‍රියාපිළිවෙළ වඩාත් ගැඹුරින් අවබෝධ කරගත් තරමට ම එම ගැටලු සිතෙහි රැඳී තිබෙන ගතිය අඩුවී යයි.

හුස්ම සම්බන්ධීකරණය

වාඩි වී කරන භාවනාවෙහි දී අපේ මුලික ම අවධානය යොමුවන්නේ හුස්මට ය. නිරන්තරයෙන් වෙනස්වන හුස්මට මුළුමනින් ම සිත එකඟ කිරීමෙන් නිසැක ව ම වර්තමාන මොහොතට අපව ගෙන එයි. චලනය වනවිට ද එම මුල ධර්මය යොදාගත හැකි ය. ඔබ යෙදී සිටින කටයුතු සහ ඔබේ හුස්ම ගැනීම සම්බන්ධ කළ හැකි ය. මෙයින් ඔබ යෙදී සිටින කටයුත්ත ඉදිරියට කරගෙන යාමට හොඳ රද්මයක් ලබාදෙන අතර එකවරට ම ඇතිවන වෙනස්වීම් ද හොඳීන් සමනය කළ හැකි ය. ඔබේ කටයුතුවලට අවධානය යොමු කරවීම වඩාත් පහසු දෙයක් බවට පත්වන අතර සිහියෙන් යුක්තවීම ද වැඩිදියුණු වනු ඇත. ඔබේ දැනුවත්භාවය මෙසේ වඩාත් පහසුවෙන් වර්තමාන මොහොතට එළඹ සිටී. ඇත්තෙන් ම භාවනාව දවසට පැය විසිහතර ම කරන පුහුණුවක් විය යුතුය. මෙය ඉතාමත් ම ඉහළ ප්‍රායෝගික යෝජනාවකි.

සිහියෙන් යුක්තවීම යනු සුදානමින් සිටින මානසික තත්ත්වයකි. සිත කලින් පැළපදියම්ව තිබූ දේවලින් සහ දුක්, කනගාටු වැනි දේවල්වලින් බර වී නොමැත. සිතෙහි ඇතිවන ඕනෑ ම දෙයක් ඒ මොහොතෙහිම අවධානයට ගත හැකි ය. ඔබ සත්‍ය වශයෙන් ම සිහියෙන් යුක්ත වනවිට ඔබේ ස්නායු පද්ධතියට නැවුම් බවක් මෙන් ම නැවත ප්‍රකෘතිමත් වූ ගතියක් ඇති කරවන අතර, අන්තර් ඥානය වැඩි දියුණු කරයි. ගැටලුවක් පැන නැගුණ විට ඔබ ඒ සම්බන්ධයෙන් සැහැල්ලුවෙන් කටයුතු කරන අතර ක්ෂණිකව, ඵලදායි ලෙස, කලබල නොවී එයට යොමුවෙයි. ඔබ එහි නොපැකිලෙන අතර මුළුගැන්වී එතැන භාවනා කළ හැකි වන සේ එයින් පැන දුවන්නේ ද නැත. ඔබ ඒ සම්බන්ධයෙන් කෙළින් ම කටයුතු කරයි. පහසුවෙන් විසඳුමක් සොයාගත නොහැකි, ඇතැම් දුර්ලභ අවස්ථාවන්හිදී ඔබ ඒ ගැන කරදර නොවෙයි. ඔබගේ අවධානය අවශ්‍ය ඊළඟ කරුණට යොමුවෙයි. ඔබේ සහජ ඥානය වඩාත් ප්‍රායෝගික එකක් බවට පත්වෙයි.

ඉලක්කය

භාවනාව ගැඹුරට දියුණු කරගත් කෙනෙකුට නිෂ්ඵල ව කාලය ගතකිරීමක් නැත. දවසේ වැඩක් නොමැති ව ගතවන වේලාවන් ප්‍රයෝජනවත් බවට හරවා ගෙන සෑම අමතර වේලාවක් ම භාවනාවට යොදා ගත හැකි ය. නොඉවසිලිවන්ත ව දන්ත ශල්‍යාගාරයේ වාඩි වී සිටින විට නොසන්සුන්කම ගැන භාවනා කරන්න. බැංකුවට ගොස් පෝළිමෙහි සිටින විට සිතෙහි නොසන්සුන් බවක් පැන නගියි නම්, ඒ නොසන්සුන් බව, ගැන භාවනා කරන්න. විඩාවෙන් යුතුව බස් නැවතුම්පොළක මාපට ඇඟිලි අඹරමින් ළතවෙන වේලාවක ඒ වෙහෙස භාවනා අරමුණ කරගන්න. දවස පුරා ම සුදානමින්, සිහියෙන් යුක්ත ව සිටින්න උත්සාහ කරන්න. මේ මොහොතෙහි සිදුවන දෙය කුමක් වුවත්, කෙතරම් පීඩාකාරී, වෙහෙසකර දෙයක් වුවත්, සිහියෙන් යුක්ත ව සිටින්න. ඔබ තනි ව සිටින විට ඒ අවස්ථාවේ වාසිය අත්කර ගන්න. අතිශයින් ක්‍රියාකාරී කටයුතුවලදීත් එම වාසිය අරගන්න. හැම අමතර තත්පරයක් ම සිහියෙන් යුක්තවීමට යොදා ගන්න. ඔබට හැකි හැම මොහොත ම යොදා ගන්න.

හැම කටයුත්තක දී ම සිතේ එකඟතාව පවත්වා ගන්න.

අවදි වූ මොහොතෙහි පැවති මුල් ම සංජානනයේ සිට නින්දට යන අවසාන සිතිවිල්ල දක්වා, දවසේ හැම කටයුත්තක දී ම මෙන් ම, දවස මුළුල්ලේ ඇතිවන හැමසිතිවිල්ලක් ගැන ම ද, සිහියෙන් යුක්ත වීම පවත්වා ගැනීමට උත්සාහ කළ යුතු ය. මෙය පිළිගත නොහැකි තරම් ඉහළ ඉලක්කයකි. එනිසා එකවර ම මෙය කළ හැකි යයි. නොසිතන්න. හෙමින් ඔබේ හැකියාවට කාලයක් තුළ දියුණු වන්නට ඉඩ හරින්න. මේ කටයුත්ත පුරුද්දක් බවට පත්කර ගැනීමට තිබෙන ඉතාමත් ප්‍රායෝගික දෙය ඔබේ දවස කොටස්වලට වෙන්කර ගැනීම ය. සිටින ඉරියව්ව ගැන සිහියෙන් යුක්තවීමට සෑහෙන වේලාවක් වෙන් කරන්න.

ඉන්පසුව, ආහාර ගැනීම, රෙදි සේදීම, ඇඳුම් ඇඳීම, ආදී අනෙක් සරල කටයුතුවලට මේ සිහියෙන් යුක්තවීම පතුරුවන්න. සමහරවිට දවස තුළ ප්‍රසන්න, අප්‍රසන්න, උදාසීන ආදී වශයෙන් මානසික ස්වභාවයන්ගේ විශේෂ ආකාරයන් ඇතිවිය හැක. උදාහරණයක් ලෙස එය නීවරණයක් ද, සිතිවිල්ලක් ද, යනුවෙන් විමසීම පුහුණු වීමට ඔබට මිනිත්තු පහළොවක්වත් වෙන් කළ හැකි ය. එක් එක් අවස්ථාව සඳහා යොදා ගැනෙන ක්‍රියා පිළිවෙළ ඔබට අයත් ය. අවශ්‍ය වන්නේ විවිධාකාර දේවල් කල් ඇතිව හඳුනා ගනිමින්, ඔබට හැකි තාක් පරිපූර්ණ ලෙස සිහියෙන් යුක්තවීමේ තත්ත්වය දවස මුළුල්ලේ ම පවත්වා ගන්නට පුහුණුව ලබා ගැනීමයි.

වාඩිවී භාවනා කිරීම සහ අනෙක් ඉතිරි අත්දැකීම් අතර අවම වෙනසක් ඇතිවන අයුරින් දෛනික කාලසටහනකට පුරුදුවන්න. එකකට ස්වාභාවික ලෙස අනෙක වෙත ඇදී යාමට ඉඩදෙන්න. ඔබේ සිරුර කිසිකලෙකත් මුළුමනින් ම නිශ්චල එකක් නොවේ.

හැමවිටම එහි විමසා බලන්නට තරම් චලනයක්, ඇත. අඩු තරමින් හුස්ම ගැනීමවත් තිබේ. ඔබේ සිත ගැඹුරුව, සමාධිමත් තත්ත්වයෙහි දී හැර අන් කිසිවිටෙකත් දොඩවීම නොනවත්වයි. එහි හැමවිට ම විමසීමට තරම් කිසියම් දෙයක් මතුවෙමින් තිබේ. ඔබේ භාවනාව ගැඹුරින් යොදා ගන්නේ නම් අවධානයට යොමු කරවීමට තරම් කිසිවක් නැති අවස්ථා ඇති නොවේ.

පුහුණුව එදිනෙදා ජීවන පරිසරයට යොදාගත හැකි අයුරින් සකසා ගත යුතු වෙයි. එය ඔබේ පර්යේෂණාගාරයයි. එය ඔබේ පුහුණුව ගැඹුරු සහ සත්‍ය එකක් කර ගැනීමට අවශ්‍ය අත්හදා බැලීම් සහ අභියෝගයක් සකසා දෙයි. රැවටීම් සහ වැරදීම්වලින් යුක්ත ඔබේ පුහුණුව පිරිසිදු කරන ගින්දර එයයි. ඔබ කවර හෝ තැනකට වී ඔබව ම මුලාකර ගන්නා විට ඒ බව පෙන්වා දෙන දැඩි පරීක්ෂණය එයයි. ඔබේ දෛනික ගැටුම් සහ අරගල සම්බන්ධයෙන් කටයුතු කිරීමට භාවනාව ඔබට සහයක් නොදක්වයි නම්, එහි වැදගත්කමක් නැත. ඔබේ එදිනෙදා හැඟීම්මය ප්‍රතිචාරයන් මෙහෙයවා ගැන්මට තරම් පැහැදිලි සහ පහසු නොවේ නම්, ඔබ ඔබේ කාලය නාස්තිකර ගනියි. ඔබ භාවනාව කරගෙන යන්නේ කෙසේදැ’යි සත්‍ය වශයෙන් ම එම පරීක්ෂණය කර ගන්නා තෙක් කිසි කලෙක ඔබ දැනගන්නේ නැත.

සිහිය පිහිටුවා ගැනීමේ පුහුණුව පොදු දෙයක් ලෙස සැලකිය හැකි ය. සමහරවිට ඔබ එය නොකරයි. එසේ නැතහොත් ඉඩ ලැබෙන වේලාවකට කල් දමයි. ඔබ හැමවිට ම කරන්නේ එයයි භාවනාව සාර්ථක ලෙස කරගෙන යා හැක්කේ ශබ්දය කා නොවදින කිසියම් නිස්කලංක තැනකට වී පමණක් යයි සිතන්නේ නම්, ඔබේ භාවනාව දියුණු වී නැත. විපස්සනා භාවනාව මොහොතින් මොහොතට සිහියෙන් යුක්තවීමට ඉගෙනීමයි. යෝගාවචරයා සිතෙහි ඇතිවන හැම අත්දැකීමක ම, හට ගැනීම, වැඩීම හා විනාශවීම කෙරෙහි මද අවධානය යොමු කිරීමට උගනී. හෙතෙම ඒ එකකුදු මගනොහරින අතර එකකට ද මගහැරෙන්නට ඉඩ නොදෙයි. සිතිවිලි සහ හැඟීම් ද ක්‍රියාකාරකම් සහ ආශාවන් ද ඇතුළත් මුළු දර්ශනය ම මෙයට ඇතුළත් ය. ඔහු ඒ සියල්ල දිගින් දිගට ම දකියි. එහි ප්‍රසන්න බව හෝ අප්‍රසන්න බව, ලස්සන බව, හෝ අවලස්සන බව, එතරම් අදාළ නොවේ. එය සකස්වන ආකාරය සහ වෙනස්වන ආකාරය දකියි. අත්දැකීම පිළිබඳ අදහසකුඳු අත නොහරින අතර වළක්වන්නේ ද නැත. එය දැඩි කැපවීමෙන් කරගෙන යා යුතු වැඩපිළිවෙළකි.

අවුල් ජාලය

ඔබේ දෛනික කටයුතු කරමින් ඉදිරියට යනවිට විඩාපත් වූ බවක් දැනේ නම්, ඒ විඩාපත්වීම ගැන භාවනා කරන්න. එය දැනෙන්නේ කෙසේදැ’යි බලන්න. එය ක්‍රියාත්මක වන ආකාරය සහ සකස් වී තිබෙන ආකාරය කෙසේදැ’යි විමසා බලන්න. ඔබ සිටින්නේ තරහෙන් නම් ඒ ගැන භාවනා කරන්න. තරහව ඇතිවන ක්‍රියාපිළිවෙළ සොයා බලන්න. එයින් පැන නොදුවන්න. කිසියම් අසහනයකින් දැඩිලෙස පීඩාවට පත්ව සිටින බවක් දැනුණහොත් ඒ ගැන භාවනා කරන්න. ඒ සමඟ නොඇලී, විමසා බලන්න. අන්ධයකු සේ එයින් බැහැර නොයා, ඒ ගැන සොයා බලන්න. අවුල් ජාලය සොයා බලා එහි ගමන් මාර්ගය සටහන් කරගන්න. එය සැකසී ඇත්තේ කෙසේදැයි සොයා බලන්න. ඒ ආකාරයට මීළඟට පැමිණෙන අසහනකාරී දෙය සම්බන්ධයෙන් එයටත් වඩා හොඳින් කටයුතු කරන්නට හැකිවෙයි.

විපස්සනා භාවනාවේ එක ම අරමුණ එදිනෙදා ජීවිතයේ වැටීම් සහ නැගිටීම් සම්බන්ධයෙන් දිගට භාවනා කිරීම ය. ඉතාමත් දැඩි, අවශ්‍ය ම වූ මෙවැනි පුහුණුවක් සංසන්දනය කර බැලිය නොහැකි තරම් මානසික නැමෙන සුළු බවක් ඇති කරවයි. යෝගාවචරයා හැම තත්පරයේ දී ම ඔහුගේ සිත විවෘත ව තබා ගනියි. හෙතෙම හැම මොහොතක ම ජීවිතය පිළිබඳව පරීක්ෂාකාරී වන අතර, ජීවිත පැවැත්ම දෙස ඇලීමකින් තොරව, අවුස්සා බලන ආකල්පයෙන් කටයුතු කරමින් තමාගේ ම අත්දැකීම් ගවේෂණය කරමින් සිටියි. මේ ආකාරයෙන් හෙතෙම හැමවිට ම කවර ස්වරූපයකින්, කුමන මුලයකින්, කෙබඳු වේලාවක හෝ සත්‍යයට විවෘතව සිටියි. විමුක්තිය සඳහා ඔබට අවශ්‍ය මානසික තත්ත්වය මෙයයි.

ඉඟියක්

භාවනාමය වශයෙන් සුදානම් තත්වයක මනස තබා ගන්නේ නම් ඕනෑ ම කෙනෙකුට, කවර මොහොතක හෝ ධර්මාවබෝධයට පත්විය හැකි යයි කියනු ලැබේ. හඳේ දර්ශනයක්, කුරුල්ලකුගේ හැඬීමක්, ගස් අතර හමා යන සුළඟ නඟන හඬක් ආදී ඉතාමත් සියුම්, ඉතාමත් ම සාමාන්‍ය ප්‍රත්‍යක්ෂයක් ප්‍රබෝධකය විය හැකිය. එම අවබෝධයට පත්වූයේ කවරක් පිළිබඳව සිතා බැලීමෙන් ද යන්න එතරම් වැදගත් නොවේ. අර කියන ලද විවෘත සූදානම් තත්වය අත්‍යාවශ්‍යය. ඔබ සූදානම් නම් මේ මොහොතෙහි ඔබට එය සිදුවිය හැකි ය. ඔබ අතෙහි තිබෙන මෙම පොතෙන් ඇතිවන සියුම් ස්පර්ශය ඒ සඳහා ඉඟියක් විය හැකි ය. ඔබේ හිස තුළ තිබෙන මේ වචනවල හඬ ප්‍රමාණවත් වේවි. ඔබ සූදානම් නම්, මේ මොහොතෙහි ම ඔබට ධර්මාවබෝධය ඇති කරගත හැකිය.

හේනේපොල ගුණරතන හිමියන් විසින් රචිත ග්‍රන්ථයේ සිංහලානුවාදය

කුඩාගම්මන සීලරතන හිමි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා