ජාතික ඇඳුම ඇන්දට පන්ති තහනම් කළා

ජාතික ඇඳුම ඇන්දට පන්ති තහනම් කළා

ඩේවිඩ් ඈපා සෙනෙවිරත්න

සම්පූර්ණ නම :- ඩේවිඩ් ඈපා සෙනෙවිරත්න
උපන් දිනය :- 1936. 03. 16
ගම :- වැයිහේන, බද්දේගම
පාසල් :-වැයිහේන කනිෂ්ඨ විද්‍යාලය, සුදුවැලිපත මහා විද්‍යාලය, ගා/රතනසාර පිරිවෙන, මහරගම ගුරු විදුහල, ගාල්ල බහු තාක්ෂණ විද්‍යාලය
පියාගේ නම :- දොන් ජෝන් ඈපා සෙනෙවිරත්න
මවගේ නම :- රුසියානා සූරිආරච්චි
සහෝදර සහෝදරියන් :- හතර දෙනයි.
බිරියගේ නම :- හබරාදූව හේවගේ ගුණවතී
දරුවන් ගණන :- තිදෙනයි.
ලැබූ සම්මාන :- සමුපකාර ප්‍රසාදනී සම්මානය

මගේ පියා 1896 වසරේ දී ඉපදී තිබෙන්නේ මතුගම වැලිපැන්න කෝපි වත්තේ වලව්වේදී. ඒ තාත්තාගේ අම්මගේ නිවසයි. තාත්තාගේ අම්මගේ නම ලූවිසා ජයවර්ධන. තාත්තාගේ ගම පිටිගල වැයිහේන ගමයි. ඈපා පංචාංග අයිති වන්නේ වැයිහේනේ ඈපා පරපුරටයි. තාත්තාත් ඒ පරපුරේ කෙනෙක්. තාත්තා, අම්මා සමඟ 1929 දී විවාහ වීමෙන් පසු පදිංචියට තෝරාගත්තේ අම්මගේ ගම වන බද්දේගම වැයිහේනයි.

තාත්තාට මුලින්ම රැකියාව කර තිබෙන්නේ බද්දේගම වැයිහේන වතුයායේ යි. ඊට පසු සුදු ජාතිකයන්ට අයිතිව තිබූ බද්දේගම පිලගොඩ වතුයායේ ප්‍රධාන කොන්දොස්තරවරයා වශයෙන් පත් වෙලා. තාත්තා තේ, රබර් සහ කුරුඳු වගාවන් පිළිබඳව හොඳ පළපුරුද්දක් තිබුණා. ඒ නිසා වතු පාලකවරුන් තාත්තාට වරින් වර විශේෂ තෑගි ද පිරිනමා තිබෙනවා. තාත්තාගේ වතු වගාව දැනුම උපයෝගී කරගෙන වෙනත් අයගේ ඉඩම්වල වගාවන්ටද උදව් කරලා තියෙනවා. අපේ තාත්තා කවරදාකවත් රෝහල් ගත වී නැහැ. ප්‍රදේශයේ ජනතාවගේ බොහෝ ආදර ගෞරව ලබා ගෙන අවු. 87ක් පමණ ජීවත් වුණා.

ජාතික හැඟීම

අපි ඉගෙන ගන්න කාලයේ බද්දේගමටවත් විදුලිය තිබුණේ නෑ. ඒ නිසා භූමිතෙල් ලාම්පු භාවිතා කරමින් තමයි ඉගෙන ගත්තේ. ලාම්පුවක් ඇඳ අසලින් තියාගෙන පාඩම් කරනවිට අපේ අම්මා ඒ ළඟ පුටුවක් තියාගෙන දැඩි සෝදිසියෙන් සිටියා. වරින් වර තේ හදාගෙන ඇවිත් බොන්න දුන්නා. නිදාගන්න ගියේ අම්මාගේ දැඩි පෙරැත්ත නිසයි.

මා පළමුවෙන් අකුරු කරන්නට ගියේ 1943 වසරේ වැයිහේන විදුහලටයි. එතැනින් අට ශ්‍රේණිය සමත්ව 1952 අවුරුද්දේ ගා/සුදුවැලිපත විදුහලට ඇතුළත් වුණා. එහෙම අධ්‍යාපනය ලබන කාලයේ රට පුරා ජාතික හැඟීම අවදිව තිබුණා. ජී. ජී. මලලසේකර මහතා හා හෙළ හවුලේ නායකයන් වැඩි දෙනා ජාතික ඇඳුමට ප්‍රවේශවීම නිසා මගේ තාරුණ්‍ය ඒ දෙසට යොමු වුණා.

ඒ අනුව 1954 වසරේ ජාතික ඇඳුම ඇඳගෙන මම පාසල් ගියා. බොහෝ සේ ඉංගී‍්‍රසියට බරවූ මේ විදුහලේ විදුහල්පතිතුමා මාව කාර්යාලයට ගෙන්වා ජාතික ඇඳුම ඇඳගෙන පාසල් නොඑන ලෙස තදින්ම අවවාද කොට සතියක පන්ති තහනමක්ද කළා. මේ සිද්ධිය මට කවරදාකවත් අමතක වෙන්නේ නෑ. 1954 වසරේ සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු වාණිජ අධ්‍යාපනය සඳහා පෞද්ගලික පාසල්වලට ගොස් වාණිජ විෂයන් ඉගෙනගෙන සමත් වුණා. ඒ අනුව 1956 වසරේ දී ගිණුම් ලිපිකරුවරයෙකු ලෙස සී/ස බද්දේගම විවිධසේවා සමුපකාර සමිතියට සේවයට ගියා. ඊට පසු 1961 වසරේ දී වාණිජ ගුරුවරයකු ලෙස ගා/වඳුරඹ මධ්‍යම විද්‍යාලයට පත්වීමක් ලැබුණා. මේ කාලය අතර ශ්‍රී/රතනසාර පිරිවෙනෙන් උසස් පෙළ හදාරා සමත් වුණා.

1964 වසරේ මහරගම පුහුණු ගුරු විදුහලට ඇතුළත් වී වාණිජ පාඨමාලාව හැදෑරුවා. ඒ පාඨමාලාව හැදෑරීමට නතර වුණේ එහි නේවාසිකාගාරයේ. මේ ගුරු විදුහලේ නේවාසිකාගාරවල සිටින සිසුන් ආහාර ගැනීමේ දී හැඳි ගෑරුප්පු පාවිච්චි කළ යුතුයි. එසේ තිබියදී හැඳි ගෑරුප්පු අත හැර අතින් කන්නට ආරම්භ කළේ මම යැයි කීවොත් නිවැරදියි. එය මාගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක්.

පවුලේ සාමාජික පිරිස

පරිපාලන සේවය

තවත් වරක් ගුරු විදුහලේ ආගමික දේශනයක් සඳහා මහාචාර්ය බඹුරැන්දේ සිරි සීවලී නාහිමියන් හමු වී දේශනයකට ආරාධනා කරන්නට ගියා. ඒ වෙලාවේ හාමුදුරුවෝ විද්‍යාලංකාර පිරිවෙනේ තිබුණු වැලි පීල්ලේ ගමන් කරන්නට සූදානමින් සිටියා. නායක හාමුදුරුවෝ මටද පැමිණෙන ලෙස කීවා. එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ නොහැකි වූ මමද හාමුදුරුවන් පිටුපසින් වාර කීපයක් ගියා. හාමුදුරුවෝ ඉතා වේගයෙන් එහාට මෙහාට යනවා. බැරිම තැන මම නැවතුනා. මෙයද ජීවිතයේ අමතක නොවන සිද්ධියකි. ගුරු විදුහල් පුහුණුවෙන් පසු විශිෂ්ට ලෙස සමත් වී 1966 වසරේ කා/අගලවත්ත මධ්‍යම විද්‍යාලයට පත්වීමක් ලැබුණා.

1969 වසරේ දී ගා/රිච්මන්ඩ් මහා විද්‍යාලයට පත්වීමක් ලැබූ මා 1972 වසරේදී නාවත ගා/වඳුරඹ මධ්‍ය විද්‍යාලයට පත්ව ආවා. මේ අතර 1975 වසරේ ගාල්ල බහු තාක්ෂණ ආයතනයට ඇතුළත් වී ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා. මේ වකවානුවේ 1978 වසරේදී ඇතිවූ දේශපාලන පෙරළිය නිසා දේශපාලන පලිගැනීමක් වශයෙන් මන්නාරම මඩු පාර විදුහලට පත්වීමක් ලැබුණා. එම පාසලේ ළමයින් 65ක් සිටි අතර ගුරුවරු 18ක් පමණ සිටියා. ඒ සියලු දෙනාම විවිධ පළාත්වල දඬුවම් මාරු ලැබූ අයයි.

එම විදුහලේ වැඩි පිරිසක් දෙමළ ළමයි සිටි අතර ඉන් පසු ගා/අලුත්ගම මහා විද්‍යාලයට පත් වීමක් ලැබුණා. 1981 වසරේදී ගෝනපීනුවල මහා විද්‍යාලයට පත්වීමක් ලැබූ මා 1991 වසරේදී විශ්‍රාම යන තෙක් එම විදුහලේ සේවය කළා. ඒ කාලය තුළ එක්සත් ජාතික පක්ෂය මට ගම් පළාතට පත්වීමක් ලබා ගැනීමට ඉඩ දුන්නේ නැහැ. එජාප රජය මට කරන ලද අසාධාරණ පිළිබඳ සලකා බලා වර්තමාන රජය අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවෙනි ශ්‍රේණියේ තනතුර ප්‍රධානය කළා. නැවත බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂය එම තනතුර ප්‍රතික්ෂේප කළා. ඊට පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ මා ඇතුළු පිරිසක් නඩු පැවරුවා. ඒ අනුව 1991 සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන සේවයේ දෙවන ශ්‍රේණියේ පත්වීමක් ලැබුණා.

විවාහ වූ දවස

1956 වසරේ දී බද්දේගම නැඟෙනහිර සණස සමිතියට බැඳුනු මා එදිනම උපලේකම් තනතුරකට පත් වුණා. ඊට පසු 1960 දී එම සමිතියේ සභාපති තනතුර පිරිනැමුනා. එදා සිට මේ දක්වා නොකඩවා සභාපති තනතුර මෙහෙය වනවා. 1960 වසරේදී රු. 18,000.00ක් පමණ තිබුණු සමිතියේ වත්කම් කෝටි විසිපහකට අධිකව වැඩි දියුණු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සණස සමිති අතුරින් දෙවරක් ප්‍රමුඛස්ථානය ලබා තිබෙනවා. 1961 වසරේ සිට 2005 වසර දක්වා කාල පරාසය තුළ සී/ස ගාලු ගඟබඩ පත්තුව කුඩා තේ වතු හිමියන්ගේ සමිතියේ අධ්‍යක්‍ෂවරයකු හා සභාපති ලෙස කටයුතු කර තිබෙනවා. සමිතියේ කර්මාන්තශාලාව සහ කාර්යාලය මාගේ පරිපාලන කාලය තුළ ගොඩනැගූ ඒවායි.

සණස මණ්ඩලය

1990 වසරේ සිට වසර 15ට අධික කාලයක් බද්දේගම සමථ මූල මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කර තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික් සණස මණ්ඩලයේ 1978 වසරේ සිට මේ දක්වා උප සභාපතිවරයකු ලෙස සේවය කරනවා. ගාල්ල දිස්ත්‍රික් සමුපකාර මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස දැනට අධ්‍යක්‍ෂවරයකු ලෙසත් දීර්ඝ කාලීනව සේවය කරනවා. බද්දේගම විවිධ සේවා සමුපකාර සමිතියේ 1972 වසරේ දී උප සභාපති හා වැඩ බලන සභාපති ලෙස කටයුතු කර තිබෙනවා.

1990 වසරේ සිට මේ දක්වා රුහුණු ප්‍රජා කේන්ද්‍රයේ උප සභාපති ලෙස සේවය කරනවා. එයින් දකුණු පළාතටම විවිධ සේවා ඉටු කර තිබෙනවා. එසේම බද්දේගම ඉඳුරුපත්විල විද්‍යානන්ද විහාරස්ථානයේ කාර්ය සාධක සමිතියේ උප සභාපතිවරයකු ලෙසද නිල්හේන සමාධි ආශ්‍රමයේ අනුශාසකවරයකු ලෙසද සේවය කරනවා. බද්දේගම නැඟෙනහිර ග්‍රාම සංවර්ධන සමිතියේ අනුශාසක ලෙසද, බද්දේගම නැඟෙනහිර අවමංගල්‍යාධාර සමිතියේ සභාපති ලෙසද වර්තමානයේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කරනවා.

සමුපකාර අමාත්‍යංශය හා සමුපකාර දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා සමුපකාර මණ්ඩලය මෙහෙයවීමෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිදු කළ සම්මාන ප්‍රදානයේ දී සමුපකාර ප්‍රසාදනී සම්මානයෙන් පිදුම් ලැබූවා.

මා විවාහ වූයේ 1969 වසරේදීයි. මට පුතුන් දෙදෙනකු හා දියණියක සිටිනවා. එවකට මාගේ බිරිය මරදානේ කල්‍යාණ විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙසද, කොලොන්නාව දහම් පාසලේ ගුරුවරියක ලෙසද සේවය කර තිබෙනවා. දැන් මට වයස අවුරුදු 75ක් පමණ වෙනවා. තාමත් මට හොඳින් වැඩ කළ හැකියි. දැනටත් මා ආයතන 10ක පමණ විවිධ තනතුරු දරන අතර, ඒවායේ වැඩ කටයුතු හොඳින් කරනවා.

දේශපාලන මාරුව

සමූපකාර ප්‍රසාදිනී සම්මානය ලබමින්

සමුපකාර ප්‍රසාදිනි සම්මානයෙන් පිදුම් ලැබූ මම මේ වනවිටත් සමිති සමාගම් රාශියකම කටයුතු කරනවා. සී/ස බද්දේගම නැඟෙනහිර සණස සමිතියේ සභාපති වන මම ඉඳුරුපත්විල ශ්‍රී ශෛල බිම්බාරාම විහාරස්ථ කාර්ය සාධක සමිතියේ උප සභාපතිද, සී/ස ගාල්ල දිස්ත්‍රික් සමුපකාර මණ්ඩලයේ උප සභාපති ද, සී/ස ගාල්ල දිස්ත්‍රික් සණස සමිතියේ උප සභාපති ද, බද්දේගම රුහුණු ප්‍රජා කේන්ද්‍රයේ උප සභාපති ද ලෙස කටයුතු කරන මා ගාලු ගඟබඩපත්තුව දකුණ තේ වතු හිමියන්ගේ සමුපකාර සමිතියේ අධ්‍යක්‍ෂක ලෙසද, ගාල්ල දිස්ත්‍රික් තේ නිෂ්පාදන හා විවිධ කාර්යය සමුපකාර සමිති සංගමයේ අධ්‍යක්‍ෂක ලෙසද කටයුතු කරනවා.

ගාල්ල දිස්ත්‍රික් සණස සංගමයේ මම අවුරුදු 31ක් එක දිගටම උප සභාපති කම දැරුවා. ඒ වගේම බද්දේගම නැඟෙනහිර සණස සමිතියේ අවු. 51ක් එක දිගට සභාපතිකමේ ඉන්නවා. මම හිතනවා ලංකාවේ ප්‍රථම වතාවට එක දිගටම නොකඩවා අවුරුදු 51ක් සභාපතිකමේ හිටපු කෙනෙක් ඉන්නේ. මේ කාලය තුළ මට හැකිවුනා කිසිම කෙනෙකුගෙන් ආධාර මුදල් නොමැතිව අපේ සමිතියේ ආදායමෙන් පමණක්ම ලංකාවේ දිගම සණස ගොඩනැගිල්ල ඉදිකිරීමට හැකිවුනා. එය දිගින් අඩි 195ක් වෙනවා. දැනට දිගම සණස ගොඩනැගිල්ල බද්දේගම සණස ගොඩනැගිල්ල වෙනවා.

මට තාම මතකයි කියනකොට මට මගේ ජීවිතේ අමතක කරන්නම බැරි සිදුවීමක් තමා දේශපාලන මාරුවීමක් ලබලා මන්නාරමට ගිහින් දුක් විඳපු කාලය සමඟ කිසිම උසස්වීමක් නොදී මාව වසර ගණනාවක් තබා ගැනීම පස්සේ මම එවකට තිබූ ආණ්ඩුව සමඟ නඩු කියලා නඩුවෙන් දිනුවට පස්සේ 2003 වසරෙදි ඉහළ උසාවියේ මහේස්ත්‍රාත් නියෝගයක් මත විදුහල්පති තනතුරක් ලැබුණා. ඒ ලැබුණෙත් වසර 12ක විදුහල්පති හිඟ වැටුප් සහිතව. ඒක මම ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණයක්. මම හිතන්නෑ කෙනෙක් රජයක් එක්ක නඩු කියලා ඒ තරම් සුවිශේෂි ජයග්‍රහණ තමන්ගේ සේවය වෙනුවෙන් අත්කර ගන්න උනන්දු වෙනවා කියලා. මේ අත්දැකීම අන් අයටත් හොඳ ආදර්ශයක් වේවි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා