අමද්‍යප ව්‍යාපාරය නිදහසට පදනම දැම්මා

අමද්‍යප ව්‍යාපාරය නිදහසට පදනම දැම්මා

1984 වසරේ පෙබරවාරි මස 04 වැනි සෙනසුරාදා පැවැති තිස්හය වැනි නිදහස් දිනයට දිනමිණ පුවත්පතේ නිදහස් සමරු අතිරේක සඳහා ලියූ ලිපියකි. මහා වංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් වෙ. වි. අභයගුණවර්ධන මෙම ලිපියෙහි රචකයාය.

අවුරුදු දෙදහසකට වඩා පැරණි අඛණ්ඩ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව ක්‍රි. ව. 1815 දී සුදු අධිරාජ්‍යවාදීන් ගේ ග්‍රහණයට හසු වැ තිබී ස්වාධීන රාජ්‍යයක් බවට යළි පත් වැ අදට අවුරුදු තිස් හයක් පිරෙයි.

ආරම්භයේ සිට අප රට විවිධ මාදිළියේ සතුරු ආක්‍රමණයනට වරින් වර ගොදුරු වූ නමුදු සුදු අධිරාජ්‍යවාදීනට යට වැ පැවති අවුරුදු එකසිය තිස් තුනක කාල පරිච්ඡේදය තුළ තරම් අපේ සමාජය, සිතුම් පැතුම් හා ජීවිතය මහා පෙරැළියකට ගොදුරු වූ තවත් අවස්ථාවක් ගැන කිය නොහැක.

සිංහල ජාතියත් බුදු දහමත් එකිනෙකින් වෙන් නොකළ හැකි තරමට බැඳී පවත්නා හෙයින් ඒ දෙක හුදු ඒකකයක් බවට පත් වැ ඇති බව නොරහසකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුදු දහම සිංහල ජාතියේ ජීවය බවට පත් වැ තිබිණි. අසිංහලයකුට වුවද බුදුනුවකු වී සිංහලයේ රජු වන්නට අවස්ථාව ලැබුණේ එහෙයිනි.

මේ තතු ඉඳුරා දැන සිටි ඉංගිරිසි අධිරාජ්‍යවාදීහු ශ්‍රී ලංකාව යටත් විජිතයක් කරගත් දා සිටැ රටේ ජීවය වූ ‘බුදු දහම’ විවිධ උපක්‍රම මාර්ගයෙන් අඩපණ කැර ලන්නට නොදැරූ ප්‍රයත්නයෙක් නැත. ඒ මගින් සිංහළ ජාතිය ද අඩපණ විය.

සිංහල ජාතියටත් බුදු දහමටත් එල්ල වූ මේ තර්ජනය ඉඳුරා දුටු මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි ජාතිය හා ආගමික හැඟීමෙන් පිබිදී ගිය එඩිතර භික්ෂූන් වහන්සේ අවංක එඩිතර ජනතාව ද සහාය කැර ගෙන අබෞද්ධයන් ගේ බුද්ධාගම් විරෝධ සටනට ප්‍රති ප්‍රහාරයක් එල්ල කළහ. මේ ජාතික සටන සාර්ථක කැරගන්නට නම් මේ දිවයින යළි නිදහස් කැර ගත යුතුªබව එදා කාගේත් පිළිගැනීම විය. මහා අධි රාජ්‍යයක් සමග එබඳු සටනක්කැර ජය ගැනීම පහසු කාර්යයක් නුවුවද ආරම්භයේ දී ජාතික හා ආගමික මුහුණුවරක් ගත් ඒ සටන පසුව දේශපාලන මුහුණුවරක් ගති.

විසිවන ශත වර්ෂයේ මුල් භාගයේ දී පහළවූ මේ තත්ත්වයට එරෙහිව එකල ජාති හිතෛෂි බෞද්ධ නායකයෝ කිහිපදෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුගේ මේ සටන ‘අමද්‍යප ව්‍යාපාරය’ නමින් හැඳින්විණි. ආරම්භයේ දී අමද්‍යප ව්‍යාපාරය ජාතික හා ආගමික මුහුණු වරක් ගෙන තැබූ නමුදු පසුව ඒ දේ්ශපාලන මුහුණු වරක් ගත්තේ ය.

ක්‍රි. ව. 1911 – 14 වර්ෂ වලදී අමද්‍යප සටන උච්ච අවස්ථාවකට පත් වෙමින් පැවැතිණි. අරක්කු තැබෑරුම් වස්වාලීම පමණක් නොව තැබෑරුම් සඳහා රජයෙන් අය කළ බදු ගැන ද විවිධ උද්ඝෝෂණ මතු වන්නට විය. මේ යුගයෙහි අමද්‍යප සටනේ පෙරමුණ ගෙන ක්‍රියා කළවුන් අතර ඇප්. ආර්. සේනානායක, ඩී. ඇස්. සේනානායක, ඩී. සී. සේනානායක ආදීහු වූහ. අරක්කු තැබෑරුම් විවෘත කිරීම නිසා සිංහල ජාතියත් සිංහල බෞද්ධ සංස්කෘතියත් විනාශ මුඛයට පත් විය හැකි බව මහ ජනයාට අවබෝධ කර දෙනු පිණිස විවිධ නගරවල හා ගම්වල විශාල මහජන රැස්වීම් පවත්වන්නට වූහ. මේ රැස්වීම්වලට ඇතැම් අවස්ථාවල දී විසි දහසකට අධික ජනකායක් පැමිණි බව කියනු ලැබේ.

කලක් රටින් බැහැර ව සිටි මහා සටන් කාමියකු වූ අනගාරික ධර්මපාල තුමා මේ අවදියෙහි ලංකාවට අවුත් සේනානායක ජනනායකයන් සමඟ උරෙනුර ගැටී අමද්‍යප සටන මෙහෙය වන්නට විය.

ධර්මපාල තුමා සුදු අධිරාජ්‍යවාදීන් ගෙන් ශ්‍රී ලංකාව මුදාගැනීම සඳහා ඍජු සටන් ව්‍යාපාරයක් මෙහෙයැවිය යුතුªබව මේ අවදියේ පළ කිරීම නිසා අමද්‍යප ව්‍යාපාරයේ ජාතික ආගමික මුහුණුවර කෙළින්ම දේ්ශපාලන ස්වරූපයක් ගත් බව පළ කළ යුතුය.

දේශපාලන නිදහසක් නො ලබා හුදෙක් සංස්කෘතික ප්‍රශ්න ගැන සටන් කිරීමෙන් තම අපේක්ෂා සපුරා ඉටු කර ගත නොහැකි බව ධර්මපාල තුමා දැන සිටියේ ය.

එහෙයින් ස්වරාජ්‍යය ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේ කාර්යය ඉතා වැදගත් බව ඔහුගෙන් නොයෙක් වර පළ වන්නට විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අමද්‍යප ව්‍යාපාරයේ කටයුතු ගැන එකල බ්‍රිතාන්‍ය රජය ඉතාමත් සැලැකිල්ලෙන් පසු විය.

1915 වර්ෂයේ මේ රටේ ඇතිවූ ජාතික භේද වාදී කෝලාහලයේ පිටුපස අමද්‍යප සටනේ නායකයන් සිටිති යි බ්‍රිතාන්‍ය රජය සැක පහළ කළාය. ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් සැක පිට හිරබාරයට ගත් පිරිස අතර ඇප්. ආර්. සේනානායක, ඩී. ඇස්. සේනානායක, ඩී. බී. ජයතිලක, ඩබ්ලිව්. ඒ. ද සිල්වා, සී. බවන්තුඩාවේ, සී. ඒ. හේවාවිතාරණ යන මහත්වරු ද වූහ.

ඒ සමඟම මේ අවදියෙහි දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සංවිධානය කරමින් රජයට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගෙන ගිය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතා ඇතුළු දුම්රිය සේවකයන් කිහිපදෙනෙක් ද රජය මගින් හිරබාරයට ගන්නා ලදහ. මේ සටන් කාමී වීර පිරිස කොළඹ සිට නැගෙනහිර පළාතේ කඳවුරක් වෙත ගෙන ගොස් මුරකාවල් යොදා හිර බාරයේ තබන ලදහ.

ජාතික භේදවාදී කෝලාහල සමථයකට පත් කරනු පිණිස රජය ගත් අදුරදර්ශී ක්‍රියා මාර්ගය ගැන සිංහල බෞද්ධයෝ සිය දැඩි විරෝධය පළ කළහ. අමද්‍යප ව්‍යාපාරය නමින් ඇරැඹි මේ ජාතික සටන මෙහෙයැ වූ ජනනායකයෝ පසුව දේශපාලන නිදහස ලබා ගැනීම සඳහා දිගින් දිගටම තම සටන් ව්‍යාපාරය මෙහෙයැ වූහ. 1931 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට ඩොනෝමෝර් ආණ්ඩු ක්‍රමයක් ලැබුණේ එහෙයිනි.

ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදීන් ගේ ග්‍රහණයට අසුවූදා සිට ගෙන ගිය නිදහස් සටන මෙහෙයැ වූ බෞද්ධ නායකයන් පමණක් නොව එයට තම දිවි පරදුවට තබා සටන් කළ වීර සිංහල බෞද්ධ ජනතාව ද ලංකාවට ස්වතන්ත්‍ර පාලනයක් ලැබී අවුරුදු තිස් හයක් පිරෙන 1984 පෙබරවාරි 04 වැනිදා හිස නමා ආචාර කොට ගෞරව දක්වා සැමරිය යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා