අපි දේශපාලනයෙන් ජීවත් වුණේ නෑ

අපි දේශපාලනයෙන් ජීවත් වුණේ නෑ

අතුරුගිරිය ගම්කාර්ය සභාවේ හිටපු උප සභාපති - ටී. ඒමිස් සිඤ්ඤෝ

උපන් වර්ෂය:- 1921
නම:- ටී. ඒමිස් සිඤ්ඤෝ
දේශපාලනයට පිවිසීම:- 1949 දී
දැරූ තනතුරු:– අතුරුගිරිය ගම් කාර්ය සභාවේ නියෝජිත, උප සභාපති

1949 වසර වනවිට අතුරුගිරිය ගම්කාර්ය සභාවේ ඒමිස් සිඤ්ඤෝ මහතා නියෝජනය කරන කොට්ඨාසයේ සිටියේ වෙනත් නියෝජිතයකි. ඔහුට ඒ වනවිට දේශපාලනය එපා වී තිබුණි. එය හේතුවී තිබුණේ ඔහු වෙත එල්ල වෙමින් තිබූ බලපෑම්ය. “ඒමිස් සිඤ්ඤෝ ලබන පාර ගම් සභාවට උඹ තරග කරපන්.” එවකට සිටි ගම්සභා නියෝජිතයා ඒමිස් සිඤ්ඤෝ මහතා වෙත දේශපාලන අභිෂේකය ලබා දුන්නේ ඒ අයුරිනි. එහෙත් ඒමිස්ට එක් දේශපාලන අභියෝගයක් ඒ වනවිටත් මතුව තිබුණි. “කොල්ලෝ මාත් මේ පාර ගම් සභාවට තරග කරනවා.” ඒමිස්ගේ ඥාතියකු ද ඒමිස් සමඟ තරග කරන්නට උත්සාහයක යෙදී සිටියේය. එහෙත් අවසානයේ දී දේශපාලනයට වඩා ලේ ගණකම් බව තහවුරු කරමින් ඒමිස් මහතාගේ ඥාතියා තරගයෙන් ඉවත් විය. “ඒමිස් උඹ තරග කරපන් මම ඉල්ලන්නේ නෑ.” ඒ සමඟම ඒමිස් මහතාට නිතරග දිනුමක් අත්විය. 1949 වසරේදී ප්‍රථම වතාවට ඒමිස් මහතා අතුරුගිරිය ගම් කාර්ය සභාවට පත්වන්නේ ඒ විදියටය.

“ගම්සභා මැම්බර්කමත්, මගේ තරුණ ජවයත් නිසා ගමට රටට වැඩක් කරන්න ඕනෑ කියලා විශාල ඕනෑකමක් මගේ හිතේ තිබුණා” රසමුසු හා වැඩකළ ඒමිස් සිඤ්ඤෝ මහතාගේ දේශපාලන ගමන ආරම්භ වූයේ මෙලෙසිනි.

ඇතැමුන් කියන්නේ ප්‍රතිපක්ෂවල දේශපාලනය බලවත්ව ඇත්නම් ප්‍රදේශයේ නියෝජිතයාට කිසිවක් කර ගැනීමට නොහැකි බවයි. එහෙත් ඒමිස් මැම්බර් මහත්තයාට අනුව නම් ඒ කතාව බොරුය. “කතා කරලා ඕනෑ දෙයක් කර ගන්න පුළුවන්.” වමේ දේශපාලනය කළත් ඒමිස් සිඤ්ඤෝ මැම්බර් මහත්තයාට පොදු වැඩවලදී භේදයක් නොතිබුණේය. ඔහු ගමේ පොදු වැඩවල දී සියල්ල සමඟ එකට වැඩ කළේය. ගමට වැඩක් කළේනම් ඒමිස් සිඤ්ඤෝ මැම්බර් මහත්තයා පමණි. ඒ ගැන අද පවා ගමේ මිනිසුන් කතා කරන්නේ කෘතගුණ පූර්වකවය. “මැම්බර් මහත්තයා හදපු පාරවල්වල තමයි අදත් අපි යන්නේ.” අතුරුගිරිය ගමේ වැසියෝ කියන්නේ ස්තුති පූර්වකවය. ඒ අතීතය ඒමිස් සිඤ්ඤෝ මහතා සිහිපත් කරන්නේ මෙලෙසය. “අද නගරයක් බවට මේ පළාත පත්වෙලා තිබුණට එදා යන්න එන්න පාරක් තිබුණේ නෑ. රබර් වතු මැද්දෙන් තමයි ආවේ ගියේ.” “මිනිහෙක් මැරුණාම මිනිය ගෙනෙන්නේ උණ බම්බුවල එල්ලාගෙන.” මිනීපෙට්ටිය කරෙන් ගෙනඑන්න පාරක් තිබ්බේ නෑ.” ඒමිස් මැම්බර් මහතා අතීතය සිහිපත් කරන්නේ එලෙසය.

මේ දුෂ්කරතා ජය ගැනීමට හැකි වැඩපිළිවෙළක් ගැන ඒමිස් මැම්බර් මහතා කල්පනා කළේය. ගමේ කොලු කුරුට්ටන්ගේ ශ්‍රමයත් ප්‍රභූන්ගේ සහයෝගයත් ලබාගෙන මාර්ග තැනීමට කටයුතු කළේය. පාරවල් තැනීමට පිරිසක් විරුද්ධ විය. එහෙත් ඔවුන්ගේ විරෝධයන් තඹයකට මායිම් නොකළ ඒමිස් මහතා සතියෙන් දෙකෙන් ගමට පිවිසෙන ම¼ඟ තැනුවේය. “මට ඕනෑ වුණේ ගමට වැඩක් කරන්න. අද මන්ත්‍රීවරුන්ට වගේ පහසුකම් තිබුණේ නැහැ. මුදල් ගැන අපේ හිතේ ඇල්මක් තිබුණේම නැහැ. මේ හැම දෙයක්ම අප කළේ පූජනීය වගකීමක් විදිහට හිතලා. ඒමිස් සිඤ්ඤෝ මැම්බර් මහත්තයා දේශපාලනයෙන් සල්ලි හම්බ කරන්නට ගියේ නැත. ඔහු පෙර කළ ප්‍රකාශයෙන් අපට එය මනා ලෙස තහවුරු කරගත හැකිය. දශක හතරකට ආසන්න කාලයක් ගම්සභා නියෝජිත ධුරය දැරූ ඒමිස් සිඤ්ඤෝ මහතා පිට පිටම මැතිවරණ පහක් ජය ගත්තේය. නැතිනම් නිතරගයෙන් පත්විය. මුලදී යතුර ලකුණින් තරග කළ ඒමිස් මැම්බර් මහත්තයා පසුව රෝදය, පුටුව වැනි ලකුණු වලින්ද තරග කළා පමණක් නොව එහිදී විශිෂ්ට ලෙස ජයගත්තේය. ගමේ ජනතාව ඔහු වෙත දැක්වූ දයාව මේ කරුණුවලින් වුවද මනා ලෙස තහවුරු කර ගත හැකිය.

ජීවන සහකාරිය හා

ඔහුට තවත් මිහිරි හා රසබර මතක රැසක් ශේෂව තිබේ. වියපත් වුවද ඒමිස් සිංඤ්ඤෝ මැම්බර් මහත්තයාගේ මතකය පැහැදිළිය. “... දවසක් බණ්ඩාරනායක මහත්තයා අතුරුගිරියට ආවා. එතුමා එතකොට විපක්ෂයේ මන්ත්‍රීවරයකු පමණයි . මා එතුමා පිළිඅරගෙන කතාවක් පැවැත්වූවා. “අපේ අනාගත අගමැතිතුමා” කියලා තමයි මා එතුමාව පිළිගත්තේ. එතනදි මට සමහරු හිනාවුණා. මේ යකාට පිස්සු කියලා.” ඒත් අවුරුදු දෙකක් යද්දි බණ්ඩාරනායක මහතා අගමැති වුණා, විතරක් නොවෙයි මගේ දේශපාලන අනාවැකියත් ඇත්ත වුණා.

මන්ත්‍රීවරයා වූවත් ඒමිස්ගේ ජීවිත වෘත්තිය වූයේ දේශපාලනය නම් නොවේ “මම විවාහ වුණා. ළමයි හැදුවා. හැබැයි ජීවත් වුණේ රබර් වතුවල කිරි කපලා. කම්කරුවකු විදිහට ජීවත් වුණා කියන්න මා ලැජ්ජා වෙන්නේ නැහැ. දේශපාලනයෙන්ම ජිවත් වුණානම් තමයි ලැජ්ජා වෙන්න ඕනෑ” ඒමිස් මැම්බර් මහතාගේ හදවත තුළ දේශපාලනය ගැන ඇත්තේ ගෞරවනීය භාවයකි. ඔහු ඉටු කළ ප්‍රමුඛ කාර්ය අතර මාර්ග ඉදිකිරීම පමණක් නොව නාන ළිං තැනීම ද තිබේ. එදා ඔහුගේ මැදහත් වීම මත ඉදිකළ ළිංවලින් අද පවා ගම්වාසීහු ප්‍රයෝජන ලබති. ප්‍රදේශයට වනගත බිම් මැදින් පාරවල් හතක් කැපූ මැම්බර් මහත්තයාට ළිඳක් ඉදිකිරීම එතරම් ලොකු දෙයක් නොවේ. “ඔබ ඉටු කළ සේවය ගැන අද මොකද සිතන්නේ.”

මට සංතෝසෙන් ඇස්දෙක පියාගන්න පුළුවන්, සීමිත සම්පත් ප්‍රමාණයකින් රටට විශාල වැඩකොටසක් කළා කියලා. අනෙක මම කවදාවත් වාසිය බලාගෙන වැඩකළේ නැහැ.

ඒමිස් මැම්බර් මහත්තයා අතුරුගිරිය ප්‍රදේශයට අලුත් අත්දැකීමක් ද එක් කළේය. අධ්‍යාපනයට ආධාර පිණිස ප්‍රදේශයේ කානිවල් එකක් සංවිධානය කළේ ඒමිස් සඤ්ඤෝ මහතා ඇතුලු තරුණ කැළය.

ඒමිස් මැම්බර් මහතා කියන විදිහට ඔහු අවුරුදු හතළිහකට අධික දේශපාලන ජීවිතයේ දී හරිහම්බ කරගෙන ඇත්තේ රුපියල් 28 පමණි. “මට මේ සල්ලි හම්බ වුණෙත් යාපනය අධ්‍යන චාරිකාවකට යන්න සහ තවත් අධ්‍යන චාරිකාවකට යන්න. මගේ දේශපාලන ජීවිතයටම ලබාගත්තේ මේ මුදල පමණයි. “අද වගේ කොමිස්, මුදල් ලැබුණේ නැහැ. බොහොම අවංක දේශපාලනයක් කළේ.” මම වැඩක් කරදීලා එක තේ කෝප්පයක්, බත් කටක් කෑවේ නෑ” මැම්බර් මහතා අතීතය සිහිපත් කළේ එලෙසිනි.

ගම්සභා මන්ත්‍රී මණ්ඩලය හා දේශපාලන සගයන් සමඟ

ඒමිස් සඤ්ඤෝ මැම්බර් මහතාට 1970 දශකයේ දී ඔරුවල වානේ කම්හලේ කම්කරු රැකියාවක් ලැබුණි. ඒ ඔහුගේ ජීවිතයේ තරුණ විය ඉක්මවා ගොස් තිබියදීය. ඒ අවධියේදීම ඒමිස් මහතාට සාමවිනිසුරු පදවියක් ද ලැබුණි. එම සාමවිනිසුරු පදවිය ද මෙරට ඉතිහාසයේ ලියැවෙන අන්දමේ තනතුරකි. මෙරට ඉතිහාසයේ කම්කරුවකුට සාමවිනිසුරු පදවියක් ලැබුණේ පළමු වතාවටය. එතෙක් කල් සාමවිනිසුරු පදවි ලැබුණේ ගුරුවරුන්ටය, වෙද මහත්වරුන්ටය නැතිනම් ඊටත් වඩා සමාජයේ ඉහළ ප්‍රභූන්ටය. කම්කරුවකුට සාමවිනිසුරු පදවියක් හිමිවීම යනු මෙවැනි තත්ත්වයක දී අතිශය සුවිශේෂී තත්ත්වයකි.

1949 වසරේ දී අතුරුගිරිය ගම් කාර්ය සභාවට පිවිසි ඒමිස් සිඤ්ඤෝ මැම්බර් මහත්තයා මෙරට ප්‍රාදේශීය සභා ක්‍රමය පිහිටුවන තුරුම අඛණ්ඩව අතුරුගිරිය ගම් කාර්ය සභාව නියෝජනය කළේය. අවසාන කාලයේ දී එහි උප සභාපති ධුරයට පත්වූයේ ද ඔහුය. මෙරට ග්‍රාමීය දේශපාලනයේ යුගයක් නියෝජනය කළ ඒමිස් සිඤ්ඤෝ මහතා අදත් නිරවුල් මනසින් හා ශක්තිමත් කායික සුවයකින් ජීවිතයේ සැඳෑ සමය ගත කරයි. ඔහු අප සමඟ කියූ ආකාරයට ඔහුගේ නිරවුල් මානසික හා කායික ශක්තියට හේතුව තමන්ට හිමි වගකීම් හා යුතුකම් වගකීම් සහගතවත් අවංකවත් ඉෂ්ට කිරීමය. තමන්ගේ ඡන්ද දායකයන් වෙනුවෙන් අවංක මෙහෙයක යෙදුන මේ හිත හොඳ මහජන නියෝජිතයා අද ගම් මට්ටම නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන්ට ජීවමාන ආදර්ශයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා