දොරමඬලාවේ එළවළු කොටුව

දොරමඬලාවේ එළවළු කොටුව

ද්වාර මණ්ඩපය හෙවත් දොරමඬලාව නම කියූ පමණින් නිතැතින්ම සිහියට නැඟෙන්නේ සිංහල රජදරුවන්ගේ වාසභූමියකි. මෙය සොඳුරු ගම් පියසකි. ගමේ ජීවය ඔදවත් තෙදවත් කරමින් නැගී සිටින පතාක යෝධයකු වැනි විහිදෙන ගල් තලාවෙන් විරාජමාන වේ. ඓතිහාසික දොරමඬලාව රජමහා විහාරය මේ ආසන්නයේ රමණීය පරිසරයක සැදැහැවතුන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතිය ඇති කරවයි. දොරමඬලාව ගල් තලාව සිංහලයාගේ රාජ පරම්පරාවේ ආරම්භය සනිටුහන් කරන බවට පණ්ඩුකාභය කුමාරය ළමා කාලය මෙහි ගත කිරීමෙන් සැක හැර දැනගන්න පුළුවන් බව ජනප්‍රවාදයේ එන්නකි.

වර්තමානයේ දොරමඬලාව පිළිබඳව වඩාත්ම කතා බහට ලක්වේ. ඒ ජාතියේ පහන් ටැඹ ලංකා බැංකුව විසින් දොරමඬලාව වැසියන්ගේ කෘෂි ආර්ථිකය නඟාසිටුවීමේ මහා සංග්‍රාමයක් සිදු කරගෙන යන බැවිනි.

මහා පරාක්‍රමබාහු රජතුමා බතින් සහලින් රට ස්වයං පෝෂිත කළේය. අක්කර දස දහසක් අස්වැද්දීමට එතුමා පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කළේ ජාති ජාතීත් නිවන් දකින්නට හේතු වාසනා ලබමින් නොවෙද? පරාක්‍රම සමුද්‍රය දෘශ්‍යමානවන මොහොතක් පාසා එතුමාට අප මුවින් පිං ලැබෙනු ඇත. මෙහි දිය බිඳක් අදත් ගොවි ජනතාව භුක්ති විඳින්නේ වසර දහස් ගණනකට පෙර එතුමාගේ දූරදර්ශී කෘෂි ආර්ථික ප්‍රතිපත්තිය නිසාවෙනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහින්ද චින්තන ප්‍රතිපත්තියේ ඉදිරි වැඩපිළිවෙළ යටතේ තම මව් බිමේ කෘෂි ආර්ථිකය පෝෂණය කිරීම සඳහා දිවි නැගුම වැඩසටහන තුළින් ලංකා බැංකුව ශ්‍රී ලංකා ආර්ථිකය උදෙසා අතිවිශිෂ්ට කාර්යභාරයක් සඳහා ගැමි ජනතාවගේ ජීවනෝපාය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් ආදර්ශමත් ගොවි ගම්මානයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලාව යාබදව රඹා වැව පිහිටි දොරමඬලාව ගම සශ්‍රීක කිරීමට ඒකරාශී වී සිටී. උතුරු මැද පළාතට අයත් වන මෙය මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිහින්තලය නගරය සිටඒ 9 මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගොස් 136වන කිලෝමීටර් කණුව අසළින් එනම් මරදන්කුලම හන්දියෙන් වමට හැරී අලුතෙන් ඉදිකළ ලංකා බැංකු මාවතේ කිලෝමීටර් තුනක් පමණ ගියවිට දොරමඬලාව හමුවේ.

ලංකා බැංකුවේ ආදර්ශමත් ගොවි ගම්මානයක් ලෙස දොරමඬලාව සුවිශේෂී වන්නේ මෙවැනි ව්‍යාපෘතියක් දිගුකාලීනව ගොවි ජනතාවට භුක්ති විඳිය හැකි හා එහි ඵල ශ්‍රී ලංකා රජයට සුවිශේෂි ව්‍යාපෘතියක් ලෙස ශක්තියක් සපයන නිසාවෙනි.

මෙම ගොවි ගම්මානය නඟාසිටුවීමට ලංකා බැංකුව ශ්‍රී ලංකා ආර්ථිකය නඟාසිටුවීමේ ප්‍රධාන නියමුවා වශයෙන් මඟ පෙන්වන අතර සාමාන්‍ය ජනතාවගේ දෛනික නිපයුම් උසස් ඵලදාවක් ළඟා කර ගැනීම උදෙසා මඟ පෙන්වනු ලබයි. මෙවැනි මහඟු කර්තව්‍යයක් උදෙසා ලංකා බැංකුව උර දී ඇත්තේ අති විශාල ව්‍යාපෘතියකිනි. පවුල් 240කට වඩා වැඩි ජනගහණයක් ඇති යල මහ දෙකටම වගා කළ හැකි වගා ළිං 34ක් ඉදි කරමින් මෙම පැරණි ගම්මානය නඟාසිටුවීම මුඛ්‍ය පරමාර්ථය වේ.

ලංකා බැංකුව මේ ආදර්ශමත් ගොවි ගම්මානය බිහි කිරීමේ දී උපදෙස් ලබා ගත්තේ මිහින්තලා රජමහා විහාරාධිපති නැඟෙනහිර නුවර ගම් පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය නාමල් වැවේ ධර්ම කීර්ති ශ්‍රී රතනජෝති රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදියි. මෙම ව්‍යාපෘතිය සාර්ථක කිරීමෙහිලා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පමුණුවේ සුමනජෝති නාහිමියන්ගේ අධීක්ෂණය යටතේ මෙම දොරමඬලා ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට සංඝරත්නයේ ආශිර්වාදය ලැබිණි.

ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මැතිඳුන්ගේ සුරතින් මේ ව්‍යාපෘතිය ඇරඹුණේ සැමට වස විසෙන් තොර කාබනික ගෙවත්තක් යන සංකල්පය මල්ඵල ගැන්වීමේ පූර්ව පෙර නිමිත්තකිනි. එතැන් සිට එම සංකල්පය සංවර්ධන ක්‍රියාවලියක් බවට පෙරළමින් සිහිනයක් නොව යථාර්ථයක් බවට පත් කළේ සංවර්ධන බැංකු කටයුතු අංශයේ අතිරේක මහා කළමනාකරු සෑම් සමරසිංහ මැතිතුමාය. එසේම එතුමා සමඟ එල්. සිරිවර්ධන මැතිතුමා ද ගම හා බැඳෙමින් ගමට ආදරය කරමින් ව්‍යාපෘතියට වගේම ගමට ශක්තියක් වුණා. ඔවුහු කැපවීම හා උද්යෝගය සාර්ථක ඵල නෙළා ගනිමින් ග්‍රාමීය ජනතාවගේ සිහින සැබෑ කරන්නට සමත් වූහ.

මෙම දොරමඬලා ව්‍යාපෘතිය යථාර්ථයක් වීමට ගමින් ගමට ගෙයින් ගෙට යමින් කෘෂි නිලධාරී කේ. එල්. ජයසිංහ මහතා කටයුතු කරමින් මෙය වඩාත් සාර්ථක කරගැනීමට ආදර්ශමත් ගොවිපළක කාර්යාලයක් පිහිටුවා විශේෂ කාර්ය භාරයන් දෙකක් ඉටු කරන්නේය.

1. කෘෂි වගාවෙන් සංවර්ධන කළාපයක් කිරීම

2. ගමේ ගොවීන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම

ගම්වාසීන්ට බැංකු පහසුකම් සැලසීමට ලංකා බැංකු ශාඛාව ගැමි ජනතාවගේ කටයුතු පහසු කරන අමන්දානන්දයට හේතු වූ කරුණකි. එසේම කෘෂිකාර්මික තොරතුරු දැනගැනීමේ සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත දිවි මංසල ගොඩනැඟිල්ල ඉදිවෙනවා. තව ද ගොවීනට නවීන කෘෂිකාර්මික දැනුම ලබා දීමට තෝතැන්නක් ලෙස කෘෂි ආදර්ශ මධ්‍යස්ථානයක් ගමේම පිහිටුවා අවසන්. මේ සෑම කටයුත්තකම පූර්ණ අනුග්‍රහය සහ පරිපාලන කටයුතු සංවර්ධන කටයුතු සඳහා ලංකා බැංකුවට ගෞරවය හිමි වේ.

දොරමඬලාව ගම්වාසීන්ට ලැබුණු දායාදයට ඔවුන් ඉත සිතින් ලංකා බැංකුවට ස්තුති පුද කරනු ඇත.

මහ කන්නයේ මහ වැහි පොළොවට වැටෙනවත් එක්කම ගමේ උදවිය එදා පුරන්ව තිබුණු ගෙවතු සකස් කරන්නට වැටකඩොළු අහුරන්නට, පාත්ති සකස් කරන්නට, තවාන් දමන්නට පටන් ගත්තේ තරගයටය. සෑම ගෙවත්තකම කොම්පෝස්ට් පොහොර ආදර්ශකයක් දක්නට ලැබුණි. ඒ ගෙවත්තට කාබනික පොහොර යෙදීමේ වාසියත් එමඟින් නිරෝගී බවත් ඇති වන බව ලංකා බැංකුව මගින් කියා දී තිබුණු බැවිනි. නොබෝ දිනකින් මේ ගෙවතු පුරා අලංකාරෙට වැවුණු බටු, මිරිස්, තක්කාලි, බණ්ඩක්කා, මෑ කරල්, වැටකොළු, පතෝල, දඹල, මඤ්ඤොක්කා, අල, බතල, ගොටුකොළ, නිවිති, මුකුණුවැන්න, කෙසෙල්, පැපොල් වගේම උඩරට වැවෙන බීට්, රාබු, නෝකෝල්, ගෝවා ආදී මෙකී නොකී බෝගයන්ගෙන් පිරුණු සරුසාර ගෙවත්තක් දැකිය හැක. එදාට මුළු දොරමඬලාවම නිල්ලෙන් පිරුණු වස විසෙන් තොර ගෙවත්තක් නිර්මාණය කර දීමේ ගෞරවය ලංකා බැංකුවට හිමි වනු නොඅනුමානය.

සෑම කටයුත්තක් තුළින් ම ලංකා බැංකුව රාජ්‍යය බැංකුවක් ලෙස තමන්ගේ සාමාජීය වගකීම මැනවින් ඉටු කරන ආකාරය අපූරුවට පැහැදිළි වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා