කටුගස්තොට බස් රථවල සිඟමන් යදින්නා සහායට තවත් දෙදෙනෙක් හවුල් කරගෙන

කටුගස්තොට බස් රථවල සිඟමන් යදින්නා සහායට තවත් දෙදෙනෙක් හවුල් කරගෙන

ආදායම තිදෙනා බෙදා ගනිති

බස් රථය ගමන් කරන්නේ කටුගස්තොට සිට මහනුවර බලාය. වට්ටාරන්තැන්න හන්දියෙන් පුද්ගලයකු බසයට නැඟ ගත් අතර ඔහු රියැදුරු අසුන අසල ඇළුමිනියම් බටයට හේත්තු වී සිය දුක් ගැනවිල්ල බසයේ ජනතාවට කියාගෙන යයි.

මේ බස් රථයේ ගමන් කරන වාසනාවන්ත ඔයාලා මට සමාවෙන්න, මම කුඩා කාලෙ පෝළියෝ රෝගය හැදිල දකුණු පැත්තම පණ නැති වුණා. බෙහෙත් කරල බෙල්ලයි, කකුලයි සනීප වුණා. ඒත් දකුණු අත සනීප කරන්න බැරි වුණා. මේ බලන්න. දකුණු අත පණ නැහැ. බොරුවක් වංචාවක් කරනව නෙවෙයි. මට හර්නියා එකක් හැදිලා මහන්සි වෙලා වැඩ කරන්න බැහැ.

ඉතින් මම වාසනාවන්ත ඔයාලා ගාවට එන්නම් මට උදව්වක් කරන්න.

ඔහු සිය කතාව අවසන් කරන්නත් පෙර බසයේ ඉදිරිපස අසුනේ සිටි මගියා රු. 20/- කොළයක් දුගියාට දුන්නේය. ඒ සමඟම දෙවැනි අසුනේ සිටි අයෙක් ද රු. 50/- කොළයක් දුන් අතර ඒ දුටු බසයේ මගීන් දුගියාට රු. 10, 20 නෝට්ටු දුන් අතර යාචකයාගේ අත මුදල් නෝට්ටුවලින් පිරී ගියේය.

ඒ සමඟම යාචකයාට මුලින්ම රු. 20 සහ 50 නෝට්ටු ලබා දුන් දෙදෙනා බසයෙන් බැස ගියහ. දුගියා ද ඊළඟ බස් නැවතුමෙන් බැස ගියේය.මේ සිදුවීම සිදු වී සතියකට පමණ පසු මම කටුගස්තොට සිට මාතලේ බලා යන බස් රථයක ගමන් කරමින් සිටියෙමි.

මා කලින් දිනක දුටු යාචකයා එම බස් රථයට නැඟ සුපුරුදු අෙඳීනාව බසයේ මගීන්ට ඉදිරිපත් කළේය.

එදා මෙන්ම බසයේ ඉදිරි අසුනේ සහ දෙවැනි අසුනේ සිටි මගීන් දෙදෙනා රු. 20 සහ 50 ක මුදල් නෝට්ටු දෙකක් දුගියාට දුන් අතර මට ඔවුන් දෙදෙනා ගැන හොඳ මතකයක් තිබිණි.

මේ මා කලින් සඳහන් කළ දිනයේ කටුගස්තොට සිට මහනුවර බලා ගිය බසයේදී යාචකයාට මුලින්ම මුදල් දුන් දෙදෙනාය.

මෙතන කුමක් හෝ ගැටයක් ඇති බව මට ඉවෙන් මෙන් වැටහුණත් නිහඬව මුදල් දුන් දෙදෙනා බස් රථයෙන් බහින නැවතුමේම මම ද බැස්සෙමි.

ඔවුන් දෙදෙනාට නොදැනෙන්නට මම ද ඉදිරියට ගමන් කළෙමි.

ඊළඟ බස් නැවතුමෙන් බැස ගත් දුගියා පෙර කී පුද්ගලයන් දෙදෙනාට මුණගැසිණ. යාචකයාට ලැබුණු මුදල් තිදෙනා අතර බෙදී ගියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා