මහරගම පාසල් 21කට පුස්තකාල පොත් බෙදා දෙයි

මහරගම පාසල් 21කට පුස්තකාල පොත් බෙදා දෙයි

අද අපේ දරුවන් විද්‍යුත් තාක්ෂණයේ වහලෙක් බවට පත්වෙලා. තාක්ෂණය මිනිසාගේ වහලෙක් විය යුතු වුවත් අද මිනිසා තාක්ෂණයේ වහලෙක්. එමනිසා අපේ දරුවන් පොතපතින් ඈත්වී සිටීම ඉතා කනගාටුදායකයි. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී කීය.

ඒ මහතා එසේ පැවැසුවේ මහරගම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් විසි එකක් සඳහා රුපියල් ලක්‍ෂ හතරකට අධික පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. ඇමැතිවරයා මෙසේ ද කීය. පාසල් දරුවන්ගේ වර්තමාන අභියෝගවලට මුහුණ දීම සඳහා පුස්තකාලවලින් කළ හැකි මෙහෙය අති විශාලයි. සෑම පාසලකටම පුස්තකාලයක් ඇතත් යාවත්කාලීනව දියුණු නොකළ ඒවායි. එමනිසා එම පුස්තකාලවල ඇත්තේ යල් පැනගිය පැරැණි ඒවායි. එබැවින් දරුවන්ගේ කියැවීමේ රුචිය වර්ධනය කරනවාට වඩා එයින් සිදුවන්නේ දරුවා පුස්තකාලයෙන් ඈත්වීමයි. අපි කළ යුත්තේ අනාගත අවශ්‍යතාවට ප්‍රයෝජනවත් පොත්පත් වර්තමානයේ සපයා දීමයි. විද්‍යාව තාක්ෂණය, කලාව, නව සංවර්ධන ක්‍රියාවලි හා සම්පත් දරුවාගේ මනසට ලබා දීමෙන් ඔහු පූර්ණ මිනිසෙකු බවට පත් වේවි.

ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති කේ. ජී. විමලසේන මහතා - දරුවාගේ නිර්මාණාත්මක බව දරුවාගේ සිතුවිලි නව දර්ශනයකට යොමුකිරීම සාර්ථක පුස්තකාලයකට කළ හැකියි. පාසල්වල සමහර පුස්තකාලවල පොත්පත් පරිස්සමට අල්මාරිවල තැන්පත් කරලා දරුවන්ට පොත්පත් කියැවීම සඳහා යහපත් පහසුකම් සහිත පරිසරයක් නිර්මාණය කළ යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා