වෙනත් පොළකින් බඩු ගන්න එජාපයෙන් යෝජනා

වෙනත් පොළකින් බඩු ගන්න එජාපයෙන් යෝජනා

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ දැමීම කවුරු පිළිගත්තත් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නා පාටක් නැත. 1970 සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ මුදල් ඇමැති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ලෝක වෙළෙඳ පොළ ගැන මුලින්ම කතා කළේය. බඩු මිල ජාත්‍යන්තර වශයෙන් ඉහළ ගිය හැටි එකින් එක පෙන්වා දුන්නේය. ජනතාවට සියල්ල අවබෝධ කර දුන්නේ හිතේ සතුටකින් නම් නොවේ. එදා ඇන්. ඇම්. තමන් කැමති පරිප්පු ටිකවත්, කරෝල කෑල්ලවත් ජනතාවට ගෙනවිත් නොදුන්නේ ලෝක වෙළෙඳ පොළ ඒ තරමටම ශ්‍රී ලංකාවට හයිරන් කළ නිසාය. මේ බව කියා සිටිද්දී එදා එක්සත් ජාතික පක්ෂය ලෝක වෙළෙඳ පොළට සිනාසුණේය.

පක්ෂ නායකයකු ප්‍රසිද්ධ රැස්වීම්වල කියා සිටියේ ලෝක වෙළෙඳ පොළේ බඩුමිල වැඩි නම් වෙනත් පොළකින් බඩු මිලට ගත යුතු බවයි. ජනතාවගේ බුද්ධියට සමච්චල් කළ ඒ එක්සත් ජාතික පක්ෂ නායකයා ඉරිදා පොළ, සති පොළ වගේ බඩු ගත හැකි තැනක් බවට ලෝක වෙළෙඳ පොළ හඳුන්වා දුන්නේය. එහෙත් ජනතාව එය පිළිගත්තේ නැත. ඒ තරමට එදා එක්සත් ජාතික පක්ෂ දේශපාලනය බාල මට්ටමක තිබුණේය. අදත් වෙනසක් නැත. කෙසේ හෝ මේ තෙල් මිල ප්‍රශ්නයේ දී ආණ්ඩුව ජනතා සහන ප්‍රකාශයට පත් කිරීමටත් කලින් ධීවර ජනතාව වීථි බැස්සාහ. එය කාගේ යටිකූට්ටුවක් දැයි අපි නොදනිමු. ධීවර ජනතාව කිසිදිනෙක යටි කූට්ටු වැඩ කළේ නැත.

ආණ්ඩු සමඟ ඇමැතිවරුන් සමඟ කෙළින් තීන්දු ගැනීමේ හැකියාව චණ්ඩ රළ සමඟ ජීවිත සටනට පොර බදින ධීවර ජනතාවගේ ප්‍රතිපත්තිය විය. ඒ අහිංසක ජනතාව බිල්ලට ගන්නට කුමන්ත්‍රණය කළේ කවුදැයි හඳුනාගත යුතුය. ධීවරයන් වීථි බැස්සේ තමන්ගේ දුක් ගැනවිල්ල කියා පාන්නටය. වත්මන් ආණ්ඩුව තරම් ජනතා දුක්ගැනවිලිවලට සවන්දුන් වෙනත් ආණ්ඩුවක් නොමැති තරම්ය. ධීවර ජනතාවට සහන රැසක් දෙන්නට තීන්දු කළේද ඒ නිසාමය. ධීවර ජනතාව තමන්ගේ සහන ලබා ගැනීමට කැති, පොලු, මුගුරු, බෝම්බ, පෙට්‍රල් බෝතල් ගෙන එන්නේ නැත. ඔවුන් සතු එකම ආයුධය බිලි පිත්ත සහ මාලු දැලය. ඒ නිසා ධීවර ජනතාවගේ විරෝධය පසුපස කවුරුන් හෝ සිටියා දැයි සොයා ගත යුතුය.

එසේ සොයා ගෙන මින් පසු ධීවර ජනතාව අමාරුවේ දමන්නටත් අහිංසක ධීවර තරුණයෙකුගේ ජීවිතය විනාශ කිරීමටත් අනුබල දුන් අය අනාවරණය කර ගත යුතුය. මේ වනවිටත් ධීවර ජනතාවට අවශ්‍ය සහන දීම සඳහා ඉන්ධන හල්වල ගිණුමට මුදල් යවා අවසානය. භූමිතෙල් අවශ්‍ය අයට භූමිතෙල් සහන දීමට පියවර ගෙන තිබේ. මේ සියල්ල හමුවේ පක්ෂය කඩා ඉහිරුවා ගත් එක්සත් ජාතික පක්ෂයත්, සටන්පාඨ හිඟයකින් පෙළෙන හා ජනතා ප්‍රසාදය අහිමිකර ගත් ජනතා විමුක්ති පෙරමුණත් නටන්නට හදන සෙල්ලම ගැන ජනතාව අවධියෙන් සිටිය යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා