ශ්‍රී ලංකාවට ලකුණු 51ක ජයක්

ඉන්දියාව හැම අතින්ම පරදී

ශ්‍රී ලංකාවට ලකුණු 51ක ජයක්

ශ්‍රී ලංකාව ඊයේ බ්‍රිස්බේන් හි දී ඉන්දියාවට එරෙහිව දැඩි ආක්‍රමණශීලී පිති හරඹයක් සහ වේග පන්දු ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 51 ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. නායක මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂාන් දැමූ සවිමත් අඩිතාලම මත ළහිරු තිරිමාන්න හා ඇන්ජලෝ මැතිව්ස් සවිමත් කළ කඩුලු 6 කට ලකණු 289 ක ශ්‍රී ලංකා ඉනිම හමුවේ ඉන්දියාවට ලබාගත හැකි වූයේ ඕවර 45.1 ක දී ලකුණු 238 ක් පමණි.

තිසර පෙරේරා ලකුණු 37 කට කඩුලු 4 ක් දවාලූ අතර නුවන් කුලසේකර ලකුණු 40 කට කඩුලු 3 ක් ද ලසිත් මාලිංග ලකුණු 55 කට කඩුලු 2 ක් ද දවාලූහ. ඉන්දීය පිළිතුරු ඉනිමේදී දෙවැනි පන්දුවේ දීම වැඩ බලන නායක ආක්‍රමණශීලී පිතිකරු විරෙන්දර් ෂෙවාග් දවාලීමට ලසිත් මාලිංග සමත් වීම ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට පළමු පියවර විය. එම උඩ පන්දුව හතරේ සීමාවේ සිට නුවන් කුලසේකර රැක ගත්තේ ය.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කරනු ලැබුවේ විරාත් කෝලි විසිනි. ඔහු ලකුණු 66 ක් ලබා ගත්තේ ය. වේගවත් පිති හරඹයක නිරත වූ ඉර්ෆාන් පතාන් පන්දු 34 කදී හතරේ පහර 7 ක් සමඟ ලකුණු 47 ක් රැස් කළේ ය. උඩ පන්දු 2 ක් හා කඩුලු 3 ක් දවාලූ නුවන් කුලසේකර තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ය. මේ ජයග්‍රහණයත් සමඟ තුන්කොන් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 2 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ඉන්දියාව 3 වැනි ස්ථානය දක්වා පහළ ගියේ ය. ඕස්ටේ‍්‍රලියාව ප්‍රසාද ලකුණු 14 ක් ලබා පෙරමුණේ පසුවෙයි.

ලහිරු තිරිමාන්නගේ වේගවත් පිතිහරඹය මත ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 289ක් වාර්තා කළේය. තිරිමාන්න (ලකුණු 62) ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තද ඔහු ලකුණු 44ක් රැස්කර ගෙන සිටියදී දැවී යාමෙන් බේරිණි. පිට දඟ පන්දු යවන රවි අශ්වින් පන්දුව යැවීමට පෙර තිරිමාන්න කලින්ම ඔහුගේ සීමාවෙන් පිටව සිටියදී, අශ්වින් නිත්‍යානුකූල අයුරින් බේල්ස් ඉවත් කළේය. එහෙත් පෝල් රීෆල් හා බිලී බවුඩන් යන පිටියේ තරග විනිසුරුවෝ නායක විරේන්ද්‍ර සෙවාග් හා පළපුරු ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් සමග කතා කිරීමෙන් පසුව, ඉන්දියානුවෝ තිරිමාන්නට යළි පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමට තීරණය කළහ.

අශ්වින් (ලකුණු 50ට කඩුලු 2යි) අවසානයේ තිරිමාන්න දවාලුවේය. සිය 10 වැනි ඕවරයේ අවසන් පන්දුවට තිරිමාන්න එල්ල කළ උඩ පන්දුව සුරේෂ් රයිනා විසින් අති දක්ෂ ලෙසින් රැක ගනු ලැබිණි. ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඔහු සහ තිලකරත්න ඩිල්ෂාන් ආයාසයකින් තොරව පන්දු 45කින් ලකුණු 50ක් රැස් කළහ. ඔවුනට මේ ආරම්භක කඩුලු සබඳතාව බිඳ දැමීමට හැකිවූයේ මුළු ලකුණු 95දීය.

ජයවර්ධන (45), වමතින් වේග පන්දු යවන ඉර්ෆාන් පතන්ගේ කෙටි පන්දුවකට පහරක් එල්ල කළ අතර ‘මිඩ් විකට්’හි පන්දු රකිමින් සිටි සෙවාග් දර්ශනීය අයුරින් උඩ පන්දුව රැක ගත්තේය. ඉන්පසු උමේශ් යාදව් විසින් කුමාර් සංගක්කාර ලකුණු 8කට දවාලනු ලැබීය. යාදව්ගේ පන්දුවකට එල්ල කළ පහරින් නික්ම ආ උඩ පන්දුව හතරේ සීමාව අසල ‘ඩීප් තර්ඩ් මෑන්’හි පන්දු රකිමින් සිටි සචින් ටෙන්ඩුල්කාර් විසින් රැක ගැනීමෙන් ‘සංගා’ දැවී ගියේය. ඉක්මනින්ම ශ්‍රී ලංකාව සීමා කිරීමේ ඉන්දියානුවන්ගේ සියළු බලාපොරොත්තු බිඳී යමින් තිරිමාන්න හා ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියානු පන්දු ප්‍රහාරය සුනුවිසුනු කර දැමූහ. මැතිව්ස් ලකුණු 37 කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 49ක් ලබා ගත් අතර හතරේ පහර 4ක් හා එක් දැවැන්ත හයේ පහරක් එම ඉනිමට ඇතුළත්ව තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා