ජිනීවා හොල්මන්!

ජිනීවා හොල්මන්!

රට හා ජාතිය වෙනුවෙන් නිවැරැදි ආස්ථානයක පිහිටා මහත් කැපවීමෙන් ක්‍රියා කරන මහාචාර්ය නලීන් ද සිල්වා මහතාගේ අදහසකින් අද මේ තීරුව ආරම්භ කරමු. එතුමාගේ අලුත් ම ලියැවිල්ලෙහි සටහන් වූයේ මානව අයිතිවාසිකම් සඳහා නව අර්ථකථනයක් අවශ්‍ය බව ය. මේ යෝජනාව ගැන කාගේත් අවධානය යොමුවීම වැදගත් ය. අද මානව හිමිකම් යන්න භාවිත වන්නේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර ධනපති රටවලට හා ඔවුන්ගේ මතවාදවලට වාසි සහගත ලෙස ය. ශ්‍රී ලංකාව වැනි රටවල් බටහිර රටවලට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම එහි ඉලක්කය යි.

මීට සම්බන්ධ කදිම අත්දැකීමක් අපට තිබේ. ශ්‍රී ලංකාවේ පැවැති මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේ දී සිවිල් වැසියන් පනස් දහසක් මිය ගියේ යැයි චැනල් 4 නාළිකාවේ වාර්තා චිත්‍රපට දෙකකින් කියා තිබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයකු කියා ඇත්තේ ඉහත මෙහෙයුමේ අවසන් අදියරේදී 40,000කට ආසන්න සිවිල් වැසියන් ගණනක් මිය ගිය බව ය. තවත් අය තවත් මත පළ කළහ. එහෙත් ඒ සියල්ල අමූලික බොරු ය. මේ ගණන්හිලව්වලට කිසිදු හේතු - සාධකයක් නැත. සාක්ෂ්‍යයක් ද නැත.

ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව උතුරේ දිස්ත්‍රික්ක පහම ආවරණය වන අයුරින් සමීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල නිකුත් කර තිබේ. මේ සමීක්ෂණයේ තොරතුරු එකරැස් කරන්නන් ලෙසද සමීක්ෂකයන් ලෙසද කටයුතු කර ඇත්තේ උතුරේ සේවයේ නියුතු දෙමළ ජාතික රාජ්‍ය සේවකයන් ය. සමීක්ෂණයේ සියලු කටයුතු සිදු ව තිබුණේ ද්‍රවිඩ භාෂාවෙන් ය. දෙමළෙන් ය. රාජ්‍ය නිලධාරීහු 2500ක් ඊට සහභාගී වූහ. එම සමීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේ දී මියගිය සිවිල් වැසියන් ගේ ගණන 8649කි.

ඉහත මියගිය ගණනින් ද 715 දෙනෙකු නිශ්චිත ලෙස ම යුද ගැටුම්වලින් මියගියේ යැයි සාක්ෂි නැත. තවත් විශේෂ කරුණක් නම්; සිවිල් වැසියන් යැයි හැඳින්වු ඒ අතර කොටි සාමාජිකයන් සිටිය හැකි ය යන්න ය. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් දෙමළ රාජ්‍ය නිලධාරීන් යොදාගෙන සිදු කළ සමීක්ෂණය අන් සියලු තොරතුරුවලට වඩා විශ්වාස කළ හැකි ය. පිළිගත හැකි ය. මේ සමීක්ෂණයට අනුව 2011 අගෝස්තු 15 වන විට උතුරේ නැවත පදිංචි වූ පිරිස, 3,88517කි. පවුල් ගණන 1,12,297කි. ගෙවී ගිය සුළු කාලය තුළ එල්.ටී.ටී.ඊ සාමාජික - සාමාජිකාවන් 12,000ක් පුනරුත්ථාපනය කොට ජන ගත කිරීමට ද ආණ්ඩුව කටයුතු කර තිබේ.

යුද ගැටුම් පැවැති රාජ්‍යයක් මේ තරම් ඉක්මනින් සමාජ සුබසාධනය, පුනරුත්ථාපනය, සංවර්ධනය, සංහිඳියාව යන ක්ෂේත්‍රවලින් දියුණුවක් ලබා නැත. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කළේ ජාතිවාදය අත්හරිමින් ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල සිටම ඒ බව ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් ම මානව හිමිකම් කවුන්සිලය ද ඒ බව දැනගත යුතු ය.

මේ දිනවල ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලය තනිකර ව්‍යාජයෙකි. එය බටහිර ජාතීන්ගේ වුවමනාව මත ක්‍රියා කරන නව යටත්විජිතවාදයේ සංකේතයකි. එහෙත් දැනට පවතින එකම ජගත් සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය බැවින් අප ඊට මුහුණදිය යුතු ව තිබේ. ශ්‍රී ලංකාව ඊට නොබියව හා ශක්තිමත් ව මුහුණ දෙන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම කවුන්සිලයේ දී කළ කතාවෙන් ම මොනවට පැහැදිලි වේ. අමාත්‍යවරයා සිය කතාවේ දී පැහැදිලි කළේ ත්‍රස්තවාදය පරාජය කොට රට තුළ සාමය ස්ථාපිත කළ ද ත්‍රස්තවාදී සෙවණැලි තව ම හොල්මන් කරන බව ය.

අමාත්‍යවරයාගේ කතාව සනාථ කරමින් එන්.ජී.ඕ. ආයතන 37ක් ජිනීවා නුවරට කඩා වැදී සිටිති. ඔව්හු එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදයේ උදවුකරුවෝ වෙති. ඔවුන්ගේ උත්සාහය වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට යුද අපරාධ චෝදනා එල්ල කිරීම ය. කැනඩාවෙහි වසන බාලන් රත්නරාජා නම් කොටි නායකයා ජිනීවා නුවර සිට තානාපතිවරුන්ට කේලාම් කියයි. රුද්‍රකුමාරන් නමැති කොටි නායකයා එන්.ජී.ඕ. හසුරවයි. පිල්ලෙයි මැතිනිය තවත් පැත්තකින් අපට බලපෑම් කරයි. චැනල් 4 නාළිකාව සිය අලුත් ම වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට යයි.

මහින්ද සමරසිංහ මහතාගේ කතාවෙන් පසු රටවල් ගණනාවක නියෝජිතයෝ ශ්‍රී ලංකාව ගැන අලුතින් කල්පනා කරන්නට පටන්ගෙන සිටිති. තායිලන්තයේ විදේශ අමාත්‍ය අචාර්ය සුරා පොන්ග් ටොච්චික්වීල් මහතා කියා සිටියේ ත්‍රස්තවාදය පරාජය කොට සාමය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ගැන තම රට පැහැදී සිටින බව ය. මේ මොහොතේ තායිලන්ත රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

චීනය හා රුසියාව ඇත්තේ ශ්‍රී ලංකාවට සහාය දෙන විශ්වාසවන්ත තැනක ය. එසේ නොවන්නට අමෙරිකාව හා බ්‍රිතාන්‍යය අප තවදුරටත් ධත්තියටම හේත්තු කරනු ඇත. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා කිහිප අවස්ථාවක දී ම කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විදේශීය මැදිහත්වීමක් අවශ්‍ය නැති බව ය. පාකිස්ථානයට මෙන් ම ඉන්දියාවට ද ශ්‍රී ලංකාව අතහැර ක්‍රියා කළ නො හැකි ය. අරාබි රටවල් අප සමඟ හිතමිතුරු ය. අප්‍රිකාව හා ලතින් අමෙරිකාව සමඟ ද අපේ සම්බන්ධතා ප්‍රබල ය. ඉදිරි දින කිහිපය තුළ එම සබඳතා තවදුරටත් වර්ධනය වන අයුරින් ශ්‍රී ලංකා නියෝජිතයන් කටයුතු කළ යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා