ප්‍රභාකරන්ගේ හැටි කාටවත් මතක නෑ

ප්‍රභාකරන්ගේ හැටි කාටවත් මතක නෑ

වසර 30 කට ආසන්න කාලයක් මේ රටේ මිනිස්සු මැරූ හැටි සමස්ත ජනතාව පත්තරවලින් කියවූහ. රූපවාහිනිවලින් බලා සිටියහ. පත්තර කියෙව්වේත් රූපවාහිනිය බැලුවේත් සටන්කාමී දර්ශන සහිත චිත්‍රපටයක් බලන්නා සේ නොවේ. ඒ සියල්ලේම ගැබ් වී තිබුණේ ත්‍රාසය/සතුට සහ සටන නොවේ.

නිරායුද අහිංසක මිනිසුන් දුසින් ගණනින් මහමඟ මරා දමන හැටි මරාගෙන මැරෙන කොටි දෙනුන් හා කොටින් ප්‍රභාකරන්ගේ අණින් මේ රටේ වටිනා මිනිස්සු මහමඟ මරා දමන හැටි ද ජනතාව ඇඩූ කඳුළින් බලා සිටියහ. තමන්ගේ පුතා හෝ දුව පාසල ඇරී ගෙදර එනතෙක් අම්මා ඇස්ගෙඩි දෙක එළියට දමාගෙන වික්ෂිප්ත සිතින් මඟ බලා සිටියාය.

වැඩපොළට ගිය සැමියා ආපසු ගෙදර එනතෙක් බිරිඳ බලා සිටියේ සැමියා දකින්නට ඇති ආශාව අත්හැර දැමීමෙනි. සියල්ල මෙසේ වෙද්දී සුවිසල් මන්දිරවල වායු සමීකරණ කාමරවල ජීවත් වූ මිනිස්සු උතුරේ යුද්ධයෙන් මියගිය ගණන ගණන් බැලූහ.

ප්‍රභාකරන් මිනීකනත්තක ඊලාම් කොඩිය ඔසවා රජවෙන්නට කළ මිනිස් ඝාතනය ගැන ප්‍රභාකරන්ට උදවු කළ ඩොලර් කාක්කන් මියගිය සංඛ්‍යා ලේඛනය සකස් කොට බටහිර නැදෑයින්ට යැවූහ.

සුවිසල් මැදුරවල සිටින ධනපති මිනිස්සු ද අගට බිංදු වැඩිපුර දමා සංඛ්‍යා ලේඛන හදා ඩොලර් කාක්කන්ට යැවූහ. ඒ අතරතුර යුද්ධයේ ජයග්‍රහණය නොරිස්සූ මෝඩ දේශපාලනඥයෝ තොප්පිගල කැළෑවක් ලෙස දැක්කාහ.

කිලිනොච්චිය, මැදවච්චිය ලෙස දුටුවාහ. අලිමංකඩ පාමංකඩක් ලෙස නම් කළහ. ගොන්නුන්ට යුද්ධ කරන්නට හැකි බව තවත් ගොනෙක් කියනු අසා මිනිස්සු කම්පා වූහ. රටම දැන් සාමය පිරුණ මිනිසුන් සිනාසෙන සුන්දර කලාපයක් බවට පත් වී තිබේ. එන්. ජී. ඕ. කාරයන් මෝඩ දේශපාලනඥයන් උතුරේ මියගිය සංඛ්‍යාව හතළිස්දහසකට තක්සේරු කළහ.

සමහරු එය පනස්දහස දක්වා වැඩි කළහ. එහෙත් ආරක්ෂක ලේකම්තුමා පිළිගත හැකි ක්‍රමවේදයක් තුළ ජනගහන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ලවා සංගණනයක් කරවීය. ඒ සංගණනය කළේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් හෝ නොවේ.

ඒ සඳහා යෙදවූයේ දෙමළ නිලධාරීන්ය. අතරින් පතර මුස්ලිම් අය ද වූහ. සිංහල ජාතීන් ද දෙමළ ජාතීන්ට අත් උදව්වට සිටියහ. ඔවුහු ගෙන් ගෙට ගියහ. ගෙදර සිටින අය හා ගෙදරින් පිටව ගිය අය ද විස්තර සහිතව ලියාගත්හ. අවසාන ප්‍රතිඵලය වූයේ මියගිය සංඛ්‍යාව අටදහසක දක්වා අඩුවීමය. අතුරුදන් වූයේ යැයි ප්‍රචාරය කළ සමහරු ගෙදර සිටියහ.

මියගියේ යැයි ප්‍රකාශ කළ සමහරු එතෙර ගොස් සිටියහ. බොරු සංඛ්‍යා ලේඛන හැදූ මෝඩ මිනිසුන්ගේ සංඛ්‍යා ලේඛන අමූලික බොරුවක් බවට පත් වී හමාරය.

-මහින්ද

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා