සතුරු කුමන්ත්‍රණ පැරදවිය හැක්කේ ජාතික එකඟතාවකින් පමණයි

සතුරු කුමන්ත්‍රණ පැරදවිය හැක්කේ ජාතික එකඟතාවකින් පමණයි

මහාචාර්ය රජීව විජේසිංහ
පාර්ලිමේන්තු මන්ත්‍රී

ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට අමෙරිකාව දරණ ප්‍රයත්නය හා අතීත අත්දැකීම්ද උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව ඊට මුහුණ දෙන ආකාරය සහ බලවත් රටවල දෙබිඩි ප්‍රතිපත්ති පිළිබඳවත්, මේ මොහොතේ ජාතික එකඟතාවකින් ක්‍රියා කිරීමේ වැදගත්කමත්, පැහැදිලි කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

* ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව උරණව සිටින රටවල් හා බලවේග ජිනීවාහි එ. ජා. මානව හිමිකම් කවුන්සිල සැසියේදී මානව හිමිකම්වලට මුවාවී රටට එරෙහි සැලැස්මේ තවත් අදියරක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඔබ එය දකින්නේ මොන විදිහට ද?

මානුෂීය මෙහෙයුම අවසන් වෙන්නත් කළින් සිටම ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා නැඟීමේ ප්‍රයත්නයක් තිබුණා. 2007 - 2009 වකවානුවේ මේ චෝදනා නඟන්න මුල්වුණේ මහා බ්‍රිතාන්‍යය. එවකට මෙහි සිටි බ්‍රිතාන්‍ය තානාපතිවරයාගේ ක්‍රියා කලාපයෙනුත් එය පැහැදිළි වෙනවා. ඒ අවස්ථාවේ අපි කල්පනා කළා අපට කරන්න තියෙන්නෙ සාමාජික රටවල නියෝජිතයන්ට අපේ කතාව කියන එකයි කියලා. ඒ අනුව මහින්ද සමරසිංහ ඇමැතිතුමාගේ නායකත්වය යටතේ අපේ නියෝජිත පිරිස ක්‍රියාත්මක වුණා. ඒ අයට තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න කියලා අපි කිව්වා.

ඒවාට පිළිතුරුත් දුන්නා. ඇත්ත තත්ත්වය පැහැදිළි කරන්න අපට හැකියාව ලැබුණා. එහිදී දයාන් ජයතිලක මහත්මයා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළා. ඇත්තටම ඒ වතාවෙ අමෙරිකාව පවා ඒ ගැන අවබෝධයකින් සිටියා. අපට එරෙහිව ගියේ බ්‍රිතාන්‍ය සහ තවත් රටවල් කිහිපයක් පමණයි. මීට අදාළ විස්තර විකිලීක්ස් අනාවරණයන් මඟින් හෙළිදරව් වී තිබෙනවා. දයාන් ජයතිලක මහතාගේ භූමිකාව පවා ඉන් දැක්වෙනවා.

ජිනීවා සමුළුවෙන් බාහිරව මේ කාරණය ගැන සුහදව කතා කරන්න ඉඩ ලැබුණු සෑම අවස්ථාවකම අපි බ්‍රිතාන්‍යයෙන් පවා ඉල්ලුවේ ලංකාවේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය දියුණු කිරීමට ආධාර කරන්න කියලා. නිදසුනක් ලෙස පොලිස් නිලධාරීන්ට දෙමළ භාෂාව ඉගැන්වීමේ වැඩපිළිවෙළට ආධාර කරන ලෙස අපි ඉල්ලුවා. හැබැයි ඒ කවුරුත් උදව් කළේ නෑ. ඒකෙන්ම පේනවා ඔවුන්ට මානව හිමිකම් පිළිබඳ උනන්දුවක් නැති බව. ඔවුන්ට තිබුණේ වෙනත් දේශපාලන අභිලාෂයන්. ඒවා ඉටුකර ගැනීමට තමයි වෑයම් කළේ. නමුත් ඒ අවස්ථාවේ අමෙරිකාව ඊට වෙනස්ව කටයුතු කරමින් මේ වැඩවලට අපට ආධාර කළා. අමෙරිකාවේ ඇති වෙලා තිබුණු පාලන වෙනසත් ඊට බලපෑවා.

* යළිත් 2009 දී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගේන්න දරණ ලද වෑයම පරාජය කිරීමට අපට හැකි වුණා. එහිදී ක්‍රියාත්මක වුණේ කොහොමද?

එවරත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය වෑයම් කළා. ඊට අවශ්‍ය අත්සන් ප්‍රමාණය ලබා ගැනීමට ඔවුන් ගත් උත්සාහය ව්‍යර්ථ කරවන්න ශ්‍රී ලංකාවට පුළුවන් වුණා. එහිදීත් ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයාව සිටි ආචාර්ය දයාන් ජයතිලක අගය කළ යුතු කාර්යභාරයක් ඉටු කළා. බටහිර රටවල් ඔවුන්ගේ යෝජනාවට සහාය ලබා ගැනීමට අසර්බයිජාන්, බොස්නියා වගේ රටවලට බලපෑම් කරල තිබුණේ යුරෝපා සංගමයට බඳවා ගැනීමට නම් මේකට උදව් කරන්න ඕන කියලා. අපට විරුද්ධව ඡන්දය දීපු අයට පවා සිදු වුණේ කුමක්ද කියල පසුව කතාකරල කිව්වා. ප්‍රංශ විදේශ අමාත්‍ය බර්නාඩ් කුෂ්නර්, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් මිලිබෑන්ඩ් වගේ අය කළ බලපෑම් අපට මතකයි.

මෙහිදී සිදු වුණේ ඔවුන්ට කළින් අපි අපේ යෝජනාවන් ඉදිරිපත් කරපු එකයි. ඉන්දියාව, චීනය, රුසියාව, කියුබාව, දකුණු අමෙරිකා ආදී රටවල සහාය අපට ලැබෙද්දී යුරෝපා බලවතුන් අසාර්ථක වුණා. ආචාර්ය දයාන් ජයතිලක කළේ අපට සහාය දැක්වූ රටවලින් උපදෙස් ගැනීම. ඔවුන්ගෙන් ඡන්දය ඉල්ලනවාට වඩා ඒ ක්‍රමවේදය සාර්ථක වුණා. ඒ නිසයි අපට කවුන්සිලයේදී ඡන්ද 29ක් ගන්න පුළුවන් වුණේ 12ක් ඡන්දය දීමෙන් වැළැකුණා. බැසිල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමා ඉන්දියාවට කරුණු පැහැදිලි කළා. ඉන්දියාවේ සහායත් අපට ලැබුණා. නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ගැන, අත්අඩංගුවට ගත් එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම ගැන අපි කරුණු පෙන්වා දුන්නා.

හේතු සහිතව කරුණු දක්වමින් අප කියා සිටියේ යුද අපරාධ ගැන, මානව හිමිකම් කඩකිරීම් ගැන බොරුවට චෝදනා කරන්න එපා කියලා. මම එතකොට මානව හිමිකම් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්. ඔවුන් කියන දේවල් නොව මටත් ප්‍රශ්න ගැන තේරුමක් ඇති බවත් හැබැයි ඒවාට පිළියම් යොදමින් ඇති බවත් පෙන්වා දුන්නා. මෙහිදී මම කියන්න ඕනෑ ආචාර්ය දයාන් ජයතිලක කොපමණ කාර්යභාරයක් කළත් විදේශ අමාත්‍යාංශය ඔහුව එම තනතුරින් ඉවත් කිරීමට ක්‍රියා කළ බවත්. ඔහු දෙමළ ජනයා ගැන වැඩිපුර හිතනවා වගේ තේරුම් ගැනීමක් තමයි සමහර දෙනාට තිබුණේ. නමුත් ජනාධිපතිතුමාගේ දැක්ම, ප්‍රතිපත්තිය අනුවයි ඔහු ක්‍රියාත්මක වුණේ.

* දැන් යළිත්, වඩා තීරණාත්මක ලෙස අමෙරිකාව ජිනීවාවලදී අපේ මානව හිමිකම් තත්ත්වය ප්‍රශ්න කරන්න වෑයම් කරද්දි අප ක්‍රියාත්මක වන ආකාරය ඔබ කොහොමද දකින්නේ?

ගරු ජනාධිපතිතුමා විසින් මහින්ද සමරසිංහ ඇමැතිතුමාට යළිත් මේ පිළිබඳ වගකීම් පවරා තිබෙනවා. එතුමාගේ නායකත්වය යටතේ අපේ නියෝජිත පිරිස එහි ගොස් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එහි සිටින ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය තමරා කුගනායගම්ගේ කාර්යභාරයත් අපි අගය කළ යුතුයි. සාමාජික රටවල් සමඟ අපේ සබඳතා තර කරන්න, ඔවුන් තුළ නිවැරදි අවබෝධයක් ඇති කරන්න විදේශ අමාත්‍යංශයත් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.

විදේශ ඇමැතිතුමා, නියෝජ්‍ය ඇමැතිතුමා පසුගිය කාලයේ අප එතරම් සමීප නොවූ රටවලට කතා කරමින් මේ සම්බන්ධය ගොඩනඟමින් සිටිනවා. බටහිර රටවල් අපට එරෙහිව සිටියදී මේ සෙසු රටවල සහාය අපට ලැබීම වැදගත්. මෙවර ජිනීවා සැසිය ආරම්භ වූ දිනයේම මහින්ද සමරසිංහ ඇමැතිතුමා හොඳ දේශනයකුත් කළා. පසුගිය කාලයේ අපි සෑහෙන වැඩ කොටසක් කළත් ඒක ලෝකයට ගියේ නෑ. මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් හැදුවේ අවුරුදු 2 කට කළින්. ඒවා ගැන LLRC එක ගැන අපි ලෝකයට කියන්න ඕනෑ. මේ සමහර දේවල් ගැන අපි ලෝකයට කිව්වා මදි කියලා මට හිතෙනවා.

* මෙවර අපට එරෙහිව යෝජනාවන් ගේන්න වෑයම් කරන්නේ එදා මානව හිමිකම් කවුන්සිලය පිහිටුවනවාට පවා විරුද්ධ වුණු අමෙරිකාව. ඇත්තටම මානව හිමිකම් ගැන කතා කරන්න අමෙරිකාවට සදාචාරාත්මක අයිතියක් පවා නෑ?

මටත් මේක ටිකක් පුදුමයට කාරණයක්. මේ වතාවෙ මේ ප්‍රශ්නය ගේන්නේ අමෙරිකාව. මෙවර බ්‍රිතාන්‍යයේ විලිබෑන්ඩ්ලගෙ අදහස්වලට තැනක් නෑ. අමෙරිකාවේ ක්‍රියාකලාපය ගැන බැලුවාම ඒක ටිකක් විමසිල්ලෙන් තේරුම් කරගන්න වෙනවා. පසුගිය ජනාධිපතිවරණයෙදී අමෙරිකාව සරත් ෆොන්සේකාට උදව් කළා. ෆොන්සේකා සුදු කොඩි ප්‍රකාශය කළේ 2009 ජූලි අම්බලන්ගොඩ රැස්වීමකදී. ඔහු ඇයි එවැනි ප්‍රකාශයක් කළේ? අමෙරිකාව ඔහුට සහාය දැක්වීම සහ මේ කාරණා අතර ඇති සම්බන්ධය මොකක්ද? වගේ ප්‍රශ්න අපි මෙහිදී අවධානයට ගන්න ඕනෑ. මේවා තේරුම් කර ගැනීමේදී විකිලීක්ස් වෙබ් අඩවිය කළ හෙළිදරව් කිරීම් ද ප්‍රයෝජනවත්.

අමෙරිකාවේ ස්ථාවරය වෙනස් වී තිබීම මටත් ප්‍රශ්නයක්. ඔවුන් ෆොන්සේකාට සහාය දැක්වීම ඔස්සේ තවදුරටත් මේ මතයේ පිහිටා සිටිනවා විය හැකියි. කළින් තිබුණු බුෂ් පාලනය ඉරාකය ගැන ක්‍රියා කළ හැටි, ග්වන්තනාමෝ ගැන ක්‍රියා කළ හැටි ප්‍රශ්න කරපු අද ඔබාමා පාලනය යටතේ ඉහළ තනතුරු දරණ අය අද කරමින් සිටින්නෙත් එදා ඔවුන් විවේචනය කළ දේවල්ම තමයි. අනෙක තමයි, ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ඔවුන්ට තියෙන අසතුට, ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගේන්න දරණ වෑයම අප තේරුම් ගත යුත්තේ මේ පසුබිම තුළයි.

* ජිනීවා හිදී අමෙරිකාව සහ බටහිර බලවතුන් දරණ වෑයමෙන් පැහැදිලිවෙන්නෙත් “පාලන වෙනසක්” ඇති කිරීමට (Regime Change) ඔවුන්ට සැලැස්මක් ඇති බවද?

අමෙරිකාවට ඒ වුවමනාව තිබුණා. ඒක තමයි පසුගිය ජනාධිපතිවරණයේදී ෆොන්සේකාට උදව් කළේ. හැබැයි බටහිර රටවල් ෆොන්සේකා බලයට ගෙන ඒම ගැන උනන්දුවක් දැක්වූයේ නෑ. රටක් අස්ථාවර කළාම ඔය වුවමනාව ඉටු කරන්න පහසුයි. ඒ නිසා තමයි මෙවැනි ප්‍රයත්නයන් හරහා රට අස්ථාවර කරන්න හදන්නේ. ජනාධිපතිතුමා යුද්ධය දිනුවා. සාමයට හොඳ වෙන නායකයෙක් කියල ඇතැම් රටවලට මතයක් තිබුණා. හැබැයි ඒක වැරැදියි. ලියෝ තොල්ස්තෝයි “යුද්ධය හා සාමය” ලියමින් යුද්ධයට හා සාමයට හොඳ නායකත්වය ගැන කදිමට විග්‍රහ කර තිබෙනවා. ඔය බලවත් රටවල් මැදිහත්වෙලා පාලනය වෙනස් කළ රටවලට මොකද වුණේ? උගන්ඩාවේ ඔබටෝ අයින්කරලා ඔවුන් ගෙනාවේ ඉඩි අමීන්ව. චිලියේ අයියන්දේ ඉවත්කරලා ගෙනාවේ පිනෝෂේව. මේ ක්‍රියාදාමය ගැන ග්‍රැහැම් ගී‍්‍රන්, ජෝන් මැකන්සි වගේ අය ගැඹුරින් විග්‍රහ කර තිබෙනවා.

* මේ තීරණාත්මක මොහොතේ සතුරු කුමන්ත්‍රණවලට එරෙහිව ජාතික එකඟතාවක් ඇති වීමේ වුවමනාව ඔබ පැහැදිළි කරන්නෙ කොහොමද?

මේ අවස්ථාවේදී ජාතික එකඟතාවක් අවශ්‍යමයි. එවැනි එකඟතාවකින් ක්‍රියාත්මක විය හැකි පසුබිමකුත් ඇතිවී තිබෙනවා. උගත් පාඩම් කොමිසම (LLRC) ඉතා හොඳ වාර්තාවක් නිකුත් කළා. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන රජයට විශාල වගකීමක් පැවරෙනවා. මේ සම්බන්ධයෙන් දැනටමත් අප ප්‍රතිපත්ති කෙටුම්පතක් පිළියෙළ කරමින් සිටිනවා. මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම වගේම ඒකත් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරනවා. මානව හිමිකම් සැලැස්ම හදලා අවසන් වුණත්, එය එළිදැක්වීම තෙක් ක්‍රියාවලියෙ දි ඊට යම් කාලයක් ගත වුණා. ලෝකෙට හංගන්න අපට රහසක් නෑ. ඒ නිසා LLRC නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැනත් අපි උනන්දු විය යුතුයි. මෙහිදි ජාතික එකඟතාවක් තිබිය යුතුයි. ඒ එකඟතාව හදන්න මුල්විය යුත්තේ රජයයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා