අද ප්‍රේම ගීතය අදෝනාවක්

අද ප්‍රේම ගීතය අදෝනාවක්

පුෂ්කර වන්නිආරච්චි

පුෂ්කර වන්නිආරච්චි විසින් සංස්කරණය කෙරුණු, සුනිල් එදිරිසිංහයන්ගේ ගීත ඇතුළත් ‘සුනිල විල‘ පර්යේෂණාත්මක ග්‍රන්ථය පසුගිය දා එළි දැක්විණ. එය නිමිති කරගෙන පුෂ්කර වන්නිආරච්චි සමඟ කෙරුණු සාකච්ඡාවකි මේ.

* සුනිල් එදිරිසිංහ විසින් ගායනා කළ ගීත එකතු කර මෙවැනි පර්යේෂණයක් කිරීමට ඔබ තීරණය කළේ ඇයි?

බොහෝ විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථින් සුනිල් එදිරිසිංහගේ ගීත සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරනවා. සුභාවිත ගීතය ගැන පර්යේෂණ කරන විට ඔවුන්ට සුනිල් එදිරිසිංහගේ ගීත අවශ්‍ය වෙනවා. එහි දී ඔවුන් ගීතවල පද රචනා සොයා ගැනීමට දැඩි වෙහෙසක් දරනවා. ඒ සඳහා විසඳුමක් ලෙස මේ පර්යේෂණය සිදු කිරීමට අපි අදහස් කළා. එක ම නිර්මාණ ශිල්පියෙකුගේ සියලු නිර්මාණ එක් රැස් කිරීම රාශීභූත පර්යේෂණයක් (Collective Research) ලෙස හඳුන්වනවා. ඒ අනුව 'සුනිල විල' රාශිභූත පර්යේෂණයක් ලෙස හඳුනාගන්න පුළුවන්.

* හැත්තෑව දශකයේ පටන් මේ දක්වා සුනිල් එදිරිසිංහ ගායනා කළ ගීත සුනිල විල කෘතියේ ඇතුළත් වෙනවා. ගී පද හා මූලාශ්‍ර සොයා ගැනීමේ කාර්යය සිදු කළේ කොහොම ද?

ගී පද රචනා සොයා ගැනීමේ කාර්යයට වසර හතර හමාරක පමණ කාලයක් ගත වුණා. මුලින් ම කැසට් පට හා සංයුක්ත තැටි ශ්‍රවණය කරමින් ඒ කටයුත්ත ආරම්භ කළා. ඉන් පසුව සුනිල් එදිරිසිංහයන් සතුව තිබුණු ඔහුගේ ගීතවල මුල් පිටපත්වලින් ඒ ගීත පිටපත් කර ගත්තා. ඒත් ගීතවල සියලු මූලාශ්‍රයන් එක් රැස් කර ගන්න බැරි වුණා. ඔහු ළඟ තිබුණු සමහර පිටපත් තෙමී විනාශ වී තිබුණ.

මේ ගීත ගැන දන්නවා කියලා අනුමාන කළ පුදගලයන් අමතා තොරතුරු ලබා ගත්තා. සමහර විට ගීත රචකයන් අමතා තොරතුරු ලබා ගත්තා. චිත්‍රපට සංරක්ෂණාගාරයේ අඩංගු වීඩියෝ පට වාදනය කරමින් ගීත ලියා ගැනීමට තිස්ස නාගොඩවිතාන අවස්ථාව ලබා දුන්නා. මේ කෘතිය සැකසීමේ දී ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහතා හා ලීල් වික්‍රමසිංහ මහතා දැක්වූ සහයෝගයට ස්තුතිවන්ත වෙන්න ඕන.

* ගී පද රචනාවලට අමතරව මේ කෘතියට ඇතුළත් කර තිබෙන්නේ මොනවාද?

1970 සිට 2011 දෙසැම්බර් මාසය දක්වා සුනිල් එදිරිසිංහ ගායනා කළ ගීත 498ක පදරචනා ‘සුනිල විල‘ කෘතියෙහි ඇතුළත් වෙනවා. මේ ගීත එකතු කළේ මූලාශ්‍ර සමඟ. ගුවන් විදුලි ගීතයක් නම් එය සරල ගීතයක් ද අවුරුද්ද කුමක් ද ආදී තොරතුරුත් කැසට් පටයක් හෝ සීඩී තැටියක් නම් ඒවායේ නම් වර්ෂ ආදි තොරතුරු ඇතුළත් කළා. ඒ අනුව සෑම ගීතයක ම, එය බිහි වූ කාලවකවානුව, නිමිත්ත, රචකයා, සංගීතඥයා මෙන් ම එළි දැක්වුණු මාධ්‍ය ඇතුළු මූලාශ්‍ර රැසක් මෙහි ඇතුළත් වෙනවා.

එක් ගායන ශිල්පියෙකු විසින් ගායනා කරන්නට යෙදුණු සියලු ගීතවල පද රචනා මේ අයුරින් ක්‍රමානුකූලව වර්ගීකරණය කරමින් විධිමත් ව එකට ගොනු කළ අවස්ථාවක් අපේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නෑ. මෙය එක්තරා ප්‍රවණතාවයක ආරම්භයක්. මෙය ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් කළ දෙයක් නෙමෙයි. එහෙම හිතුවා නම් මෙතරම් දීර්ඝ කාලයක් කැප කරමින් මෙවැනි පර්යේෂණයක් කිරීමට නොහැකි වෙනවා. මෙහි දී මේ කෘතිය මුද්‍රණය සඳහා භාර ගත් සරසවි මුද්‍රණාලයාධිපති එච්. ඩී‍‍ ප්‍රේමසිරි මහතාට ස්තුතිවන්ත වෙන්න ඕන.

* සුනිල් එදිරිසිංහ හැත්තෑව දශකයේ සිට මේ දක්වා ම ගායනා කළ ගීත ඔබේ පර්යේෂණයට ඇතුළත් වෙනවා. එම ගීත විමසා බැලීමේ දී ඔබ හඳුනා ගත් විශේෂතා මොනවාද?

අපේ සුභාවිත ගීතයේ සමාරම්භකයන් ලෙස සැලකිය හැක්කේ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත සහ අමරදේවයන්. ඔවුන් පූර්වාචාරින් ලෙස සලකමින් සුනිල් එදිරිසිංහයන් රස ජනනයෙහි සමත් ව්‍යක්ත පද මාලා තෝරා ගැනීමට කටයුතු කර ඇති බව ඔහුගේ ගීත විමසා බලන විට පැහැදිලි වෙනවා. ඔහු තම භාව පූර්ණ හඬින් නිරතුරුව විවිධ ක්ෂේත්‍ර ස්පර්ශ කරමින් රසික ජන විඥානය පෝෂණය කළ ගායනවේදියෙක්. සරල ගී, දේශාභිමානී ගී, ආගමික ගී, චිත්‍රපට ගී, ටෙලි නාට්‍ය ගී හා උපහාර ගී යනාදී වශයෙන් පුළුල් පරාසයක ගීත ඔහු ගායනා කර තිබෙනවා. ඔහුගේ සරල ගී බොහොමයක් බිහි වී ඇත්තේ ගුවන් විදුලිය මාධ්‍ය කර ගනිමින්. ආදරය, දරු සෙනෙහස, මවු ගුණ, පිය ගුණ, සොහොයුරු පෙම, සමාජ අසාධාරණය, වාර්ගික සහජීවනය, මනුෂ්‍ය චිත්ත සංතානයේ ස්වාභාවය හා පරිසරය වැනි විවිධ පරාසයන් ඔස්සේ විහිදී යන තේමාවන් ඔහුගේ ගීතවල දක්නට ලැබෙනවා.

* වර්තමාන ගීතය ගැන ඔබේ අදහස කුමක් ද?

වර්තමානයේ බිහි වෙන ගීතවලින් සියයට අනූවක් පමණ ම ප්‍රේම ගීත. ප්‍රේමය කියලා කියන්නේ අති සුන්දර මනෝභාවයක්. ඒත් වර්තමාන ප්‍රේම ගීත ඇතුළේ මොනව ද තියෙන්නේ? ප්‍රේම ගීතය අද අඳෝනාවක් වෙලා. මේ අහලා තවත් අවුරුදු දහයකින් පහළොවකින් තරුණ පිරිස ආදරය කරන්නත් බය වේවි. වර්තමාන ප්‍රේම ගීතවල තිබෙන්නේ හදවත, කදුළු වගේ දේවල් පමණයි. ප්‍රේමයේ ස්වාභාවය හඳුනාගන්න දෙයක් ඒ ගීතවල නෑ.

* ඒ තත්ත්වයට හේතුව කුමක් ද?

කලාකරුවකු තමන් කරන්නේ මොකක් ද කියලා දැන ගන්න ඕන. ඒක හඳුනාගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. කලාකාරයකු කළ යුතු වෙන්නේ ජීවිතයේ ස්වාභාවය පෙන්වා දීම. ඒ සඳහා කලාකරුවකු පෝෂණය ලබා තිබෙන්න ඕන. අද මුදල් තිබෙනවා නම් ඕනෑ ම කෙනෙකුට ගීත ගායනා කරන්න පුළුවන්. ඒක් එදා ගුවන්විදුලිය ඔස්සේ බිහි වුණේ වගකීමක් දරන කෙනෙකුගේ තෝරා ගැනීම හරහා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා