උතුරේ ජනතාවට අවශ්‍ය සංවර්ධනය මිස බලය බෙදීමක් නොවේ

උතුරේ ජනතාවට අවශ්‍ය සංවර්ධනය මිස බලය බෙදීමක් නොවේ

ෆයිසර් මුස්තාෆා
තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය

තුරේ හා නැඟෙනහිර ජීවත් වන ජනතාවට අවශ්‍ය වී ඇත්තේ සංවර්ධනය විනා බලය බෙදා හැරීමක් නොවේ. උතුරේ සහ නැඟෙනහිර ජනතාවට වඩා හොඳ නිවාස, පාසල් සහ සෞඛ්‍ය පහසුකම් අවශ්‍යයි. ඔවුන්ට වැදගත් ජීවන රටාවක් අවශ්‍යයි. මෙම පහසුකම් ලද පසු ඔවුන් බලය බෙදා හැරීම ඇතුළු අනෙකුත් සියලු දේ ගැන ක්‍රමයෙන් සිත් යොමු කිරීමට උනන්දු වනු ඇති බව අපි විශ්වාස කරනවා. ජනතාව අද සරණාගතයන් ගැන කතා බහ කරනවා. එහෙත් එල්. ටී. ටී. ඊ. ය විසින් උන්හිටිතැන්වලින් එලවා දමන ජනතාව ගැන කතා කරන්නේ කවුරුන් ද?

ඔවුන්ගේ මුල් පදිංචි නිවෙස්වලින් එල්. ටී. ටී. ඊ. ය විසින් එලවා දමන ලද අවතැන් වූවන් විශාල සංඛ්‍යාවක් අද දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙනවා.  එල්. ටී. ටී. ඊ. යේ ජාතිවාදී පලවාහැරීම් ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් වශයෙන් අවතැන් වූවන් විශාල සංඛ්‍යාවක් දශක කීපයක් මුළුල්ලේ උතුරු, නැඟෙනහිර ප්‍රදේශවලින් බැහැර ප්‍රදේශවල ජීවත් වෙමින් සිටිනවා. ද්‍රවිඩ ජාතික සන්ධානය (ටී. එන්. ඒ) මෙම මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළ යුතුව තිබෙනවා. අවතැන්වූවන්ගේ සංඛ්‍යාව අති විශාල නිසාත්, ඔවුන් දශක ගණනාවක් අවතැන් වූවන් ලෙස ජීවත් වූ නිසාත් මෙම ප්‍රශ්නය වඩාත් ලොකු ප්‍රශ්නයක්.

සමහර දේශපාලන පක්‍ෂ උතුරේ හා නැඟෙනහිර ජනතාව සඳහා බලය බෙදීමක් ගැන කතා කරන නමුත්, මෙම ජනතාව වසර තිහක් තිස්සේ පාසලක්, රෝහලක්, ජල කරාමයක් හෝ විදුලි බල්බයක් ඇසින් දැක නැහැ.ඔවුන් දිළිඳුබවේ පහත්ම තැනකයි ජීවත් වන්නේ. ඔවුන් දිළිඳු බවේ පහත් තත්ත්වයෙන් ඉහළ තත්ත්වයකට පැමිණි පසු ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ බලය බෙදා හැරීම පිළිබඳ ව තේරුම් ගැනීමට හැකි වේවි. නමුත් දේශපාලකයින් දිළිඳුබවේ ගැලී සිටින මිනිසුන්ගේ තත්ත්වය මතින් ඔවුන්ගේ දිළිඳු බව ආයුධයක් කර ගෙන දේශපාලන වාසි ලබා ගැනීමට මාන බලනවා.

ද්‍රවිඩ ජාතික සන්ධානය

මෙම තත්ත්වය ගැන ද්‍රවිඩ ජාතික සන්ධානය සිතා බැලිය යුතුයි. දේශපාලන නායකත්වය සහ යටිතල පහසුකම් ඇතුළු සියලු දේම එල්. ටී. ටී. ඊ. ය විසින් විනාශ කරනු ලැබූවා. පසුගිය සමයේ දී ද්‍රවිඩ ජාතික සන්ධානය කටයුතු කළේ එල්. ටී. ටී. ඊයේ සිරකරුවකු වශයෙනුයි. දැන් ද්‍රවිඩ ජාතික සන්ධානයට කතා කිරීමේ නිදහස තියෙනවා. දේශපාලනයේ නියැලීමට නිදහස තියෙනවා. ද්‍රවිඩ ජාතික සංධානය දැන් කළ යුත්තේ රජය හා එකතුව උතුර හා නැඟෙනහිර යළි ගොඩනැඟීමට කටයුතු කිරීම යි. මහජනතාව බලා ඉන්නේ නිවාස පහසුකම් සහිත වැදගත් ජීවන රටාවක්, සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපන පහසුකම් ලැබෙන තුරුයි.

එවිට පමණයි ඔවුන්ට බලය බෙදා හැරීමක් සහ වෙනත් සංකල්ප ගැන සිතන්නට සහ කතා කිරීමට හැකිවන්නේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ගොඩනැගීම සඳහා දේශ හිතෛෂී දේශපාලන පක්ෂ අත්වැල් බැඳගත යුතුය. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව (LLRC) සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම අවශ්‍ය බව දිගු නිහැඩියාවකින් පසුව එක්සත් ජාතික පක්ෂය අවබෝධ කර ගෙන ඇත. පැහැදිලිව ම මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ සුළු ජන ප්‍රජාවන්ගේ විශේෂයෙන් දමිළ සහ මුස්ලිම් අවශ්‍යතාවන් නියෝජනය වන ප්‍රකාශයකට වඩා ශ්‍රී ලාකේය ස්වෛරීභාවයට එරෙහි ව කටයුතු කරන දේශමාමක නොවූ පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ වූ දෝංකාරයකි.

සටන් විරාම ගිවිසුම

එක්සත් ජාතික පක්ෂය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව විවේචනය කරමින් ප්‍රකාශ කරන්නේ සටන් විරාම ගිවිසුම සංකල්පමය වශයෙන් දුර්වල එකක් බවට කොමිසන් වාර්තාව කරන ප්‍රකාශය පිළිගත නොහැකි බවයි. මෙම තර්කය සනාථ කිරීම පිණිස එක්සත් ජාතික පක්‍ෂය පවසා ඇත්තේ කොමිසම ජාවිඩ් යූසූප් මහතාගේ සහ යාපනය සරසවියේ මානව හිමිකම් පිළිබඳ ව ආචාර්යවරුන්ගේ ප්‍රකාශ මත යැපී ඇති බවයි. සටන් විරාම ගිවිසුම අත්සන් කරන අවදියේ දී හිටපු ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද ඇතුළු මෙම විෂය පිළිබඳ පුළුල් අවබෝධයකින් යුත් පුද්ගලයන් විසින් කොමිසම හමුවේ ඉදිරිපත් කරන ලද වැදගත් කරුණු ද සැළකිල්ලට ගෙන තිබූ බව එක්සත් ජාතික පක්‍ෂය පහසුවෙන්ම යටපත් කර තිබෙනවා.

"සටන් විරාම ගිවිසුම සකස් කරන ලද්දේ ශ්‍රී ලංකා භූමිය ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයේ පාලන ප්‍රදේශ සහ රජයේ පාලන ප්‍රදේශ වශයෙන් . මෙහි ප්‍රතිඵලය වූයේ සීමා වෙන් කරමින් රාජ්‍යයේ භූමික අඛණ්ඩතාව හෑල්ලුවට ලක්වීමයි. එසේම එමගින් 'ඔබ මොබ යා නොහැකි ප්‍රදේශ/අන්තර් කලාප වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංචාර සීමා කිරීම හා නැඟෙනහිර මුහුදේ සමහර කොටස් ශ්‍රී ලංකා නාවික හමුදා ගමන් බිමන් ප්‍රදේශවලින් ඉවත් කිරීම, ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයට නීති විරෝධී ලෙස ආයුධ සහ යුද උපකරණ ගෙන්වීම පහසු කරන ලද බව" ඔහු ප්‍රකාශ කර තිබිණ.

මීට අමතරව, අනෙකුත් අය අතර සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ මහ ලේකම් කාර්යාලයේ (SCOPP - the Government Peace Secretariat) පළමු මහ ලේකම් බර්නාඩ් ගුණතිලක මහතා සහ ජයන්ත ධනපාල මහතා යන අයගේ ප්‍රකාශද කොමිසම සතුව තිබිණි. ඒ අනුව සීමාසහිත ප්‍රදේශයක නිල නොවන පාලන බලයක් හිමි කරගෙන සිටි ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයට නීතිමය පිළිගැනීමක් එමගින් ලබා දී තිබුණු බව පෙනී යයි. ඒ අනුව සටන් විරාම ගිවිසුම ජාතියේ ස්වෛරීභාවය සංකල්පමය වශයෙන් දුර්වල කිරීම පමණක් නොව, සහමුලින් ම බාල්දු කිරීමකි. එකල සිටි රාජ්‍ය නායකයාට ශුද්ධ වූ මඩු දේවස්ථානයට යාම පිණිස ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධාන පාලනාධිකාරියෙන් අවසර ලබා ගැනීමට සිදු වූ බව මෙහි ලා සිහිපත් කළ යුතුය.

මැතිවරණයෙන් අනතුරුව, මහින්ද රාජපක්‍ෂ රජය ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය සමඟ කෙළින්ම සාකච්ඡා කිරීමට අසමත් වූ බව ඇඟවීමට එක්සත් ජාතික පක්‍ෂ ප්‍රකාශය යත්න දරයි. නමුත් සැබෑ තත්ත්වය වන්නේ, 2005 නොවැම්බර් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ව, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පෙර කාලයේ දී දෙපාර්ශ්වය අතර නතර වී තිබූ සාකච්ඡා නැවත ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය සමඟ ආරම්භ කළ බව ය. නෝර්විජියානු රජය විසින් සපයන ලද පහසුකම් මත 2006 දී ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා පිණිස මෝර්වේ රටට ගුවනින් ගිය නමුත්, ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ ය යන බොළඳ තර්කය මත ඔවුන් සාකච්ඡාවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කළා.

ඉන්පසු නැවතත්, ආරක්ෂක හේතුන් මත රජය ඊට එකඟ නොවන බව දැන දැනත්, 2006 ඔක්තෝබරයේ දී ශ්‍රී ලංකා රජය A 9 මාර්ගය විවෘත කිරීමට එකඟවනතුරු සාකච්ඡා ඉදිරියට ගෙන යාම ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය විසින් ප්‍රතික්ෂේප කළා. සටන් විරාම ගිවිසුම නිසා ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති වූ ඊනියා යහපත් ප්‍රතිඵල පිළිබඳ ව එක්සත් ජාතික පක්ෂය කතා කිරීම හුදෙක් විනෝදජනක පමණක් නොව සිනා උපදවන සුළු ය. ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය සිය යුද අවි ශක්තිය වර්ධනය කර ගැනීම පිණිස මහා පරිමාණයේ බඳවා ගැනීම් කරන ලද බවටත් ලිඛිත සාක්ෂි ඇති බව" රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මගින් නිකුත් කළ 'මානුෂවාදී මෙහෙයුම් සත්‍ය විග්‍රහය (2006 ජූලි = 2009 මැයි)' නමැති ප්‍රකාශයේ (37 පිටුව) සඳහන් වේ.

ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය ඔවුන්ගේ යුදකාමි වැඩ සටහන නව දිසාවකට යොමු කොට ගුවන් යානා මිලට ගෙන ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා සූදානම් වූයේ සටන් විරාමය පැවති වකවානුවේ දී මයි. මෙම ගුවන් ප්‍රහාර හමුදාමය මෙන් ම ආර්ථික මධ්‍යස්ථානයන් ද ඉලක්ක කරගෙන සිදු වූ බව සඳහන් කළ යුතු වේ. තවද ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය මේ ආකාරයට ශක්තිමත් වීම නිසා රජයට ද නවීන පන්නයේ යුද ආම්පන්න සහ ආරක්ෂක පද්ධති මිලට ගැනීමට සිදු විය. ඒ සඳහා අතිවිශාල මුදල් සම්භාරයක් වැය කිරීමට සිදු විය. එනිසා සටන් විරාමය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති වූ බලපෑම දරාගත නොහැකි තරම්.

එක්සත් ජාතික පක්ෂයේ අරමුණ දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ දේශීය මෙන් ම ජාත්‍යන්තර වශයෙන් විසිර පවත්නා ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයේ හිතවතුන්ගේ මනදොළ සපුරාලීම බව ඉතා මැනවින් පෙන්නුම් කරන්නේ යුද්ධය නිසා වික්ෂිප්තභාවයට පත්ව සිටින්නේ දෙමළ ජනතාව පමණක් යැ යි පවසමින් මුස්ලිම් ජනතාව සහ උතුරු, නැඟෙනහිර සුළුතරයක් වන සිංහල ජනතාව යුද්ධය නිසා විඳි දුක්ගැහැට සහ පීඩාවන් අමතක කර තිබෙන හෙයිනි.

ද්‍රවිඩ ජනතාවට විමුක්තිය

ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයේ වාර්ගික සෝධන වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් වශයෙන් උන්හිටි තැන් අහිමි වූ මුස්ලිම් ජනතාව අද වනවිටත් ගම්බිම් දේපළ නොමැතිව පීඩාවට පත්ව සිටීම එක්සත් ජාතික පක්‍ෂය හිතාමතා ම අමතක කර ඇති බව පෙනී යයි. ද්‍රවිඩ ජනතාවට විමුක්තිය ලබාදීමේ මුවාවෙන් තනි වර්ගයකින් පමණක් සමන්විත දේශයක් ඇති කිරීම පිළිබඳ ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධාන මායාව ඉතා හොඳාකාර ව පැහැදිලි වන්නේ යාපනය අර්ධද්වීපයෙන් මුස්ලිම්වරුන් 75,000ක් පලවා හැරීමේ ක්‍රියාදාමය තුළිනි.

එදා ප්‍රභාකරන්ගේ නියෝගය වූයේ පැය 48ක් ඇතුළත මුස්ලිම්වරුන් යාපනය ප්‍රදේශයෙන් ඉවත්විය යුතු බව ය. තවද, ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය විසින් මුස්ලිම්වරුන් 600කට ආසන්න පිරිසක් ඝාතනය කරන ලදී. ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයේ වාර්ගික සෝධන වැඩ පිළිවෙළ තුළින් ඇතිවන බලපෑම කෙතරම්දැයි අවබෝධ කර ගැනීමට කදිම උදාහරණයක් ඇත. එනම්, 1981 වර්ෂය වන විට උතුරු පළාතේ වාසය කළ 20,000ක් වූ සිංහල ජනතාව අවුරුදු කීපයක් ගත වීමේ දී එකදු සිංහලයකු ද නොසිටින තත්ත්වයට පත්වීමයි.

තිරසාර සාමයක්

"විශ්වාසනීය තොරතුරු ද සමඟ අදාළ බලධාරින් වෙත වාර්තා කරනු ලැබූවේ යැ යි පවසන සිවිල් ජනතාවගේ මරණ සහ අතුරුදහන්වීම් පිළිබඳ ව පරීක්‍ෂා කිරීමට අර්ථාන්විත පියවර ගෙන නැත." යනුවෙන් එක්සත් ජාතික පක්ෂය කණස්සල්ල පළ කර ඇත. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත්කිරීම රටේ තිරසාර සාමයක් සහ ජාතින් අතර සහයෝගයක් ඇති කිරීම පෙරදැරි කරගෙන කිසියම් පාර්ශ්වයකට යම් අසාධාරණයක් වී ඇත්නම් ඒවා ද නිවැරැදි කිරීම අරභයා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක ආරම්භය පමණි. එසේ හෙයින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳ ව අවශ්‍ය කටයුතු කිරීම දීර්ඝ කාලීන ව සිදු කළ යුතු වැඩ පිළිවෙළකි.

මෙහිදී වැදගත් වන්නේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ කැමැත්ත හා කැපවීම ජනාධිපතිතුමා විසින් ම ප්‍රකාශ කිරීමයි. මානව අයිතිවාසිකම් කඩවී ඇතැයි වාර්තා වී ඇති තන්හි ඒවා පිළිබඳව සොයා බැලිය යුතු යැයි උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් වාර්තාව පැහැදිලි ලෙස ප්‍රකාශ කර ඇත. එම වාර්තාවේ 9.37 පරිච්ඡේදයේ සඳහන් කර ඇත්තේ "4.359 (vi) (අ) සහ (ආ) නිරීක්ෂණ යටතේ නියත වශයෙන් දක්වා ඇති අවස්ථා පිළිබඳව සහ සිවිල් ජනතාව එල්ල කරමින් කරන ලදැයි වාර්තා වී ඇති ප්‍රහාරයන් පිළිබඳව පරීක්‍ෂා කළ යුතු ය.

එම පරීක්‍ෂණ මගින් කිසියම් වරදක් හෙළිදරව් වන්නේ නම් වරදකරුවන්ට විරුද්ධව නිසි නෛතික පියවර මගින් දඬුවම් ලබා දීම කළ යුතුය." "ජාත්‍යන්තර ප්‍රජාව විසින් දැනටමත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් වාර්තාව ඉහළින් පිළිගෙන ඒ ගැන ප්‍රශංසාව ද පළ කර ඇත. බටහිර ලෝකයට අයත් කැනඩාව වැනි රටවල් ද මේ අතර වෙති. ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි. මෙම වැඩ පිළිවෙළ ඉතා වේගයෙන් සිදු වන බව අද ඕනෑම කෙනෙකුට පැහැදිලි ව පෙනී යයි.

අදාළ කරුණු පිළිබඳ ව සොයා බැලීමට යුද හමුදාව දැනටමත් පරීක්‍ෂණ මණ්ඩලයක් පත් කර ඇත. තවද රජය මේ වන විට පොලිස් කොමිසම ද පත් කර ඇත. එනිසා රජය හැකි තරම් කඩිනමින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැප වී සිටින බව පැහැදිලි ය. එසේ හෙයින් සියලුම දේශපේ‍්‍රමී දේශපාලන පක්‍ෂ සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකම වනුයේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ගොඩනැගීමට සහ රටේ ඒකීයභාවයත්, ජනතාවගේ ස්වෛරීභාවයත් රැක ගැනීමට එකාවන් ව නැඟී සිටීමයි. දේශපේ‍්‍රමී බලවේග සමඟ එක්වනු වෙනුවට ඔවුන්ගේ ක්‍රියා කලාපය තුළින් එක්සත් ජාතික පක්‍ෂය කරනු ලබන්නේ බෙදුම්වාදී කණ්ඩායම්වලට ශක්තිය ලබාදීම යි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා