මුන්නැහැගෙ ප්‍රේමයට කුස-පබාත් පරාදයි !

මුන්නැහැගෙ ප්‍රේමයට කුස-පබාත් පරාදයි !

ල්ගං­ක­න්දට ඉහ­ළින් ඉර යාන්ත­මට එබෙයි.ඉන් පහළ අවට ගම්තු­ලා­නත්,ආරච්චි වල­ව්වත් වසා ගනි­මින් හීන් මීදු­මක් පැතිර යයි. වලව්වේ අංග­නයෙහි අබ­ලන් වූ තිරි­ක්ක­ල­යක් ද සුදු හුණු පිරියම් කළ උස ප්‍රතිමාවක් ද වෙයි.

දිග වැර­න්ඩාවේ ඒ කොනට මේ කොනට පිය­වර මනින ආරච්චි තනි­වම කතා කරයි. මතුරයි. ඔහුගේ කොන්ද තනි කෙලින්ය. උර කුහරය ඉදි­රි­යට නෙරා ඇත. ආරච්චි මහ නිරි­දෙකුට අදින්නට යන සෙයකි.

ආරච්චි- දාසිය මට මධු බදු­නක්!

උක්කුවා- (තමා­ටම) ඈ..හ් නාකි­යාට ඔල්මාදෙ ද? මූ අත්තන ඇට­වත් කෙළි­යද?

ආරච්චි- උක්කුවා ! උක්කුවා!........!

මුං රජ කෙනෙ­කු­ට­වත් අව­නත නෑ!

උක්කුවා- අපේ රාල­හාමි!

ආරච්චි- රාල­හාමි තොට පිස්සුද?

මං මහ නිරිඳු !....මට මධු බඳු­නක් ගෙනව!

උක්කුවා-අපේ රාල­හාමි....න් ….නෑ රජ­තු­මනි, මධු කිව්වේ!?

ආරච්චි-(හයි­යෙන් සිනා­සෙයි.)

උක්කුවෝ මං පළ­වැනි කසුබ් මහ රජ­තුමා!

(හිස කෙළින් කරයි)අපි ඉන්නේ ආල­ක­ම­න්දාවේ.උඹැ­හැට තේරු­ණාද?...හොදා දැන් ගෙනිහුං බලා­පිය අපේ බිසව කොහේද කියල හිට..!මේක රාජ අණක්! නියෝ­ග­යක්!

උක්කුවා-රජ­තු­මනි, වෙද හාන්දු­රු­වන්ට එන්ට කිය­න්ටයැ? ඉස­කු­ඩි­ච්චි­ය­කුත් දාන්ට වෙයි!

හපුච්චේ වෙච්ච නස්පැ­ත්ති­යක්!

ආරච්චි- (හයි­යෙන් හිනා) නෑ බොල උක්කුවෝ මං ඊයේ රෑත්ති­රියේ හරි අපූරු පොතක් කියෙව්වා! ෂා...හ් ඒකෙ තියෙන්නේ සීගි­රියෙ ප්‍රේම කතා­වක්! යසයි බොල, මං නිකං තිරි­හන් වුණා!(සිනා)

උක්කුවා-මයෙ අපුච්චේ! මං හිටියෙ

අපේ රාළ­හා­මිට පිස්සු කියලා.....!

අපේ රාළ­හා­මිට කියන්ට ඔය පොත් වහන්සේ ගත්තෙ කොහෙන්දෑ....මයෙ අප්පේ!?

ආරච්ච්- උඹ­හැට කියන්ට සීගි­රිය ජීව­මාන කොරල!

කසුබ් රජ­තු­මාගේ දූ කුම­රිය උත්ප­ල­වන්නා මට මේ දැනුත් මැවිලා පේනවා!අනේ! පව්. යකෝ ඒ ඇත්ති පර්ව­තෙන් පහ­ළට පැන්නා!සළු­පිළි හුළ‍‍ඟේ පාවෙලා ගියා!

උක්කුවා- (කට වසා සිනා­සෙයි.)

ආරච්චි- ‍තෝ මොකෑ කිචි කචි ගාන්නේ?

උක්කුවා- නෑ ඉතින් අපේ රාළ­හා­මිට කියන්ට,

සළු­පිළි නැතිව හිට තරුණ කුමා­රි­කා­වක් බිම දොක්ක ගහලා හිටි­යොත් ….!‍මයේ අප්පේ ඒක නොවෑ දර්ශනේ!?

ආරච්චි- කට වහ­පිය ගෙරියා! කුමා­රි­කා­ව­වක‍ට අප­හාස කොරන්‍ට වටි­නවා ද? අනික,අනික, මහ රජ­තු­මාගේ එකම වස්තුව උත්ප­ල­වන්නා! ඒක හිතට ගනු!

උක්කුවා- එහෙ­මයි අපේ රාළ­හාමි එහෙ­මයි!

අපේ රාළ­හා­මිට කියන්ට ඔය පොත් වහන්සේ ලියලා තියෙන්නේ පැරැණි රජ කෙනෙක්ද?

ආරච්චි- තොට පිස්සුද? මේ අපූරු කතාව ලියලා තියෙන්නේ මහා­චාර්ය චන්ද්‍ර­සිරි පල්ලි­ය­ගුරු උන්නැහැ.....!

උක්කුවා-ආං.... අර කොණ්‍ඩෙ සුදු වය­සක මහ­ත්තය ‍නෙ වැ! නිත­රම කුඩ­යක් අරන් යන්නේ, මං ...හරි නෙවද අපේ රාළ­හාමි!

ආරච්චි-ඔව් බොල! උන්නැහැ කාලෙ­කට පස්සේ අපූරු පොතක් ලියලා.! උන්නැහැ අහ­ස්ගව්ව චිත්ත­ර­ප­ටි­යට අපූරු සිංදු­වක් ලිවා. ඒක අද­ටත් වලං­ගුයි.ඊළ­ඟට හොඳම වැඩේ මේ පොත.මේ පොත සීගි­රියෙ තියෙ­න­තාක් කල් ජීව­මා­ණයි.!උන්නැ­හේට ඉති­හාසෙ

ගැන ලොකු වැට­හී­මක් තියෙ­නවා. අපූරු කතා වස්තු­වක් ගෙඩ­න­ඟලා තියෙ­නවා.හරිම ලස්සන භාෂා­ව­කුත් තියෙ­නවා.!

උක්කුවා-භාෂාව කන්ටයැ අපේ රාල­හාමි!?

ආරච්චි-ඔය කිව්වේ,ඕං කිව්වා!බොල උක්කුවෝ භාෂාව කියන්නේ රටා සමු­දා­යක් ඒක අල්ල­ගන්ට බැරි­වෙච්චි එකාට ජීවිතේ විඳින්ට බෑ.

උක්කුවා- හොඳා අපේ රාළ­හාමි මොකක්ද ඔය කතාව. කාශ්‍යප රජ්ජු­රුවෝ පීතෲ ඝාත­ක­යෙක් නෙ වැ!

ආරච්චි- ඒක මහා පත­රංගෙ වාගේ දිගම දිග කතා­වක්.! කශ්‍යප රජ්ජු­රු­වන්ට තමන්ගේ පියා මරන්ට වුණේ ඇයි කියන එක ප්‍රශ්න­යක්. මේ පිටු­පස මිගා­රගෙ කුම­න්ත්‍ර­ණ­යක් තිබුණා. මුග­ලන්ගේ යුද ව්‍යාපා­ර­යක් තිබුණා.කේලා­ම්කා­රයෝ, ඔත්තු­කා­රයෝ හිටියා. මේ අවුල පොතේ හොඳ‍ට නිරූ­ප­ණය වෙනවා.වැඩි­යෙන් ම වැද­ගත් වෙන්නේ උත්ප­ල­ව­න්නාගේ හා සිරි­වස්ගේ ප්‍රේම­යයි.එය එක අත­කින් ශෝකා­න්ත­යක්! ඉතා ගැඹුරු ශෝකා­න්ත­යක්!

උක්කුවා- ශෝකාන්තෙ කිව්වට මට තේරෙන එකක්යැ මයෙ ඇත්තෝ!? අර ප්‍රේම කතාව කිය­න්ටකෝ අපේ රාළ­හාමී!

ආරච්චි- උඹැ­හැට කියන්ට උක්කුවෝ කාශ්‍යප රජ්ජු­රු­වන්ට දූ කුමා­රි­යන් ‍‍ෙදදෙ­නෙ­ක් හි­ටියා. සුන්ද­රම කුම­රිය උත්ප­ල­වන්නා.එතු­මිය රාවණා වංශ­යෙන් පැවත එන කුමා­රි­කා­වක්. ඇගේ මව් බිසව තමා කිරි බිස­වුන් වහන්සේ.රජ­තුමා දිවි හිමි­යෙන් ආද­රය කළේ ඇය­ටයි. ඒත් වංශ­ක්කාර ගැටුම් නිසා එතු­මිය අකා­ලයේ වල­ප­ල්ලට ගියා.ඒත්, දූ කුමා­රිය බේරැණා.!

උක්කුවා- ඉතින් අපේ රාල­හා­මි­ ප්‍රේ­ම­යක් කොයින් දැ?

ආරච්චි - තෝ දන්න කෙං ගෙඩිය! රජ­තු­මාට කල්ප­නා­වක් ආවා. කිරි බිස­වගේ පිළි­ම­යක් අඹන්ට සුදු­සුම පුද්ග­ලයා සිරි­වස්. දඹ­දිව ගොහින් මූර්ති කලාව ඉගෙ­න­ගෙන ආපු කඩ­ව­සම් තරු­ණයා.රජ­තුමා සිරි­වස් ගෙන්නා­ගෙන පිළිමෙ අඹන්ට කිය­නවා. ජීව­මාන රූපය හැටි­යට උත්ප­ල­වන්නා යොදා­ග­න්නවා.!

උක්කුවා-අනේ! අම්මප මරේ මරු රාළ­හාමී!

ආරච්චි- උඹැ­හැට කියන්ට උත්ප­ල­වන්නා දූ කුමා­රි­කා­වය සිරි­මෙ­වන් මූර්ති ශිල්පි­යයි දෙන්නට දෙන්නා ආද­රය කර­නවා. පල්ලි­ය­ගුරු උන්නැහැ ඒ ආද­රය. ප්‍රේමය.ආලිං­ග­නය. රාගය.ජීව­මාන විදි­හට නිරූ­ප­ණය කර­නවා. පුදු­මයි! ඒක අපේ ප්‍රබන්ධ කලා­වට අපූරු අත්දැ­කී­මක්.මඟේ ඇඟ උණු­සුම් වෙනවා බොල.!උණු­සුම් වෙනවා.! මටත් හිතෙ­නවා ස්ත්‍රී පිළි­ම­යක් නෙළන්ට!

උක්කුවා - අපේ මැණි­කෙගෙ රූප­යක් ද රාළ­හාමී!?

ආරච්චි- ඒ මොන ලබු ගෙඩි­යක් ද උක්කුවෝ!? (පහත් හඩින්) එන්ට කියා­පිය එත­න­හා­මිට, එන්ට කියා­පිය හෙලේ­නාට ! රත්ත­රන් හෙලේ­නාට,

උක්කුවා- අපේ රාළ­හා­මිට කියන්ට මේං මං වැන්දා ඕවා කොරන්ට ගෙහුං මට සෝලි වැටෙයි.අනේ අපේ රාළ­හාමි පොත ගැන කිය­න්ටකෝ!

ආරච්චි-පොත ද? මේ පොත හිංගලේ කලා­වට අමා සේව­යක් කර­නවා.! බලා­පිය සංව­රේට සේරම කියන හැටි.බලා­පිය වැඩි විච්චූ­රණ නැතිව කෙටි­යෙන් කියන හැටි උත්ප­ල­ව­න්නාගේ චරිතෙ සිරි­වස්ගෙ චරිතෙ නිරූ­ප­ණය කරල තියෙන හැටි බලා­පි­යකො. නව­කතා කියල හිට බොරු බේගල් ලිය­න­වුන්ට ඕං මේ පො­තෙන් ආදෘශ ගන්න පුළු­වන්.

උක්කුවා : - අපේ රාල­හා­මිට කියන්න ඕකෙ දේශ­පා­ල­න­යක් නැති ද මගේ අප්පේ!?

ආරච්චි : - මේ කර්තෘ­තුමා හරි යසට දේශපා­ලනේ කිය­නවා‍. රජ්ජු­රු­වන්ගේ උප්ප­ර­වැට්ටි, එත­කොට කන­ස්සල්ල, යුද උප­ක්‍රම, හරි යසට නිරූ­ප­ණය කර­නවා. යුද්දෙට යන සෙබ­ලුන්ට එතුමා කතා­වක් කර­නවා? බල­පංකො තියන දේශ­පාලනෙ. මාත් පණ්ඩිත විභාගේ පාස් කොරපු ඇත්තෙක්. මට හොඳට දැනෙ­නවා ඕවා ගැන

උක්කුවා : - එහෙ­මයි අපේ රාල­හාමි එහෙ­මයි!

ආරච්චි : - ඔය ටීපෝවේ තියෙන කර­දාසි ටික ගනිං! කටු පෑනයි තීන්ත බෝත­ලෙයි ගනිං!

උක්කුවා : - ගත්තා අපේ රාල­හාමි ගත්තා!

ආරච්චි : - හොඳා දැං මෙහෙම ලියා ගනිං!

උක්කුවා : - මං මහ­ප්‍රාණ අකුරු දන්නේ නැතුවා!

ආරච්චි : - මහ­ප්‍රාණ එපා සිදත් සඟ­රාවේ හෝඩි­යෙන් ලියාපං!

උක්කුවා: - එහෙ­මයි අපේ රාල­හාමි! එහෙ­මයි!

ආරච්චි : - 'තොප වර­ද­කින් කෙලෙ­සින් කිපෙම්' යන ප්‍රබ­න්ධය වනාහි සිංහල ප්‍රබන්ධ කතා කලා­වට එක් වූ සැල­කිය යුතු සාර්ථක නව­ක­තා­වකි. සීගි­රිය කේන්ද්‍ර කොට රචනා වී ඇති මේ ප්‍රබ­න්ධ­යෙන් අතීත ශ්‍රී ලංකාවේ දේශ­පා­ල­නය හා මනු­ෂත් සම්බ­න්ධතා මැන­වින් නිරූ­ප­ණය කෙරේ. ‍ප්‍රේමය නිරූ­ප­ණයේ දී කතු­ව­රයා දක්වන සියුම් හැකි­යාව ගැන පුදුම සිතේ. ඔහුගේ භාෂාව මෙන් ම ගවේ­ෂ­ණය ද අගය කළ යුතු ය. මේ කතාව කිය­වන විට දැනෙන්නේ ' කුස පබා' මොන ප්‍රේම කතා­වක් ද යන්න ය.

(ආරච්චි හිස පහත් කොට හඬ­න්නට පටන් ගනියි. ඒ දුකට ද , පසු­තැ­වී­මට ද , ආත්මා­නු­ක­ම්පා­වට දැයි වට­හා­ගත නො හැකිව උක්කුවා අන්ද – මන්ද වූයේ ය.)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා