මුලතිව් මැතිවරණය නවත්වන්නැයි ඡන්දදායකයෝ ඉල්ලති

මුලතිව් මැතිවරණය නවත්වන්නැයි ඡන්දදායකයෝ ඉල්ලති

මුලතිව්, මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභාවට නියෝජිතයන් තෝරා ගැනෙන මැතිවරණය මේ මාර්තු විසිහතර වැනිදා (24) පැවැත්වීම වළක්වන රිටි ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඡන්ද දායකයින් පිරිසක් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් යොමු කර ඇත.

එම ප්‍රදේශවල සිදුකරන බිම්බෝම්බ ඉවත් කිරීමේ සහ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක්, එම මැතිවරණය කල්දමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට සහ මුලතිව් තේරීම් භාර නිලධාරිවරයාට බලකරමින් මෙම ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

මුලතිව් මුල්ලියාවේලි හී පදිංචිකරුවකු වන ජගදීස්වරන් අජන්තන් ඇතුළු ඡන්දදායකයන් හත්දෙනෙකු මෙහි පෙත්සම්කරුවන් වේ. මුලතිව් හි තේරීම්භාර නිලධාරින් තිදෙනෙකු, මැතිවරණ කොමසාරිස්වරයාද, එම ප්‍රාදේශීය සභාවට තරග කිරීමට නාමයෝජනා බාර දී ඇති දේශපාලන පක්ෂ හතක ලේකම්වරු සහ නීතිපති ද මෙහි වගඋත්තරකරුවෝ වෙති.

පෙත්සමෙහි දැක්වෙන පරිදි පෙත්සම්කරුවන් මුලතිව් මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභාවෙහි ඡන්දදායකයෝ වෙති. එහෙත් එම ප්‍රදේශයෙහි බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවමත් සිදුකෙරෙමින් පවතින නිසා ඔවුන් මුල්ලියාවේලි ප්‍රදේශයෙහි පදිංචිව සිටිති.

මුහුදුබඩපත්තු, තුනුක්කායි, පුදුකුඩිඉරිප්පු සහ මන්තායි නැඟෙනහිර යන ප්‍රාදේශීය සභා සඳහා නියෝජිතයන් පත්කර ගැනීම සඳහා මැතිවරණයක් පවත්වන බවට ප්‍රසිද්ධ කළ මැතිවරණ ලේකම්වරයා සහ මුලතිව් තේරීම්භාර නිලධාරිවරයාව ඒ හා සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එම මැතිවරණය 2011 වසරේ මාර්තු මස දහහත් වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය ද වරින්වර ගැසට් නිවේදන කිහිපයක් මඟින් කල් දැමිණි.

මැතිවරණය මෙම මාර්තු මස 24 වැනිදාට පැවැත්වීමට නියමිත බව සඳහන් 1744/08 දරන ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඉකුත් පෙබරවාරි මස 08 වැනිදාය.  ඊට නාමයෝජනා කැඳවීම ඉකුත් පෙබරවාරි මස 20 සහ 27 දින අතර කාලයේදී සිදුවූ අතර පිළිගත් දේශපාලන පක්ෂ හතක් නාමයෝජනා භාර දී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා