ලේක්හවුස් ආයතනයේ උන්නතියට සියලු සේවකයන්ගේ කැපවීම අවශ්‍යයි

පසුගිය වසරේ දී ලාභ ඉපැයීමට ඔබ සැම දුන් සහාය අගය කරනවා

ලේක්හවුස් ආයතනයේ උන්නතියට සියලු සේවකයන්ගේ කැපවීම අවශ්‍යයි

දීර්ඝ සේවා තිළිණ ප්‍රදානෝත්සවයේ දී සභාපති බන්දුල පද්මකුමාර කියයි

ලේක්හවුස් ආයතනය පසුගිය වසරේ දී ලැබූ ලාභය ඉපැයීමට සියලුම සේවක සේවිකාවන්ගේ කැපවීම හා උනන්දුව ලැබුණු බවත් ඉදිරියටත් ආයතනය දියුණු කිරීමට සේවක සේවිකාවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා පැවසීය.

අනෙකුත් ආයතන සමඟ තරග කිරීමට අවශ්‍ය නවීන තාක්‍ෂණය ලේක් හවුස් ආයතනය සතුව ඇති බව ද මෙහිදී සභාපතිවරයා පැවසීය.

නව මෘදුකාංග, නවීන මුද්‍රණ යන්ත්‍ර සමඟ ලේක්හවුස් ආයතනය නව මුහුණුවරක් ලබා ඇතැයි ද හෙතෙම කීය.

බන්දුල පද්මකුමාර මහතා මේ බව ප්‍රකාශ කළේ දීර්ඝ සේවා තිළිණ ප්‍රදානය වෙනුවෙන් ටාජ් සමුද්‍ර හෝටලයේ දී පෙරේදා (14) පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

ලේක්හවුස් ආයතනයේ වසර 35 ක් හා වසර 25 ක් සේවය කළ සේවකයන් ඇගයීම වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කර තිබිණි.

පසුගිය වසරේ ලේක්හවුස් ආයතනය ලාභ ලැබීමට සියලුම සේවකයන්ගේ කැපවීම හා උනන්දුව ලැබුණු බවත්, ලේක්හවුස් ආයතනය ඉදිරියටත් දියුණු කිරීමට සියලුම සේවකයින්ගේ සහයෝගය අවශ්‍ය බවත් පද්මකුමාර මහතා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල පද්මකුමාර මහතා,

ප්‍රථමයෙන්ම ලේක්හවුස් ආයතනය බිහි කළ ඩී. ආර්. විජේවර්ධන මහතාට කෘතවේදීත්වය පළ කරනු වස් එතුමාගේ 126 වැනි සැමරුම් උළෙල පසුගියදා අප පැවැත් වුවා.

2011 වසරේ වසර 35 ක් සම්පූර්ණ කළ සේවකයන් 08 දෙනෙක්ද වසර 25 ක්ද සැමරූ 23 දෙනෙක් ද සිටිනවා. ඔවුන්ට මාස දෙකක පාරිතෝෂික දීමනාවක් සහ රන් පවුමක් ලබා දෙනවා. ලේක් හවුස් ආයතනයේ වැටුප අනෙක් ආයතන ගැන සලකා බලද්දී ඉතාම ඉදිරියෙන් තිබේ. නමුත් ලේක්හවුස් ආයතනයේ සේවකයන් තවමත් ඒ ගැන මැසිවිලි නඟනවා.

රජයේ ආයතනවල ලබා දෙන බොහෝ වරප්‍රසාද අපේ ආයතනයෙන් ලබා දෙනවා. මාස පහමාරක ප්‍රසාද දීමනාවක් ලබාදෙන එකම ආයතනය මෙයයි.

ලේක්හවුස් ආයතනය ලබන ආදායමෙන් සියයට 60 ක් සේවක සුබසාධනය සඳහා යොදවන බවද කිව යුතුයි. පසුගිය කාලයේ මේ ආයතනයට විශාල සේවක සංඛ්‍යාවක් ඇතුළත් වෙලා තිබෙනවා.

ඔවුන්ට වැටුප් දීම ඇතුළු සුබ සාධනය වරප්‍රසාද දීම හේතුවෙන් ආයතනය පසු පසට යමින් තිබුණා.

මේ ආයතනය ආරම්භ කළ නැකත හොඳ නිසාදෝ බංකොළොත් වුණේ නෑ. අපට පසුව ආරම්භ කළ ආයතන අපිට ඉදිරියෙන් සිටී. ඒ නිසා මේ ආයතනය ගොඩ ගැනීමට අප සැලසුම් කළා. සේවක බඳවා ගැනීම අත්හිටුවීම, නව යන්ත්‍ර ගැනීම, නව මෘදුකාංග ලබා ගැනීම සිදු කළා.

මා සභාපතිවරයා ලෙස පත්වීම ලබා ගන්නා විට සේවක පිරිස 3200ක්. දැන් සේවකයන් සිටින්නේ 2000 යි. අපෙන් වෙන්ව ගිය සේවකයන්ට ඉතා හොඳ වටිනාකමක් ලබා දී ඔවුන්ට සමුදුන්නා. ඉන් පසුව නව මුද්‍රණ යන්ත්‍ර මිලදී ගත්තා. නව මෘදුකාංග මිලදී ගත්තා. මේ සියලු දේ කරන්න, ආයතනය ගොඩනගන්න, කැපවීම් කරන්න හැකි පිරිසක් අප සමඟ හිටියා.

රජයේ ප්‍රවෘත්ති පළ කරන ආයතනයක් හැටියට අපි කැපවීම් කළත් රජයේ දැන්වීම් පවා අපට ලබා දුන්නේ නෑ. මැතිවරණ කාලයේ දී ඇමැතිවරු කොතරම් ප්‍රචාර ලබා ගත්තත් ඔවුන් උදව් කළේ වෙනත් පත්තර කන්තෝරුවලට යි. නමුත් අපි සැලසුම් සහගතව ලේක්හවුස් ආයතනය ගොඩනැඟීමට කටයුතු කළා. භාණ්ඩාගාරයෙන් සතයක් ගන්නේ නැතුව ලේක්හවුස් ආයතනය පසුගිය වසරේ ලාභ ලැබුවා.

වෙළෙඳ මුද්‍රණ අංශය ශක්තිමත් කරන්න අප තවදුරටත් බලාපොරොත්තු වෙනවා. සිව් වර්ණ මුද්‍රණ යන්ත්‍රයක් මේ සඳහා යෙදවීමට කටයුතු කරනවා. පොත් බැඳීමේ යන්ත්‍රයක් ගෙන ඒමට සැලසුම් කර තිබේ.

මේ සියල්ල කිරීමට මුද්‍රණ අංශයෙන්, දැන්වීම් අංශයෙන් මනා සහයෝගයක් ලබා දී තිබෙනවා. ලේක්හවුස් ආයතනයේ අලුත්ම මුහුණුවර මෙයයි. අපි ලේක්හවුස් ආයතනයේ ආඩම්බරකාර සේවකයෝ වෙමු. රජයේ මත වාදය ඉදිරියට ගෙනයන ගමන් ආයතනය සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි.

අද මේ උත්තම පූජා ලබන සේවකයන් ද ඒ කැපවීමේ කොටස්කරුවන්.

ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා - “මෙතන සිටින සේවකයන් පත්තර මහ ගෙදර ඊයම් යුගයේ දී පැමිණි අයයි.

ඔවුන් එදා සිට ඉතා කැපවීමෙන් සේවය කළා. අද ඊට වෙනස්. අද පරිගණක යුගයක්. ලේක්හවුස් ආයතනයටත් පරිගණක ඇවිත්. සේවකයන්ට වැඩ පහසුවෙලා. ඒ නිසා දැන් සේවකයෝ එතරම් කැපවීම් කරන්නේ නැති දැයි මට හිතෙනවා.”

අපි මේ උත්තම පූජා වැඩසටහන 1967 ඉඳලා වසරක් පාසා සිදු කර ති‍ෙබනවා. අප ආයතනයේ අමාරු කාලවලදී ද මේ උත්තම පූජා වැඩසටහන පැවැත්වීමට ද කටයුතු කළා.

කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්‍ෂ රසාංග හරිස්චන්ද්‍ර, ආයතන ලේකම් කුමුදු ගුණවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

වසර 35 දීර්ඝ සේවා තිළිණලාභීහු

(වමේ සිට)- ජී. කේ. එස්. කේ. ගුණසේකර - ගිණුම් දෙපාර්තමේන්තුව, අයි. එම්. සිරිසේන - දැන්වීම් අංශය (ඩේලි නිවුස්), ඩබ්. ඒ. ජයසූරිය - වී. ඩී. ටී. අංශය, එම්. ඒ. යසතිලක - දැන්වීම් අංශය (ඩේලි නිවුස්), කේ. පී. ජී. කුමාරසිරි - පුස්තකාලය, පී. ආර්. ඒ. එම්. ජී. සිල්වා - පුස්තකාලය, ඒ. ඒ. කුමාරසේකර - පරිපාලන මෙහෙයුම්, දෙවන පෙළ වමේ සිට දීර්ඝ සේවා තිළිණ ලාභීහු වෙති. කර්තෘ මණ්ඩල පරිපාලන - ඩී. ආර්. අබේරත්න, අධ්‍යක්ෂ කර්තෘ මණ්ඩල - සීලරත්න සෙනරත්, අධ්‍යක්ෂ මෙහෙයුම් - උපුල් දිසානායක, සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ - බන්දුල පද්මකුමාර, අධ්‍යක්ෂක පරිපාලන හා නීති - රසාංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරී - කේ. ජී. ඒ. බී. අමරදාස මහත්ම මහත්මීහු මෙහි වෙති.

වසර 25 දීර්ඝ සේවා තිළිණලාභීහු

තෙවන පෙළ වමේ සිට- එච්. ඒ. ආර්. පීරිස්, ඒ. පී. නුවර පක්ස, එල්. ජී. අරුණදීප, එස්. ඒ. ඒ. පී. දිසානායක, ඩී. සෝමතිලක, කේ. ඒ. ඒ. ගාමිණී, එම්. සී. එම්. සලිහීන්, අයි. ජයතිලක 02 වන පෙළ වමේ සිට - ඩී. එස්. ආර්. හේවාපතිරණ, ඩබ්. ඒ. කේ. සුනේත්‍රා නාලිනී, ජී. එස්. එස්. පෙරේරා, ඊ. සී. එච්. ද මෙල්, එස්. සී. එච්. කුමාරජීව, එම්. ඩී. ඒ. ප්‍රියදේව, ජී. ජී. එස්. ජයවර්ධන, ඩබ්. ටී. විජිතානන්ද, පී. ඩබ්. කේ. ද සිල්වා, ජේ. ඒ. සමන්ජීවන, ඩබ්. ඒ. ජේ. බී. වෙත්තසිංහ, ටී. ඒ. එල්. ජයතිලක, එම්. ඩී. ජී. ශ්‍රීමති, එම් නවාස්, කේ. ටී. ජී. ධර්මවංශ තිළිණ ලාභීහු වෙති (පළමු පෙළ) වමේ සිට- වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මූල්‍ය වී. එස්. බොයිස්, ප්‍රධාන පරිපාලන නිලධාරී රෝහණ ආර්යරත්න, සමාගම් ලේකම් කේ. එච්. ගුණවර්ධන, අධ්‍යක්ෂ / කර්තෘ මණ්ඩල සීලරත්න සෙනරත්, සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ බන්දුල පද්මකුමාර, අධ්‍යක්‍ෂ පරිපාලන හා නීති රසාංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරී කේ. ඒ. ජී. බී. අමරදාස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මුද්‍රණ හා නඩත්තු ඩී. කේ. විජේසූරිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිපාලන හා මානව සම්පත් කළමනාකරු නාරද සුමනරත්න, මානව සම්පත් ප්‍රධානී චම්පිකා ගලගෙදර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වෙළෙඳ වරුණ මල්ලවාරච්චි මහත්ම මහත්මීහුද මෙහි වෙති.

උත්සවය අරඹමින් පොල්තෙල් පහන් දැල්වූ අවස්ථාව.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා