‘ටයිම් රේඩියෝ’ ගුවනට මුසුවෙයි

‘ටයිම් රේඩියෝ’ ගුවනට මුසුවෙයි

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව ගුවන්විදුලි නාලිකාව වන ටයිම් රේඩියෝ - TIME RADIO - එෆ්. එම්. තරංගමාලා 87.6 ඔස්සේ ඊයේ නිල වශයෙන් ගුවනට එක්විණි.

ටයිම් රේඩියෝව ඊයේ ගුවනට එක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එම නාලිකාව ආරම්භ කළ අවස්ථාවයි. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල හා ‘ටයිම් රේඩියෝ’ නිර්මාතෘ, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ යන මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය – වාසිත පටබැඳිගේ

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතින් ආරම්භ කෙරුනු ටයිම් රේඩියෝව ක්‍රීඩාවට ප්‍රධාන තැනක් දී තිබේ. තාරුණ්‍යයේ නව්‍ය අවශ්‍යතා හඳුනා ගනිමින් උසස් වින්දනයක් සමග දෙස් විදෙස් තොරතුරුවලින් දැනුවත් කිරීම සඳහා නිර්මාණාත්මක වැඩසටහන් සහ කලාව, සාහිත්‍යය හා සංගීත වැඩසටහන්වලින් මේ නාලිකාව සමන්විත වෙයි. සිංහල මෙන්ම ඉංගී‍්‍රසි හා දමිළ භාෂාවන්වලින් ද වැඩසටහන් විකාශය කෙරේ.

ටයිම් රේඩියෝව ආරම්භ කිරීමෙන් පසුව විකාශය වූ පළමු ගීතය ගායනා කළේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ශිල්පීන් ය. ඔවුන් විසින් ගායනා කරනු ලැබුවේ අරිසෙන් අහුබුදු සූරීන් විසින් ලියා සුනිල් ශාන්ත ඇතුළු පිරිස විසින් ගායනා කරන ලද “දකුණ නැගෙනහිර” ගීතයයි.

මෙහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්‍ෂ මහතා, ගම්බද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගමට පමණක් සීමා වී ඔවුන්ගේ දස්කම්වලට නගරය තුළත් රට තුළත් මාධ්‍ය ආවරණයක් නොතිබීම ක්‍රීඩාවේ පසුබැසීමට හේතු වී තිබෙන බවත් ටයිම් රේඩියෝව ඒ අඩුපාඩුව සපුරාලනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් කීය.

ක්‍රීඩාව යනු දේශපාලනය නොවන අතරම දේශපාලනය ක්‍රීඩාවක් ද නොවන බව ප්‍රකාශ කළ නාමල් රාජපක්‍ෂ මහතා, දේශපාලනය ක්‍රීඩාවෙන් ඈත්විය යුතු බව කියා සිටියේ ය.

මෙරට කම්කරුවන්, ගොවීන් හා ධීවරයන් මෙන්ම ඈත පිටිසර ජනතාව තවමත් කතා කරන්නේ ගුවන් විදුලි සංස්ථාව ගැන බවද ඒ මහතා මතක් කර දුන්නේ ය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා කතා කරමින්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්්ථාව ‘ජාතික ගුවන් විදුලි සේවය’ කියා නම් කළේ මෙරට ජනතාව මිස කිසිම අමාත්‍යාංශයක් විසින් නොවන බව පෙන්වා දුන්නේ ය. ‘ටයිම් රේඩියෝව’ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලට වෙලාවට වැඩ කරන එකක් වේවායි තමා ප්‍රාර්ථනා කරන බවද ගනේගල මහතා කීය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ හා ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම් හා ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ හිටපු සභාපති, ශ්‍රී ලංකා රගර් ක්‍රීඩක බ්‍රිගේඩියර් (විශ්‍රාමික) ජේ. පී. ඒ. ජයවර්ධන යන මහත්වරු ද මෙහිදී කතා කළහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම “මල්පිට මල්...” නමැති යෞවනයේ ගීතය ගායනා කළේය.

ජනමාධ්‍ය හා ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද සුබ පැතුම් මෙහිදී ඉදිරිපත් කෙරිණි. ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා සිංහල මෙන්ම දමිළ භාෂාවෙන් ද ‘ටයිම් රේඩියෝව‘ ට සුබ පැතුවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා