විලාප දුන් අයියාටත් ‘සඳුන්’ මන්නයෙන් කෙටුවා

 අක්කා ලේ විලක් මැද වැටී සිටියා:

විලාප දුන් අයියාටත් ‘සඳුන්’ මන්නයෙන් කෙටුවා

ආරවුලට හේතුව ඉඩම් ප්‍රශ්නයක්

”සඳුනා අක්කාට කෙටුවා යි ජයතිලක අයියා මර හඬින් විලාප දෙනවා ඇසුණු මම ඒ පැත්තට දුවගෙන ගියා” යැයි වේයන්ගොඩ මැදවත්තේ පදිංචිව සිටි කොන්ගංගේ ක්ලැරිස් නමැති 49 හැවිරිදි කාන්තාව මන්නයකින් කොටා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව ගම්පහ රෝහලේ පැවති අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයේදී සාක්කි දුන් කෝන්ගස්දෙණියගේ ප්‍රේමතිලක යන අය පැවසීය.

අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු බී. ඩී. ආර්. සිසිර කුමාර මහතාගේ නියෝගය පරිදි ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද විජේවික්‍රම මහතා විසින් මෙම වෛද්‍ය පරීක්‍ෂණය පැවැත්විණි.

වේයන්ගොඩ පොලිසියේ සැරයන් (19087) පද්මසිරි මහතාගේ මෙහෙයවීම මත තවදුරටත් සාක්කි දුන් ප්‍රේමතිලක යන අය මෙසේ ද පැවසීය.

සිද්ධිය වුණු දවසේ රාත්‍රී 9 ට විතර මම මැදවත්තේ මගේ නිවසට ඇවිත් රෑ දහය පමණ වනතුරු කතා කරමින් හිටියා. එසේ කතා කරමින් සිටින විටයි ජයතිලක අයියාගේ විලාපය ඇසුණේ. මම ඒ පැත්තට දුවගෙන ගොස් ගෙට ඇතුල් වන විට සඳුන් ජයතිලක අයියාට මන්නයකින් කොටමින් සිටියා. මම එකපාරට පැනලා මන්නය උදුරා ගත්තා. ඒ අතර අක්කා, ක්ලැරිස් ලේ විලක් මැද වැටී සිටිනවා දැක්කා. ඒ අතරතුර මගේ අනික් සහෝදරයා ද එතැනට දුවගෙන ඇවිත් සඳුන්ව අල්ලා ගත්තා. එතැනට ආව අයගේ උදව් ඇතිව අයියාව වතුපිටිවල රෝහලට ගෙන ගියා. සඳුන්ව පොලිසියට භාර දුන්නා.

කෝන්ගස්දෙණියගේ රණසිංහ යන අය සාක්කි දෙමින් මෙසේ පැවසීය.

මියගොස් සිටින්නේ මගේ සහෝදරයාගේ බිරිඳයි. මේ අපරාධය සිදුකළ සඳුන් සහ මියගිය අක්කා අතර ඉඩම් ප්‍රශ්නයක් තිබුණා. සඳුන් මැදවත්ත ගමෙන් කසාදයක් කරගෙන එහි තාවකාලිකව පදිංචි වී ඉන්නවා. ඔහුගේ ගම රාගම. අපිව ඔහුට සඳුන් කියා කීවත් ඔහුගෙ නියම නම අජිත් නිශාන්ත ඇන්ටනි. ජයතිලක අයියා කෑගසන සද්දය ඇසී මම එහි යන විටත් සඳුන් මන්නය අතේ තියාගෙන තර්ජනය කරමින් හිටියා.

මම ඔහුව අල්ලා ගත්තා. පසුව මන්නයත් සමඟ පොලිසියට භාර දුන්නා. තුවාලකරු රෝහල් ගතකිරීමටත් කටයුතු කළා. පොලිසිය ඇවිත් ඉදිරි කටයුතු කළා.

හිසට සහ ගෙල පෙදෙසට සිදු වී ඇති දරුණු කැපුම් තුවාල හේතුකොටගෙන ඇතිවූ අධික රුධිර වහනය නිසා එම කාන්තාවගේ මරණය සිදු වී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද විජේවික්‍රම මහතා නිගමනය කෙළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා