119 නවීකරණය වෙයි

119 නවීකරණය වෙයි

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් ඊයේ (19) මිරිහාන පොලිස්පති අණදෙන මැදිරි හා තොරතුරු කොට්ඨාශ 119 මධ්‍යස්ථානයේදී 119 ට ලැබුණු හදිසි ඇමතුමකට සවන් දෙන අයුරු .

ඡායාරූපය- සමන් ශ්‍රී වෙදගේ

119 පොලිස් හදිසි ඇමතුම් සේවය නවීකරණය කොට ඊයේ සිට ක්‍රියාත්මක විය.

එය පොලිස්පති ඉලංගකෝන් මහතා සුබ මොහොතින් ආරම්භ කළේ ය. මුල්ම ඇමතුම ලැබුණේ තරුණියකගෙනි. ඇයගේ පැමිණිල්ල වූයේ “අම්මා මට ගහනවා - මාව මරන්න හදනවා” යන්නයි.

වැලිවේරිය පොලිස් බල ප්‍රදේශයෙන් ලැබුණ එම පැමිණිල්ල ගැන වහාම ක්‍රියාත්මක වූ පොලිස්පතිතුමා සිද්ධිය වූ ස්ථානයට පොලිස් නිලධාරීන් යැවීය.

පැය භාගයක් ඇතුළත වාර්තාවක් ලබා දීමටද නියෝග ලැබුණි.

සමස්ත දිවයිනේම පොලිස් හදිසි පැමිණිලි ගලා එන එකම ස්ථානය වූ 119 තිබූ තත්ත්වයට වඩා සැම අතින්ම වැඩිදියුණු කර ඊයේ (19) යළි විවෘත කෙරුණි. මෙතෙක් කාලයක් ඒ සඳහා තිබුණේ දුරකතන 10 ක් පමණි. නවීකරණය කිරීමෙන් පසු දුරකතන 20ක් සමඟ තාක්ෂණික පහසුකම් රැසක් ඊට ලබා දී තිබේ.

එම විවෘත කිරීමත් සමඟ තත්පර කීපයක් ඇතුළත දුරකතන විස්සටම පැමිණිලි ගලා එන්නට විය. කින්නියා, යක්කලමුල්ල , කඹුරුපිටිය, වැලිවේරිය, අහංගම ඇතුළු ප්‍රදේශ ගණනාවකින් පැමිණිලි ලැබුණි. හොරෙන් ගස් කැපීමත්, කසිප්පු පෙරීමත් සහ ගැටුම් කීපයක් එම පැමිණිලි අතර වෙයි. ඊයේ දෙවෙනි අදියරට මෙසේ වැඩි දියුණු කළද ඉදිරියේ දී තවත් වැඩි දියුණු කිරීමටත් ප්‍රාදේශීය වශයෙන් 119 ඇමතුම් මධ්‍යස්ථාන පිහිටවීමටත් තීරණය කර ඇති බව පොලිස්පතිවරයා සඳහන් කළේ ය. 119 ඇමතුම් ඒකකයට දිනකට පැමිණිලි දහසකට වැඩි ප්‍රමාණයක් ලැබෙන බවත් අනාවරණය විය.

ඒ සෑම එකක් සම්බන්ධවම පියවර ගැනීම සඳහා සැම පොලිසියක්ම සූදානමින් සිටිය යුතුයි. 119 ලැබුණු පැමිණිල්ලක් අදාළ ප්‍රදේශයේ පොලිසියට දැනුම් දීමෙන් පසු එම පොලීසිය විසින් අදාළ පියවර නොගත්තොත් එම පොලිස් ස්ථානයේ නිලධාරින්ට එරෙහිව විනයානුකූල පියවර ගැනේ. මිරිහානේ දී පැවැති එම විවෘත කිරීමේ උත්සවයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ගාමිනී නවරත්න, නන්දන මුණසිංහ ඇතුළු පොලිස් නිලධාරිහු රැසක් සහභාගි වී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා