කිසිම ආගමක වැරැදි දේවල් කරන්න කියලා නෑ

කිසිම ආගමක වැරැදි දේවල් කරන්න කියලා නෑ

උඩුමුල්ලේ සරණපාල හිමි

නාරාහේන්පිට සමාධි විහාරයේ සහ ආධ්‍යාත්මික සංවර්ධන මධ්‍යස්ථානයේ විහාරාධිපති

* දිනෙන් දින රට තුළ මහා අපරාධ රැල්ලක් ඇති වෙලා. සමාජය තුළ මෙවැනි අපරාධ මානසිකත්වයක් ගොඩනැඟෙන්න හේතු මොනවද හාමුදුරුවනේ?

පළමු කාරණය තමයි මූලිකව ම කෙනෙක් මිනිස් ජීවිතයක ඇති වටිනාකම තේරුම් නොගැනීම. මිනිස් ජීවිතයකට පුදුම වටිනාකමක් තිබෙනවා. එය ඉතා ම දුර්ලභ ගණයේ දෙයක්. හරියට මිනිස් ආත්මයක් ලබන්නෙ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ ඉතා ම දුර්ලභ අවස්ථාවක් හැටියටයි බුදු දහමේ පෙන්වලා දී තිබෙන්නෙ. අනෙක තමයි, ආරය. ආරය කියන්නෙ තමන්ගෙ පවුලේ පසුබිම. ඊටත් වඩා බලපාන්නෙ යමෙක් හැදෙන වැඩෙන පරිසරය. මුදල ප්‍රධාන වීම.

පුද්ගල හැකියා දක්ෂතා පවා මුදල හමුවේ යටපත් වන සමාජ ක්‍රමයක අපරාධ වැඩියි. පහසු ජීවන ක්‍රමයක් නොමැති වීමත් අපරාධවලට මඟ පාදන්නක් වෙනවා. තමන් තුළ ඇති හැකියාවන් තුළින් ජීවන මඟ හදාගන්නට වෑයම් නොකර කෙටි මාර්ගවලින් වඩා ඉක්මනට ධනවත් වෙන්න කරන උපක්‍රමවල දී අපරාධ සිද්ධ වෙනවා.

* පුද්ගල වටිනාකම නොතකන සමාජයක අපරාධ වැඩි බවයි ඔබවහන්සේ කියන්නෙ. එහෙම නම් පුද්ගල වටිනාකම සලකන සමාජ පරිසරයක් නිර්මාණය කරන්නෙ කොහොමද?

ඇත්ත වශයෙන් ම කරන්න තිබෙන්නෙ සරල ජීවන පැවැත්මක් මුල සිට ම හුරු පුරුදු කරන එක. ආශාවන් පසුපස ගිහින් ඉක්මනින් මුදල් හම්බ කරගෙන ධනවත් වීමේ තරගකාරී සමාජ පසුබිමක් මේ ධනවාදී ආර්ථික ක්‍රමය තුළ තිබෙනවා. මිනිසුන් ආධ්‍යාත්මික වශයෙන් පිරිහිලා. ඔවුන් තව කෙනෙකුට තමන් අභිභවා යන්නට ඉඩ දෙන්නෙ නැහැ. මේ තුළ තිබෙන්නෙ මිනිසුන්ගෙ ආධ්‍යාත්මික පසුබිමේ වැරැද්ද. ඒ නිසා මිනිසා ආධ්‍යාත්මිත වශයෙන් පොහොසත් කළ යුතුයි.

* මිනිස් ජීවිතයක වටිනාකම මේ සමාජය තේරුම් නොගන්නෙ ඇයි හාමුදුරුවනේ

ඒක තමයි මෙහි තිබෙන වැදගත්ම කාරණය. බුදු දහමේ එය දක්වා තියෙන්නෙ “කිච්ඡං මච්චාන ජීවිතං” ඒ කියන්නෙ මිනිසකු ගේ ජීවිත කොයි වගේ වෙන්න ඕනෑ ද කියන කාරණය. අපි කරන්නෙ කුමක් ද? කළ යුත්තේ කුමක්ද මේ මනුෂ්‍ය ජීවිතය තුළට ඇතුළුවෙලා. මෙන්න මේ දේ හරියට තේරුම් ගත්තා නම් කෙනෙක් තව කෙනෙකුට තියා තමන්ටවත් අවැඩක් සිද්ධ වන කිසිම අවක්‍රියාවක් කරන්නෙ නැහැ.

සිත කය වචනය කියන තුන් දොරහි ම පැවැත්ම හොඳ කරගන්න ඕනෑ. එහෙම කෙනාට තමයි තවත් කෙනෙකුට ආදරය කරන්න පුළුවන් වෙන්නෙ. තමන්ගෙ සිතුවිලි හොඳ වෙන්න ඕනෑ. තමන් කරන දේ යහපත් වෙන්න ඕනෑ. තමන් කියන දේවලින් තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන්න ඕනෑ.

* සමාජයේ අපරාධ රැල්ල කොතරම්ද කියනවා නම් භික්ෂුන් වහන්සේලා දෙනමක් පවා මෙයට බිලි වුණා. එයට පාදක වුණේ මුදල්. භික්ෂුන් වහන්සේලා මුදල් පසුපස හඹායාමක් සිදු නොවුනා නම් මේ අපරාධය සිදු නොවන්න තිබුණා නේද?

මෙවැනි ආර්ථික පරිසරයක් තුළ පූජ්‍ය පූජක පක්ෂයට මුදල් අවශ්‍ය වෙනවා. මා හිතන්නේ උන්වහන්සේ ළඟ තිබුණ කිසියම් මුදලක් පැහැර ගැනීමේ චේතනාවෙන් ගිහින් එය වැරදී ගිය තැන ඝාතනයන් සිදුවෙන්න ඇති. නමුත් අද කාලයේ හැටියට එය විශාල මුදලක් නෙවෙයි. තමන් අත රැඳෙන මුදලක්.

අනෙක උන්වහන්සේ රට රටවල ධර්ම ප්‍රචාරය සඳහා වැඩිය හිමිනමක් තමන් ළඟ මුදලක් තිබුණ නම් ඒවා යෙද වූයේ අනුන්ගේ යහපතට. සාසනය දියුණු කරන්න. බුදුදහම ආරක්ෂා කරන්න. ඒ නිසා භික්ෂුන් මුදල් පසුපස හඹා යාම කියන කරුණ පිළිබඳ මෙහිදී සලකා බැලීමක් සිදු වෙන්නෙ නැහැ උන්වහන්සේ සම්බන්ධයෙන්. බොහොම හොඳ අවබෝධයකින් සිය ජිවිතය ගත කරපු හිමිනමක් උන්වහන්සේ.

* අපරාධ රැල්ලට තුඩුදෙන මේ සමාජ පසුබිම වෙනස් කරන්නෙ කොහොමද?

සමාජයේ ඕනෑ ම පුද්ගලයකුට ආගමක් තියෙනවා. බෞද්ධ වෙන්න පුළුවන් කතෝලික වෙන්න පුළුවන් මුස්ලිම් හින්දු බැතුමතුන් වෙන්න පුළුවන් කවුරු හෝ වේවා තමන්ගේ ආගමට හුරු වූ පැවැත්මක් ඇති කර ගත යුතුම යි. කොයි ආගමකවත් කියල නැහැ වැරදි දේ කරන්න කියලා. වැරැද්දක් කළොත් එහි ආනිසංශ පෙන්වලා දීලා තියෙනවා.

ඒ නිසා ආගමානුකූල ජීවිතයකට හුරුවෙන්න ඕනෑ. ඒ එක්කම විශේෂයෙන් ම මවුපියන් දරුවන් ගේ ඒ ආගමානුකූල ජීවිතය අගය කරන්න ඕනෑ. ඔවුන්ට නිසි ගරුත්වයක් දෙන්න ඕනෑ. මෙහෙම පරිසරයක හැදුන දරුවෙකුගෙන් කවදාවත් සමාජ අයහපතක් සිදු වෙන්නෙ නැහැ.

අනෙක තමයි සිත කය වචනය කියන තුන් දොරින් සංවරවීම. ජීවන ප්‍රතිපදාවක් බවට පත් කරගන්න ඕනෑ. ප්‍රඥාවන්ත පුද්ගලයින් වෙන්න ඕනෑ. එවැනි මිනිසුන් ආධ්‍යාත්මිත වශයෙන් ඉතා පොහොසත්. සමාජය ඒ තැනට ගෙනියන්න එක දවසින් දෙකෙන් බැහැ. කාලයක් තිස්සේ හොඳ ඉවසීමකින් මේවාට හුරු පුරුදු වෙන්න ඕනෑ.

* අපරාධ රැල්ල මඩින්න නීති පද්ධතියක් තියෙනවා. මේ නීති පද්ධතිය ඔබවහන්සේ හිතන ආකාරයට බුදු දහමට අනුකූලද?

නීතිය තිබෙන්නෙ මිනිහෙක් නැති කරලා විනාශ කරන්න නොවේ.

සිද්ධ වෙච්ච වැරැද්ද ඔහුට තේරුම් ගන්ට ඉඩ සලස්සලා ඔහු නිවැරදි තැනට ගන්න තමයි නීතියක් තියෙන්නෙ. දහමයි නීතියයි කියන දේ එක් තැනක දී එකක් වෙන්න පුළුවන්. තවත් තැනක දී ඒක දෙකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක පටලවා ගන්න හොඳ නැහැ. පුද්ගල යහපත සඳහා තමයි දහමයි නීතියයි තියෙන්නෙ.

බුදුහාමුදුරුවෝ කවදාවත් නීතිය අභියෝගයට ලක් කරලා නැහැ. භික්ෂුන්ට උපදෙස් දුන්නා මිසක නීතිය ක්‍රියාත්මක කිරීමේ දී කවදාවත් බලපෑම් කරල නැහැ. මොකද පොදු යහපත උදෙසා නීතිය ක්‍රියාත්මක වීමේ දී එයට කවදාවත් බුදු දහම හරස් වෙලා නැහැ.

* හොඳයි, ඔබවහන්සේ සමාජයේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම සඳහා කැප වූ භික්ෂුවක්. ඔබවන්සේගේ ඒ කාර්යයයේ ස්වභාවය කොයි විදිය ද?

ඇත්තට ම පුද්ගලයෙකු ගේ ජීවන ගමනට මූලිකව ම බලපාන දෙයක් තමයි තමා හැදෙන වැඩෙන පරිසරය. ඔහු ඇසුරු කරන සමාජය. මේ සමාජය තුළ යම් පිරිසක් දුෂ්චරිතයේ යෙදෙනවා නම් ඉන් පහසුවෙන් ධනය රැස් කරනවා නම් ඔහු චන්ඩියෙක් කියල අන් අය ඔහුට ගරු බුහුමන් කරනවා නම් මේ පුද්ගලයා තමයි ඒ සමාජයේ වීරයා වන්නේ. මෙය දකින ඊළඟ පරම්පරාවත් ආදර්ශයට ගන්නෙ ඔහුයි.

ඒ නිසා එවැනි සමාජ පසුබිමක වැඩියෙන් පෝෂණය වන්නේ දුෂ්චරිතයන්. ඒ වගේ ම තමයි යහපත් සමාජ පසුබිමක තත්ත්වයත්. බොහෝ දුක් මහන්සියෙන් තමා තුළ ඇති පුද්ගල හැකියාවන් වර්ධනය කරගෙන ඒවා සමාජගත කරල ඒ තුළින් සමාජයෙ නමක් දිනාගෙන ප්‍රකට වෙච්ච පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ව වන්දනාමාන කරන පිරිසත් ආදර්ශයට ගන්නෙ මේ පුද්ගලයන්. නමුත් එවැනි සමාජ පසුබිමක් නිර්මාණය කිරීම පහසු දෙයක් නෙවේ.

ඒ නිසා එවැනි සමාජයක් ගොඩනැංවීමට බුදු දහමේ ඇති සංකල්ප මනෝ විද්‍යාවත් සමඟ ගලපල මිනිසුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය තුළින් යහපත් සමාජ පසුබිමක් ඇති කිරීමයි මගේ කාර්ය වන්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා