පාසල් කාලෙ මම ගුටි කන චරිතයක්

පාසල් කාලෙ මම ගුටි කන චරිතයක්

රෝහණ කුලසිරි

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති

නිතරම තම මවගේ ඇඟේ දැවටෙමින් වත්තේ පිටියේ ඇවිදින්නට ඔහු දැක්වූයේ විශේෂ කැමැත්තකි. වත්ත පහළ ඇති එළවළු පාත්තිය, අනෙක් පසින් ඇති කිරි පට්ටිය මේ කුඩා දරුවාට කදිම ආශ්වාදයක් ගෙන දුන්නේ ය. මවත් සමඟ එකතු වී එළවළු පැළ සිටුවීමට, පොහොර දැමීමට, ඒවායේ අස්වනු නෙළා ගැනීමට හේ මහත් කැමැත්තක් දැක්වීය. හය දෙනකුගෙන් යුත් පවුලේ කලබලකාරයා වූ ඔහුගේ ළමා කාලයේ දඩබ්බරකම්වලින් නම් අඩුවක් වූයේ නැත. නිතරම පාසලේදීත්, නිවසේදීත් ඇනුම් බැනුම්වලට ලක්වන්නේ කුමක් හෝ දඟ වැඩක් නිසාවෙනි.

මේ ආකාරයට ජීවිතයේ සුන්දර අවධිය පසු කළ ඔහු අද බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාය. නමින් රෝහණ කුලසිරි ය. ඔහුගේ අතීත මතක මෙසේ ගොනු කෙරේ.

“මම ඉපදුනේ 1953 මාර්තු 20 වැනිදා. හොරණ කනන්විල දී. ගම හොරණ මුනගම. තාත්ත ව්‍යාපාරිකයෙක්. ඔහුගේ නම බී. ඩී. සිරිසේන. අම්මා විදුහල්පතිවරියක්. මට ඉන්නවා අක්කෙක් සහ අයියයි, නංගියි, මල්ලියි. අක්කා ගුරුවරියක්. දැන් විශ්‍රාමිකයි. මම පවුලේ තුන්වෙනියා. අයියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්. දැන් විශ්‍රාමිකයි. ඔහු නිමල් කුලසිරි. මල්ලි පෞද්ගලික පාසල් දෙකක් කරගෙන යනවා. නංගි නම් ගෘහණියක්.

ඇත්තටම මගෙ කුඩා කාලය ගෙවුණේ ගමේ පරිසරයේ. මම පාසල් ගියේ හොරණ තක්ෂිලාවට. අපිට කුඹුරු තියනවා. අම්මගෙ ඉඩකඩම් තියනවා. මම කුඹුරු වැඩ කළා. මගෙ අම්මගෙ තාත්තත් ගොවියෙක්. අම්ම එක්ක තමයි වැඩිපුර කාලය ගතකළේ. පාසල් ගිහිල්ලා ආවම අම්මා එක්ක වත්තේ එළවළු හිටවනවා. විශේෂයෙන් අපේ අම්ම හරිම ආසයි වවන්න.

අනිත් එක අපේ ගෙදර කිරි පට්ටියක් තිබුණා. පවුලේ හයදෙනෙක්නෙ. මගෙ එක මල්ලි කෙනෙක් කුඩා කලෙයේදීම හදිසි අනතුරකින් මියගියා. එයා උපාලි ජිනේන්ද්‍ර කුලසිරි.

ඒ දවස්වල ගොඩක් සෙල්ලම් කරනවා වගේම ගෝරිත් දාගන්නවා. නමුත් මගෙ අයියා නිහඬ චරිතයක්. ඔහුගේ විනෝදාංශය බයිසිකල් රේස් පැදිල්ල. අපි පුංචි කාලේ තාත්තා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමඟ ඉතා සමීපව වැඩ කළා. අපිට සුවිප් ඒජන්සියක් තිබුණා. ඒක තිබුණේ හොරණ. තාත්ත, රැකියාවක් ලෙස කළේ මෝටර් රථ වෙළෙඳාම. අපි පුංචි කාලේ මුදල් අගහිඟකම් තිබුණත් දවසින් දවස අපිට මුදල්වලින් අපසුවක් වුණේ නෑ. මගෙ තාත්ත ටිකක් විනෝදකාමී පුද්ගලයෙක්. ඔහුයි කරුණාසේන ජයලතුයි එකට පාසල් ගිය අය. තාත්තාට හොඳින් ඉංගී‍්‍රසි කතා කරන්න පුළුවන්.

මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලාවෙන්. පසුව පහ ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා හොරණ තක්ෂිලා මහා විද්‍යාලයට ගියා. එහිදී ක්‍රීඩා කළා. කැඩෙට් කළා. ඇත්තටම කියනව නම් ගුටිකන චරිතයක් ඒ කාලේ. හරිම දඩබ්බරයි. පාසල් ගුරුවරුන්ගේ වාහනවල හුලං අරිනවා. ඒක අපිට හරිම විනෝදයක්.

පාසල් කාලය ගොඩක් විනෝදයි. යාළුවො පිරිලා. ගුරුවරු කීපදෙනෙක් මට හරිම ආදරෙයි. මම සාමාන්‍ය පෙළ කීප සැරයක් කළා. අවසන් වරට සමත් වුණේ ස්ටැෆඩ් විද්‍යාලයෙන්. ඇත්තටම සල්ලි අතගාපු මම අධ්‍යාපනය ගැන වැඩි උනන්දුවක් දැක්වූවේ නෑ. ව්‍යාපාර කටයුතු පිළිබඳවයි මට වැඩි හැඟීමක් තිබුණේ.

කොහොම හරි මම වාණිජ විෂයයන් හදාරල එහෙම්මම රැකියාවකට ගියා.

මගේ මුල්ම රැකියාව ඉන්ෆීරියල් මෝටර් ෆිනෑන්ස් කියන කොම්පැණියේ. ඒකෙ අයිතිකාරයා ජේ. පී. අයි. පියදාස මහතා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එවකට සිටි භාණ්ඩාගාරික. ඔහු මගේ පියාගේ මිතුරෙක්. හරියටම ඒ වකවානුව කියනව නම් 1970, 71 කාලයේ.

මංගල සේයාරුව

පවුලේ සේයාරුව

මිතුරන් සමඟ...

කාර් රේස් පදිමින්...

කලකට පෙර...

මම එතන වසරකට අඩු කාලයක් ලිපිකරු තනතුරක් කරමින් හිටියෙ. එවකට ශ්‍රී. ල. නි. ප. ට අයිති සිරිමාවෝ මැතිනිය පාලනය කළ අච්චු කන්තෝරුවක් තිබුණා මරදානෙ. “සිරිලක” පත්තරේ ගැහුවෙ එතැන. එහි බෙදාහැරීමේ කළමනාකරු ලෙස මම වැඩ භාරගත්තා. වැඩ වැඩි දවසට මම ප්‍රේස් එකේත් වැඩ කරනවා.

ඒකෙ හිටියා ලක්‍ෂ්මන් ලොකුමාන්න කියල මහත්මයෙක්. එතනදී තමයි මට දේශපාලන නායකයො හමුවුණේ. වත්මන් අගමැති දි. මු, ධර්මසිරි සේනානායක යන මහත්වරු මට නිතරම මුණගැසුණා. හැබැයි මට දේශපාලනය පිළිබඳව හැඟීමක් තිබුණෙ නෑ. නමුත් ඔවුන් කතා කරන දේ අහලා දේශපාලනය හොඳයි කියලා හිතුණා.

පස්සේ මම රත්නසිරි වික්‍රමනායක මහත්මයාට පක්‍ෂව 1977 මැතිවරණයට වැඩ කළා. එදා ශ්‍රී. ල. නි. ප. ආණ්ඩුව පැරදුනා. පසුව අපේ සුවිප් කූඩුවටත් ගිනි තිබ්බා. ඊට පස්සේ මම කොළඹට ඇවිල්ලා නැවතත් ගාමන්ට් ආයතනයක මැනේජර් කෙනෙකු ලෙස වැඩ කළා. පසුව 1979 මම විවාහ වුණා.

ඇය වෘත්තියෙන් ඉංජිනේරුවරියක්. මගේ මවුපියන්ගෙන්වත් මගේ බිරිඳගේ මවුපියන්ගෙන්වත් අපේ විවාහයට කිසිම බාධාවක් තිබුණේ නෑ. බිරිඳ සුජාතා වීරකෝන්. 1979 අපි විවාහ වෙලා හොරණ පදිංචියට ආවා. එවකට ඇය වැඩ කළේ ඉංජිනේරු සංස්ථාවේ. ඒ කාලය අතරතුර මාව ෆැක්ට්‍රියෙන් ජපානයට යැව්වා රෙදිපිළි වගයක් මිලදී ගන්න.

එහිදී මම හිටපු හෝටලයේ ටෙලිෆෝන් ඩිරෙක්ටරිය මම බෑග් එකේ දාගෙන ආවා. ඒ කාලේ ඉන්ටර්නෙට් තිබුණේ නෑ. ෆැක්ස් තිබුණෙත් නෑ. ටෙලෙක්ස් තිබුණා. ඒ නොම්මර අරගෙන මම ටොයොටා කොරොල්ලා කාරෙකක් ගෙනාවා. එදා සිට අද දක්වා මම ටික ටික වාහන ආනයන කටයුතුත් කරනවා. 80’ දශකයේ මංගල මුණසිංහ මහත්තයාට ශ්‍රී. ල. නි. ප. හොරණ ආසන සංවිධායක ධුරය ලැබුණා. එතන සිට තමයි මගේ දේශපාලන ජීවිතය ආරම්භ වුණේ.

ඔහුත් සමඟ ප්‍රධාන පෙළේ ආධාරකරුවෙක් ලෙස මම වැඩ කළා. ඒ අතරතුර 1981 අපිට පළවෙනි පුතා ලැබුණා. ඔහු උත්පල දිව්පති කුලසිරි. අපේ පවුලට අලුතින්ම ආපු අමුත්තා.

ඒ කාලෙ පක්‍ෂ සංවිධාන කටයුතු සඳහා මධ්‍යම සංවිධානයක් පිහිටුවීමට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එනවා කියලා තිබුණා. එතුමා එදා මාත් එක්ක කතා කළා. අපේ ගෙදරට ආවා. අපට උපදෙස් දුන්නා. පක්‍ෂ සංවිධානය පිහිටෙව්වා. මම උපසභාපති වුණා. එදා සිට අද දක්වා දේශපාලනය කරනවා.

1983 වන විට මම කොළඹ උද්‍යාන පාරේ ගෙයක් ගත්තා. මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා ඔය අතරතුර අපට 1985 දුව හම්බ වුණා. එයා සුදීරා සශිකලා කුලසිරි. දරු සුරතල් මධ්‍යයේ මම ගොඩක් සතුටින් ජීවත් වුණා. නොයෙකුත් ව්‍යාපාර කළා.

ඇත්තටම මගේ තරුණ කාලේ, ඒ කියන්නේ මට වයස අවුරුදු 20 විතර කාලේ මට යාළුවො ගොඩාක් හිටියා. අනවශ්‍ය දේවල්වලට ගිහිල්ලා පොලිසියෙ උසාවි ගානෙත් රස්තියාදු වෙන්න වුණා. ඒවායින් ජීවිතයට හොඳ පාඩම් ඉගෙන ගත්තා.

1985 කාලේ ඉඳලා අනුර බණ්ඩාරනායක මන්ත්‍රීතුමා මැරෙනතුරුම ළඟින්ම ආශ්‍රය කළා. ඒ කාලේ තමයි මට මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, රාජිත සේනාරත්න, මර්වින් සිල්වා, ප්‍රදීප් හපන්ගම, පාලිත සමරසිංහ වැනි අය ළඟින් ඇසුරු කරන්න ලැබුණා.

ඒ වගේම ජනාධිපතිතුමාගේ පාද යාත්‍රා, ජන ඝෝෂා වැනි සියලු වැඩසටහන්වලට සහභාගි වුණා. කැපවීමෙන් වැඩ කළා. 1994 චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව ආවාට පසු 1997 පළාත් පාලන මැතිවරණයෙන් මා ජයග්‍රහණය කර හොරණ නගර සභාවේ සභාපති ධුරයට පත් වුණා. ඒ සඳහා රත්නසිරි වික්‍රමනායක මහතා මට ගොඩක් උදව් කළා. ඔහුගේ සහයෝගයෙන් තමයි හොරණ නගර සභාව හා ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළේ. අවුරුදු 52 කට පසු හොරණ නගර සභාව වාමාංශික දේශපාලනයට ගත්තේ මමයි. සභාපති ධුරයේ වසර 5 ක් ගත කළා. පස්සේ විපක්‍ෂ නායක වුණා. පසුගිය මැතිවරණයට සහභාගි වෙලා ඡන්ද 21 කින් පැරදුනා. නමුත් මට දුකක් නෑ. එයින් මම දේශපාලන කටයුතු අතහැර නෑ.

අපි කොළඹ උද්‍යාන පාරේ පදිංචිවෙලා හිටපු කාලේ මගේ පුතා කොළඹ රාජකීය විද්‍යාලයට පාසල් ගියා. දුව විශාඛා විද්‍යාලයට ගියා. දරුවො ඉගෙනීමට දක්‍ෂයි. පුතා 5 ශිෂ්‍යත්වය සමත් වෙලා රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක් වෙලා හිටියා. දැන් ඔහු නවසීලන්තයේ පදිංචි වී සිටිනවා. ඔහු නවසීලන්ත ටෙලිකොම් ආයතනයේ සේවය කරනවා. ඔහු තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධරයෙක්.

දියණිය නවසීලන්තයේ වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ඇය හැදෑරුවේ මානසික විද්‍යාව. දැනට ඇය එංගලන්තයේ රෝහලක සේවය කරනවා. ඇය විවාහකයි. මම ළඟදීම සීයා කෙනෙක් වෙන්නයි යන්නේ.

දරුවන්ට අපි ඉගෙනීමට කිසිම බලපෑමක් කරලා නෑ. ඔවුන් ඉගෙන ගත්ත ක්ෂේත්‍රයේ ඔවුන් විසින්ම තෝරා ගත්තා. දැන් දරුවන්ගෙන් මම නිදහස්. දරුවො ගැන මට සතුටුයි.

1980 ගණන්වල ගෙදරට හොරෙන් අවුරුදු හතරක් විතර කාර් රේස් ගියා. රත්මලානේ, කටුකුරුන්දේ, නුවරඑළිය, මහගස්තොට ආදී ප්‍රදේශවල රේස් කළා. ජයග්‍රහණත් කරලා තියනවා. හිතුණොත් ආයෙමත් රේස් දුවනවා. පරණ කාර් හදලා තියාගන්නවා. ඒක මගේ විනෝදාංශයක්. සමහර වාහනවලට පිටරටින් හරි කෑලි ගෙනල්ලා හදනවා.

විවේකය ලැබෙන හැම මොහොතකම ආගමික වැඩසටහන්වලට සහභාගි වෙනවා. හොරණ පූර්වාරාම විහාරස්ථානය හොරණ රජමහා විහාරය මම නිතරම යන පන්සල්.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබුවත් මම දියුණු වෙන්නේ කොහොමද, මුදල් හම්බ කරන්නේ කොහොමද, සමාජයේ ජීවත්වෙන්නේ කොහොමද කියලා මම දන්නවා. පොඩි මිනිහාගේ දුක මම හොඳින් හඳුනනවා.

දැන්නම් මට විවේකය අඩුයි. සතියේ දින 5 ම කන්තෝරුවේ නෑ, සයිට්වල වැඩ. සෙනසුරාදා ඉරිදා හොරණ ගිහිල්ලා දේශපාලනය හා අනෙකුත් වැඩ කටයුතු කරනවා. දැන් මම පදිංචි කොළඹ 05. නෝනයි මමයි විතරයි ගෙදර ඉන්නේ. දරුවො විදේශගත වෙලා. පුළුවන් වෙලාවට දරුවො බලන්න යනවා.

අපේ පවුලේ සහෝදරයෝ හරිම සමඟියි. දේපළවලට, මුදල්වලට අපි කිසිම දිනෙක විරසක වෙලා නෑ. අපේ අම්ම තාත්ත වෙනුවට අයිය, අක්කා, මායි, මල්ලියි, නංගියි ගැන හොයලා බලනවා.

මම විශේෂයෙන් අක්කගෙ මහත්තයාව මතක් කරන්න ඕනේ. ඔහු නමින් සඳසිරි. ඔහු ගුරුවරයෙක්. ඉතා නිහතමානී පුද්ගලයෙක්. ඔහුට අපි හැමෝම ආදරෙයි.

මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. මට පුළුවන් තරම් කල් ව්‍යාපාර කටයුතු කරනවා. සතුටින් ඉන්න තමයි මම නිතරම උත්සාහ කරන්නේ. මම අදහන එකම දෙවියන් මගේ අම්මා. අපට නිවැරැදි මාර්ගය කියා දුන් මවුපියො මම නිතරම සිහි කරනවා.

මේ පොළොවට යටවන්න කලින් මේ රටට සේවයක් කරලා කාටවත් කරදරයක් නැතිව ජීවත්වීම තමයි මගේ අරමුණ.

සමාජයට දෙන්න පුළුවන් ලොකුම අවවාදය ජාතීන් කිහිපයක් ඉන්න මේ රටේ අප මුලින්ම කළ යුත්තේ මේ රටට ආදරය කිරීමයි. මේ ජාතීන් සියල්ලටම මේ රට අයිතියි. ඒ නිසා මුලින්ම රට ගැන සිතා වැඩ කරමින් පසුව තමා ගැන සිතන්න ඕනෙ. මේ රට අපිට සම්පතක්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා