භික්ෂු වත් පිළිවෙත් පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක්

මොනරාගල පිරිවෙන් සාමනේර හිමිවරුන්

භික්ෂු වත් පිළිවෙත් පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක්

2600 වැනි සම්බුද්ධ ජයන්තිය නිමිති කර ගෙන මොනරාගල දිස්ති‍්‍රක්කයේ විහාරස්ථානවල හා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන කුඩා සාමනේරයන් වහන්සේලාට භික්ෂූත්වයේ වැදගත්කම හා එය ආරක්ෂා කිරීමේ වත් පිළිවෙත් පිළිබඳ අවබෝධය ලබාදීමේ ප්‍රවර්ධන වැඩසටහනක් මොනරාගල සිරි සම්බෝධි විහාරස්ථානයේ දී දින දෙකක් තිස්සේ පැවැත්විණි.

සාමනේර භික්ෂු ප්‍රවර්ධන වැඩසටහනේ දී “භික්ෂු වත් පිළිවෙත්” පිළිබඳ ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක කන්දඋඩපංගුවේ සුධම්ම නාහිමියන් විසින් දේශනය පවත්වනු ලැබූ අවස්ථාව. ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වූ සාමනේර භික්ෂූන් පිරිසෙන් කොටසක්ද මෙහි වෙති. ඡායාරූපය-මොනරාගල සමූහ

මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල වෙනුවෙන් එහි ලේඛකාධිකාරි වැලියාය සිරි පියරතන විද්‍යායතන පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති බුද්දම නන්දසාර හිමියන් විසින් මේ වැඩසටහන සංවිධානය කැරිණි.

භික්ෂු ආකල්ප කෙසේ විය යුතුද ? භික්ෂූන් වහන්සේගේ වත් පිළිවෙත් සහ ඒවා ආරක්ෂා කර ගැනීම, භෞතික සම්පත් කළමනාකරණය, භික්ෂූන්ගේ අනාගත නායකත්ව ලක්ෂණ, සාමනේරුවරුන්ට ධර්ම දේශනා හුරු කිරීම, පිරිත් දේශනා හුරු කිරීම, බෝධිපූජා හුරුව, භාවනා කිරීමේ ප්‍රායෝගික විධි, ආදී කරුණු පිළිබඳ එහිදී සාමනේර භික්ෂූන් වහන්සේට අවබෝධය හා දැනීම ලබාදුනි.

ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක වැලියාය සිරි පියරතන විද්‍යායතන පිරිවෙණේ කෘත්‍යාධිකාරී, කන්ද උඩපංගුවේ සුධම්ම, මොනරාගල දිස්ත්‍රික් ප්‍රධාන අධිකරණ සංඝනායක වෑකුඹුරේ දේවානන්ද, වැලියාය සිරි පියරතන විද්‍යායතන පිරිවෙන් පති කලුගල රතනපාල, කුඹුකන ශ්‍රී ගංගාරාමාධිපති ශාස්ත්‍රපති ඔක්කම්පිටියේ පඤ්ඤානන්ද, ඌව බින්තැන්න මඩකළපු තෙපළාතේ උප ප්‍රධාන සංඝනායක කෙසෙල්වත්තේ විමලතිස්ස, තැරෑල ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආචාර්ය වැවතැන්නේ වංශානන්ද, මොණරාගල සම්බෝධි විහාරාධිපති හුලංදාවේ චන්ද්‍රසිරි, කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කොටියාගල උපරතන හිමිවරු එහිදී දේශන පැවැත්වූහ.

මොනරාගල දිස්ත්‍රික්කයේ විහාරස්ථානවලින් හා පිරිවෙන්වලින් තෝරා ගත් සාමනේර භික්ෂූන් වහන්සේ පනස්පස් නමක් මෙයට සහභාගි වූහ. මෙවැනි සාමනේර භික්ෂු ප්‍රවර්ධන වැඩසටහනක් මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා