කුරුවිට ප්‍රාදේශීය ආයුර්වේද සංරක්‍ෂණ මණ්ඩලයට රැස්වීම් පැවැත්වීමටවත් තැනක් නෑ

කුරුවිට ප්‍රාදේශීය ආයුර්වේද සංරක්‍ෂණ මණ්ඩලයට රැස්වීම් පැවැත්වීමටවත් තැනක් නෑ

රැස්වීම් තියන්නේ අනුන්ගේ ගෙවල්වල: අවුරුදු 20ක් කෙඳිරිගා ලබාගත් පර්චස් 6ත් නිරවුල් නෑ

අභාවයට යමින් පවතින පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය මතු පරපුරට රැකදීම සඳහා මහත් වෙහෙසක් දරන කුරුවිට ප්‍රාදේශීය ආයුර්වේද සංරක්‍ෂණ මණ්ඩලයට රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම සාමාජිකයන්ගේ අදහසයි.

තම පෞද්ගලික ශ්‍රමය – ධනය කැප කරමින් මේ සද්කාර්යයට උරදෙන වෙදැදුරන්ට රැස්වීමටවත් තැනක් නැත. අනුන්ගේ ගෙවල්වල රැස්වීම් පවත්වමින්, වසර දහස් ගණනක් පැරැණි වූ අපේ උරුමයන් රැකගැනීමට ඔවුන් දරන උත්සාහය පැසසිය යුතුය.

මේ පිළිබඳව වෙදැදුරන් කීපදෙනකු දැක්වූ අදහස් මෙසේය.

ආයුර්වේද සංරක්‍ෂණ මණ්ඩලයේ සභාපති ඩී. කේ. වික්‍රමසිංහ මහතා -

අපි 1984 සිට රැස්වෙන්නේ අනුන්ගේ ගෙවල්වලයි. අද සිටින්නේ වෙද පරම්පරාවල අවසාන පුරුකයි. වෙද මහත්වරුන්ට රැස්වී සාකච්ඡා කිරීමට, සායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට, පැරැණි පොත්පත් සංරක්‍ෂණය කර පුස්තකාලයක් පවත්වාගෙන යාමට, ඖෂධ නිෂ්පාදනයට, බෙහෙත් අලෙවිසලක් පවත්වාගෙන යාමට සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙස අවුරුදු 20 ක් විතර ඉල්ලීම් කළා. 2006 දී පර්චස් 06 ක් ලැබුණා. එයත් තවම නිරවුල් නෑ.

සර්වාංග වෛද්‍ය එන්. පී. පියදාස මහතා - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 තුළම පිහිටුවා ඇති ආයුර්වේද සංරක්‍ෂණ මණ්ඩලවල ක්‍රියාකාරීත්වය අතරින් පළමු තැනක් අපට ලැබුණා.

අඩුපාඩු අතින් ද අප පෙරමුණේ සිටින්නේ. හෙළ වෙදකම ඉගෙන ගත්තාට වැඩක් නෑ කියන මතය දරන පිරිස වැඩියි. ආකල්පමය වෙනසක් ද ඇතිකළ යුතුයි.

ඊ. කේ. මාටින් සිංඤෝ මහතා - වසර 50 ක සිට වෙදකමේ නිරතවන මා සෙංගමාල වෙදකම කරන 3 වන පරම්පරාවේ අයෙක්. මේ වන විට රෝගීන් 15000 කට අධික ප්‍රමාණයකට ප්‍රතිකාර කර තිබෙනවා. මා දරුවකුට වෙදකම හුරුකරනවා.

දයාවතී පියසීලි මහත්මිය - අපි බෙහෙත් කරන්නේ මුදල් බලාපොරොත්තුවෙන් නොවෙයි.

රෝහල්වලින් සුවකිරීමට නොහැකි බව පැවසූ රෝගීන් ද අප සුවකර තිබෙනවා. හැඳ සිටින වස්ත්‍රව අනුව, එහි පාට අනුව, ගමන් විලාසය, පහන් දැල්ලේ දැලි ගණන, දිශා අනුව, දෂ්ට කළ සර්පයා හඳුනා ගැනීමට පුළුවන්.

එම්. ජී. සේනානායක වෙද මහතා පවසන්නේ මෙම වටිනා උරුමය මතු පරපුර උදෙසා රැකගැනීමට දැනෙන වැඩපිළිවෙළක් සැකසිය යුතු බවකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා