බස් රියට ගොඩවූ ගැබිනි කත නොදැක්කා සේ මගීන් ඉඳලා

බස් රියට ගොඩවූ ගැබිනි කත නොදැක්කා සේ මගීන් ඉඳලා

අසුන පිරිනමා ඇත්තේ භික්ෂුවක්

හෝමාගම සිට පිටකොටුව දක්වා ධාවනය කරන පෞද්ගලික බස්රථයකි. මෙදින රාජකාරි දිනයක්ද වූයෙන් හෝමාගම බස්නැවතුම්පළේදීම බස්රථය මගීන්ගෙන් පිරී තිබුණි.

රියැදුරු සුපුරුදු පරිදි සෑම බස් නැවතුමකම බස්රථය නතර කෙළේය. කොන්දොස්තර කොට්ටාව , මහරගම, නුගේගොඩ, කොටුව, පිටකොටුව කියමින් අතරමඟ බහින අයගෙන් අඩුවන මගීන් වෙනුවට තව තවත් මගීන් පටවා ගත්තේය.

කොට්ටාව නගරයෙන් බස්රථයට තරුණ භික්ෂූන් වහන්සේ නමක්ද ගොඩවිය.

පූජ්‍ය පක්ෂය සඳහා වෙන්කර ඇති ආසනයේ වාඩිවී සිටිය මගියෙකු වහා අසුනින් නැගිට භික්ෂුවට ආසනය ලබාදී සිටගත්තේය.

බස්රථය මහරගම ගුරු විදුහල අසල නැවතුමේ නැවැත්වූවිට ගැබිනි මවක් අවුරුදු 2ක් පමණ කුඩා දරුවකුද වඩාගෙන බස්රථයට ගොඩවිය.

කොන්දොස්තර, කරුණාකරල මේ අක්කට ඉඳගන්න කව්රුහරි සීට් එකක් දෙන්නයැයි කෑගැසීය. සීට් එකක් නොලැබීමෙන් කුඩා දරුවත් වඩාගෙන තෙරපෙමින් ඒ මේ අත පැද්දෙමින් සිටිය කාන්තාවට කිසිවකු ආසනයක් දෙන බවක් පෙනේනනට නැත.

මෙය දුටු තරුණ භික්ෂුව වහාම අසුනින් නැගිට්ටේය. අක්කේ, මේ සීට් එකේ වාඩිවෙන්න නැත්නම් ඔය දරුවත් එක්ක වැටිල තුවාල වෙයි.

කියා පැවැසීය. ලැජ්ජාවට පත් කීප දෙනෙක්ම භික්ෂුවට ආසනයක් දෙන්නට උත්සාහ කළත් උන්වහන්සේ පැවැසුවේ මහණ වුණත් අපි තාම තරුණයිනේ. අපටත් ටිකක් හිටගෙන ගියාම මොකද වෙන්නේ කියමිනි. රියැදුරු හා කොන්දොස්තර දෙපලද භික්ෂුව වාඩිකරන්නට උත්සාහ කළත් පලක් නොවීය.

භික්ෂුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල විජේරාම හන්දිය දක්වා පැමිණ බස්රියෙන් බැස්සේ ගැබිනි කාන්තාවකටවත් අසුනක් දෙන්න තරම් සත්පුරුෂ පුද්ගලයෙක් බස්රියේ නැති බව කියමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා