ජනසවිය ද - සමෘද්ධි ව්‍යාපාරය ද!

ජනසවිය ද - සමෘද්ධි ව්‍යාපාරය ද!

1970 ගණන් වන විට; ලෝකය පුරා ප්‍රධාන සංවාද දෙකක් පැවැතිණි. න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම වළක්වන්නේ කෙසේද යන්න පළමු සංවාදය යි. ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දිළිඳුකම පිටු දකින්නේ කෙසේ ද යන්න දෙවන සංවාදය යි. න්‍යෂ්ටික යුද්ධය පිළිබඳ කතිකාව මේ වන විට යම් තරමකින් යට ගොසිනි. එහෙත්; දිළිඳුකම පිටුදැකීම පිළිබඳ සංවාදය තව ම යාව - ජීව ලෙස පවතී. එය එක් අතෙකින් දේශපාලන වගකීමක් හා කාර්යභාරයක් බවට පරිවර්තනය වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයන්ගේ ප්‍රධාන අභියෝගය වන්නේ; දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රමවේද සකස් කිරීමත්, එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් ය.

දිළිඳුකම පිටුදැකීමට සම්බන්ධ කදිම පාඩමක් ආචාර්ය ගුනාර් මිර්ඩාල් පෙන්වා දී තිබේ. ඔහුගේ මතයට අනුව රටක දුප්පත්කම නැති කිරීම සඳහා ලෝක ආධාරවලින් ලැබෙන්නේ ඉතා සුළු සම්මාදමකි. ඊට වඩා වැදගත් වන්නේ රට ඇතුළත සිදු කරන සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණයන් ය. මීට සමාන අදහසක්; ආචාර්ය ඊ. එෆ්. ෂුමාකාර් ද පෙන්වා දී තිබේ. ඔහු කියා සිිටින්නේ රටක දිළිඳුකම පිටුදැකීමේ දී අධ්‍යාපනය හා විනය ඉතා වැදගත් වන බව ය. ගුනාර් මිර්ඩාල් මෙන් ම ෂුමාකාර් ද පෙන්වා දෙන සත්‍ය වන්නේ හැමවිට ම මිනිසා වැදගත් වන බව ය. මිනිසා මූලික කරගෙන සංවර්ධනය ක්‍රියාත්මක විය යුතු බව ය.

දිළිඳුකම පිටුදැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්දැකීම් දෙකක් තිබේ. පළමුවැන්න එක්සත් ජාතික පක්‍ෂය විසින් ක්‍රියාත්මක කරන ලද ජනසවිය වැඩසටහන යි. දෙවැන්න පොදු පෙරමුණ විසින් ආරම්භභ කොට පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ව්‍යාප්ත කරන ලද සමෘද්ධි ව්‍යාපාරය යි. මේ වැඩසටහන් දෙකෙහි සමානකම් මෙන් ම අසමානකම් ද තිබේ. සමානකම නම්; වැඩසටහන් දෙක ම ඍජු ලෙස දුප්පත් පවුල් තෝරාගෙන ඔවුන්ගේ කුටුම්භයන් ආර්ථික අතින් සවිමත් කරමින් ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කිරීම ඉලක්කයක් ලෙස ගැනීම ය. අසමානකම නම්; ජනසවිය කෙළින් ම දේශපාලන ඉලක්ක මත ක්‍රියාත්මක වීම හා සමෘද්ධි ව්‍යාපාරය ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වීම ය.

ජනසවිය රටට හඳුන්වා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති තරගයට ඉදිරිපත් වීමත් සමඟ ඡන්ද පොරොන්ද්‍රවක් ලෙස ය. නැති බැරි අය ඇති හැකි අය කරන බවත්; සෑම දුප්පත් පවුලකට ම මසකට රුපියල් 2500/- බැගින් ලබාදෙන බවත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ය. 2500/- න් රුපියල් 1458/- ක් මුදල් වශයෙන් ලැබෙන අතර, රුපියල් 1042/-ක් ඉතිරි කිරීමේ ගිණුමට එකතු වේ. වසර දෙකක් ගෙවී ගිය තැන සෑම පවුලකට ම රුපියල් 25,000/-ක ඉතිරියක් මෙහිදී අපේක්‍ෂා කැරිණි. එහෙත් මුදල් ඉතිරි වූ තැනක් නො වී ය. අවසානයේ වැඩසටහන ක්‍රියාත්මක වීම ඇන හිටිණි. මේ නිසා විශාල පිරිසක් අතරමං වූහ. වැඩසටහනෙහි වගකීම ගැනීමට විධිමත් ආයතනයක් ද නො වී ය.

ජනසවිය වැඩසටහනෙහි සංකල්ප හා දැක්ම නරක නැත. බංගලි දේශයේ ග්‍රාමීන් බැංකු ක්‍රමය, ආචාර්ය ඊ. එෆ්. ෂුමාකාර් ගේ ආර්ථික න්‍යාය ආදී වැදගත් ක්‍රමවේද මත වැඩසටහන සකස් වී තිබිණි. එහෙත් ජනසවිය ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක ව්‍රූයේ නැත. අවසානයේ එය ආකර්ෂණීය වචන සහිත දේශපාලන ප්‍රවාදයක් බවට පත් විය. අන්තිම කාලය තුළ එම වැඩසටහන ක්‍රියාත්මක වූයේ නිවාස පහළොස් ලක්‍ෂයේ වැඩසටහන සමඟ ය. මේ හේතුව නිසා වැඩසටහන් දෙක ම අසාර්ථක විය. 1995 දී සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වන්නේ ජනසවියට විකල්ප වැඩසටහනක් ලෙස මිස, දේශපාලන ව්‍යාපාරයක් ලෙස නො වේ. දිළිඳු පවුල් ලක්‍ෂ හැත්තෑවක් පමණ නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කිරීම වැඩසටහනෙහි අරමුණ විය.

සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වී වසර දාහතක් පමණ ගත වී ඇත. 1995 වන විට ශ්‍රී ලංකාවේ දුප්පත්කම සියයට විසි ගණනක් විය. 2000 දී එය 24%කි. 2005 දී 15%කි. 2010 දී 7.5%කි. අද වන විට එය 5%ට වඩා පහළින් සිටී. ශ්‍රී ලංකාවේ දිළිඳුකම වසර පහෙන් - පහට අඩකින් පමණ අඩුවන ප්‍රවණතාවක් දකින්නට ලැබේ. මෙහි ගෞරවය හිමි විය යුත්තේ සමෘද්ධි ව්‍යාපාරයට ය. සමෘද්ධි ව්‍යාපාරය තුළ ශක්තිමත් බැංකු ක්‍රමයක් පවතී. සමෘද්ධිලාභීන්ගේ බැංකු තැන්පතුවල රුපියල් දස ලක්‍ෂ 17,000කට වැඩි මුදලක් ඇති බව වාර්තා වී තිබේ. බැංකු ගනුදෙනු සාර්ථකව සිදු කෙරේ. සමෘද්ධි දීමනාව කිහිප වරක් ම වැඩි කර තිබේ.

දිළිඳු ජනයා දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ගත හැක්කේ ණය දීමෙන් නො වේ. ඔහු නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කිරීම සමෘද්ධියේ ඉලක්කය වේ. ඒ සඳහා ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. කෘෂි ක්ෂේත්‍රය, සත්ත්ව පාලනය, ගෙවතු වගාව, සුළු පරිමාණ කර්මාන්ත, ස්වයං රැකියා යන සියල්ල සමෘද්ධියට අයත් ය. මෙහි විශේෂත්වයක් වන්නේ සියල්ල අධීක්‍ෂණය සඳහා නිලධාරීන් සිටීම ය. සෑම ගමක ම පාහේ සමෘද්ධි නිලධාරීහු සිටිති. ඔවුහු අනෙකුත් ආයතන සමඟ සම්බන්ධ වෙමින් ජනතාව සංවිධානය කරති. ජනතාව සංවිධානය කිරීම ඉතා වැදගත් කාර්යයෙකි. අවිධිමත් බව හා අසංවිධානාත්මක බව ද දුප්පත්කමට එක් හේතුවකි. සමෘද්ධි ව්‍යාපාරය රටේ පොදු පහසුකම් ඉදිකිරීමට ද සම්බන්ධ වේ.

ගෙවතු ලක්‍ෂ ගණනක් කෙටි කාලයක් තුළ සංවර්ධනය කිරීම සමෘද්ධියේ හැකියාව මොනවට පෙන්නුම් කරන ව්‍යාපෘතියකි. ගම්මාන විශාල ප්‍රමාණයක අති සාර්ථක ගෙවතු දැකිය හැකි ය. සාර්ථක හැම දෙයක් ම ඇත්තේ බටහිර නො වේ. අප අපගේ ම ඉතිහාසයටත්, ශිෂ්ටාචාරයටත් ගමන් කළ යුතු ය. ඇතැම් විට පුංචි තැනකින් පටන් ගත යුතු ය. එය අපට ඔරොත්තු දෙයි. එලෙස ම සාර්ථක වෙයි. සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණ මිනිසා හදා රට හැදීම ය. මිනිසුන් සියල්ලට වඩා වටිනා බව සමෘද්ධි ව්‍යාපාරය අපට පසක් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා