උපන් නූපන් දරුවන් වෙනුවෙන් සංවර්ධිත සාමකාමී රටක් තනනවා

අපට නිදහසේ ඇවිදින්න රණවිරුවන් දෙපා පූජා කළා

සියලු ජාතීන්ට අභයදානය ලබාගන්න ජීවිතය දන් දුන්නා

 නිදහසේ හුස්ම ගන්න ඔවුන්ගේ අවසන් හුස්ම වාතලයට මුසුකළා

උපන් නූපන් දරුවන් වෙනුවෙන් සංවර්ධිත සාමකාමී රටක් තනනවා

විජයග්‍රහණයේ තෙවැනි සැමරුම් උලෙළේ දී ජනපති අවධාරණය කරයි

සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගන්නට තම අවසන් හුස්ම මේ වාතලයට මුසු කළ, අපට නිදහසේ ඇවිද යන්නට තම දෙපා පූජා කළ රණවිරුවන් සියලු දෙනාට ජාතියේ ගෞරවය හිමිවෙනවා යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

අනාගතයේ දී කිසිවෙකුට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි මහා සංවර්ධිත සාමකාමී රටක් උපන්, නූපන් දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟනවා යැයි ජනාධිපතිතුමා කීය.

වසර දහස් ගණනාවක් තිස්සේ රැකගත් අප මාතෘ භූමියට ගෞරවණීය සාමය ගෙනඒමේ ශ්‍රේෂ්ඨ වූත්, ඓතිහාසික වූත් දිනය වූ පෙරේදාට (19) යෙදුණු විජයග්‍රහණයේ තෙවර්ෂ පූර්ණ සැමැරුම අමතමින් ජනාධිපතිවරයා එසේ කීය.

කොළඹ ගාලු මුවදොර පිටියේ දී මේ සැමැරුම අභිමානවත්ව සහ ගරු ගාම්භීරව පැවැත්විණි.

රණවිරුවන් ජාතිය වෙනුවෙන් හැලූ ලේ, කඳුළු දහඩියට අර්ථයක් ලබාදීමට අපි ක්‍රියා කළා. දිනා දුන් රට ආරක්ෂා කරගෙන අදීන, ස්වාධීන, යටත් නැති ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් අපි ගොඩනඟනවා. රටට සාමය ගෙන ආ රණවිරුවාට ගෞරවණීය ජීවිතයක් අපි ලබා දී තිබෙනවා. ඔවුන් වෙනුවෙන් ලංකාවේ ක්‍රියාත්මක වුණු ලොකුම නිවාස ව්‍යාපෘතිය අපි කළා. රණවිරු දරුවන්ට ජාතික පාසල් ලබා දීමෙන් නතර නොවුණු අපි, වෙනම රණවිරු පාසලක් ගොඩනැ¼ගුවා යැයි ජනාධිපතිවරයා කීය. අද අධි ආරක්ෂිත කලාප කියලා කිිසිම තැනක් නෑ. දැන් ලංකාව තහංචි නැති, බාධා නැති රටක් බවට පත්වෙලා. රටේ තත්ත්වය එහෙම වුණත් සමහරුන්ගේ් මනසේ නම් තහංචි බාධා තිබෙන බව අපි දන්නවා, ජනාධිපතිතුමා අවධාරණය කෙළේය. උගත් පාඩම් හා ප්‍රතිසංධාන පිළිබඳ කොමිසමේ අපිට එකඟ විය හැකි දේවල් ක්‍රියාත්මක කරගෙන යනවා. ජාතීන් අතර සංහිඳීයාවට පත් කරන කොමිෂමේ වාර්තාව ජාතීන් අතර භේද කරන්න යොදා ගන්න පුළුවන්කමක් නැහැ මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. පටු අභිලාෂයන්ගෙන් ඈත්වෙලා අපි කටයුතු කරමු. අනාගතයේ කිසිවෙකුටත්, බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි සංවර්ධිත සාමකාමී රටක් උපන්, නූපන් දරුවන් වෙනුවෙන් ගොඩනඟමු. එයයි විජයග්‍රහණය. එදාටයි විජයග්‍රහණය යැයි ජනාධිපතිතුමා අවධාරණය කෙළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා