කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියට බොලිවුඩ් තරු පායයි

කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියට බොලිවුඩ් තරු පායයි

කලක් නගරයට පමණක් සීමා වී තිබූ රගර් ක්‍රීඩාවට රට පුරා ග්‍රාමීය මට්ටමේ ජනපි‍්‍රයත්වයක් උදා කළ වාර්ෂික කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලිය සිවුවැනි වරටත් මේ මස 26 - 27 දෙදින මහනුවර බෝගම්බර පිටියේදිත්, ලබන මස 2 - 3 දෙදින තිඹිරිගස්යාය පොලිස් පිටියේදිත් පැවැත්වේ.

මෙවර තරගාවලියේ අවසන් දිනය වන ජුනි 3 දා දේශීය හා විදේශීය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතය.

මිනිත්තු 120කින් යුත් මේ සංගීත ප්‍රසංගයට බොලිවුඩ් තිරයේ අතිශය ජනපි‍්‍රය බිපාෂා බාසු, සමීරා රෙඩ්ඩි සහභාගි වෙති. මහනුවර පැවැත්වෙන පළමු අදියරේ තරගාවලියේ දී විවේක් ඔබරෝයි සහ පී‍්‍රති සින්ටා විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වෙති.

අන්තර් ජාතික සත් සාමාජික රගර් පිටියට පළමුවරට නව තරග රටාවක් හඳුන්වා දුන් කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියට ලෝක සත් සාමාජික රගර් පිටියේ දැවැන්තයන් වන ටොමායි කැමා, ඩී.ජේ.ෆෝබස්, ටිමි මික්ල්සන්, ෆ‍්‍රෑන්ක් හලායි, මැතිව් ටර්නර් සහ ඩේන් හෝර්ටන් ද ඇතුළුව විශිෂ්ට අත්දැකීම් වලින් පරිණත ‘ඒ’ ශ්‍රේණියේ ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් 40 ක් තරග වැදීමට නියමිත බැවින් විදේශීය ක්‍රීඩාලෝලීහූ ද තරගාවලිය නැරැඹීමට පැමිණීමට නියමිතය.එමගින් මෙරට සංචාරක කර්මාන්තයටද සැළකිය යුතු දායකත්වයක් ලැබී තිබේ.

සිය දැනුම මෙරට ක්‍රීඩකයන් හා බෙදාහදා ගැනීමත්, එමගින් දේශීය ක්‍රීඩකයන්ට අන්තර් ජාතික මට්ටමේ දැනුමක් අත්කර දීමත් අරමුණු කරගෙන අන්තර් ජාතික මට්ටමේ පුහුණුකරුවන් 10ක් ද මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 10 පුහුණු කරනු ඇත. සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයන් 4 ක් ඇතුළත් වන අතර මෙරට කනිෂ්ඨ රගර් ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබාදීම අරමුණු කර ගනිමින් අවුරුදු 21 න් පහළ ක්‍රීඩකයකු ද ඇතුළත් කර ගැනීම අනිවාර්ය කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා