තෙතමන‍ය රකින්න ලෝකය ම එකතු වෙයි

තෙතමන‍ය රකින්න ලෝකය ම එකතු වෙයි

රියෝ+20 සමුළුවේ සංවාදය ගැන අර්ථවත් විවරණයක්

 ලෝක පරිසර සමුළුව හෙවත් මිහිකත සමුළුව මෙම මස 20 සිට 22 දක්වා බ්‍රසීලයේ රියෝද ජනයිරෝ හි දී පැවැත්වේ. මෙම සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සිටින අතර, එහිදී විශේෂ දේශනයක් කළේය.

ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා දුත පිරිස රීයෝ+20 සමුළුවට සහභාගී වෙමින්....

ජායාරූපය - සුදත් සිල්වා

රියෝ +20 සමුළුවත් සමඟ ම යළිත් වරක් ලෝකය පරිසර ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කිරීමේ ප්‍රවණතාවක් දක්නට ඇත. එක්සත් ජාතීන්ගේ පරිසර ව්‍යාපෘතිය විසින් කරනු ලබන අනතුරු ඇඟවීම් දෙස මෙම මස 20 වෙනි දා බ්‍රසීලයේ දී ආරම්භව දින දෙකක් පුරා පැවැත්වෙන රියෝ +20 සමුළුවේ දී අවධානය යොමු කිරීමට නියමිත ය. මෙහි දී අවධානය යොමු කරනු ලබන්නේ ලෝකයට ප්‍රබල ලෙස බලපානු ලබන පාරිසරික ප්‍රශ්න පිළිබඳව ය. මිහිකත සමුළුවේ මෙවර තේමාව වන්නේ “තිරසාර සංවර්ධනයයි” බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නගරයේ ආරම්භ වූ සමුළුව රියෝ +20 වශයෙන් නම් කර ඇත. මෙම සමුළුවේ ප්‍රධාන ඉලක්කය හරිත සංවර්ධනයයි.

මෙයට විසි වසරකට පෙර එනම් 1992 දී බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නගරයේ දී පවත්වන ලද පරිසරය හා සංවර්ධනය පිළිබඳ ඓතිහාසික සම්මේලනය සිහිගන්වමින් එයට වසර 20ක් සපිරෙන මෙම වසරේ දී එම නගරයේදීම 2012 වර්ෂයේ රියෝ +20 සම්මේලනය පැවැත්වීමට සුදානම් කොට ඇත. මෙම සම්මේලනය සංවිධානය කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාජීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟිනි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොදු ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය. එක්සත් ජාතීන්ගේ මණ්ඩලවල මුලික කටයුතු සංවිධානය කිරීමත් ඒ සඳහා පහසුකම් සලසා දීමත් පිළිබඳ වගකීම පැවරී ඇත්තේ ලේකම් කාර්යාලයකටය. රියෝ +20 ලේකම් කාර්යාලය, සම්මේලනයේ මහා ලේකම් ෂා සුකාග් මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ එල්සබෙත් තේම්සන් (බාබඩොස් හි හිටපු පාරිසරික අමාත්‍ය) හා ඇම්බසඩර් බ්‍රයිස් ලාලොන්ඩේ (ප්‍රංශයේ හිටපු පාරිසරික අමාත්‍ය) යන අයගේ සහයෙන් පවත්වාගෙන යනු ලැබේ.

මේ සම්මේලනය මගින් දරිද්‍රතා මට්ටම අඩුකොට සමාජ සාධාරණත්වය ඉහළ නංවා පෙර නොවූ විරූ ආකාරයෙන් ජනාකීර්ණ වී ඇති ලෝකයේ පරිසරය අපට අවශ්‍ය පරිදි ආරක්ෂා කර ගන්නේ කෙසේ දැයි විමසා බැලීමට විවිධ රාජ්‍ය නියෝජිතයින්, පෞද්ගලික අංශයේ සාමාජිකයින්, රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් සහ වෙනත් අංශවලට අයත් නියෝජිතයින් දහස් සංඛ්‍යාත පිරිසක් සමඟ ලෝක නායකයෝ රියෝ +20 සම්මේලනයට සහභාගි වීමට නියමිතය. මෙහිදී ප්‍රමුඛතා දක්වන ක්ෂේත්‍ර හතක් කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය. රියෝ +20 ප්‍රාරම්භක සැසිවල දී හුවා දක්වන ලද ක්ෂේත්‍ර වන්නේ යෝග්‍ය රැකියා ලබාදීම, බලශක්තිය, තිරසාර නගර, ආහාර සුරක්ෂිත කර ගැනීම, තිරසාර කෘෂි කර්මාන්තය, ජලය, සමුද්‍ර හා ආපදා සඳහා සූදානම්ව සිටීම යන ඒවා වේ.

මෙවර රියෝ +20 සම්මේලනය ලෝක ජනතාවට ඉතා වැදගත් සංධිස්ථානයකි. 1992 දී පරිසරය හා සංවර්ධනය යන තේමාව මුල්කරගෙන පවත්වන ලද සම්මේලනය සඳහා මෙම වර්ෂයේ දී ප්‍රමුඛස්ථානය දී ඇත්තේ් එක්සත් ජාතීන්ගේ හා ජාත්‍යන්තර ප්‍රජාවගේ තිරසාර සංවර්ධනය කෙරෙහිය.

මෙවර තේමාවන් දෙකක් යටතේ සමුළුව පැවැත්වීමට මෙහි සාමාජික රාජ්‍ය එකඟත්වයකට එළඹ ඇත. එනම්,

තිරසාර සංවර්ධනය හා දරිද්‍රතාව මුලිනුපුටා දැමීම සඳහා හරිත ආර්ථිකයක් සහ තිරසාර සංවර්ධනය සඳහා ආයතනික රාමුව යන්නයි.

මේ තේමාවන් සහ අරමුණු යටතේ ආරම්භ වන රියෝ +20 සමුළුව දෙස ආපසු හැරී බලන එක්සත් ජාතීන්ගේ පරිසර ව්‍යාපෘතිය ප්‍රකාශ කරන පරිදි පරිසර සංරක්ෂණ ඉලක්ක 90 න් විශේෂ ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ අංශ 4 කින් පමණි. එවැනි පරිසරයක් යටතේ ආරම්භ කෙරෙන රියෝ +20 පරිසර සමුළුවේදී දුෂ්කර ඉලක්ක මුදුන්පමුණුවා ගැනීම සඳහා එකඟතාවකට පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර ව්‍යාපෘතිය ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටී. එහෙත් රියෝ +20 සමුළුව ඉදිරියේ පැවැත්වෙන සාකච්ඡා ප්‍රශ්න තුළ තවදුරටත් පවතින තත්ත්වයක් දැන් දක්නට ඇත. එයට හේතු ලෙස පෙනී යන්නේ පොසිල ඉන්ධන සඳහා සපයන සහන දීමනා ඉවත් කිරීම, ගැඹුරු මුහුදේ මත්ස්‍ය දඩයමට අදාළ රෙගුලාසි ආදිය සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹීමට ලෝකයේ ආණ්ඩු පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වාම අපොහොසත් වීමයි. වනාන්තර විනාශය, මත්ස්‍ය සම්පත පහත වැටීම, ජලය සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම, දේශගුණ විපර්යාසයන් පාලනය කර ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම, පරිසරයට කරන හානිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ පරිසර ව්‍යාපෘතිය අනතුරු ඇඟවීමක් කරයි.

ඔවුන් ගේ තක්සේරු අනුව ප්‍රගතියක් දැකිය හැක්කේ පරිසර කරුණු 4 ක් සම්බන්ධයෙන් පමණි. ඊයම් රහිත පෙට්ට්‍රල් භාවිතය, ඔසෝන් ස්ථරයට කෙරෙන හානිය අඩුවීම, පිරිසිදු ජල පහසුකම් වර්ධනය සහ සාගර පරිසර දූෂණය පරීක්ෂණ නංවාලීම මේ අතර වෙයි. ජගත් පරිසර ඉදිරි දර්ශකය පෙන්වා දෙන ආකාරයට ශාක සහ සත්ත්ව වාසයට රැකවරණය සැලසීම, වන විනාශ මට්ටම සීමා කිරීම ඇතුළු පරිසර කරුණු 40ක් අතින් ද මැද ප්‍රගතියක් දැන් දක්නට ලැබේ. එහෙත් දේශගුණ විපර්යාසයන් පාලනය කිරීමට ගනු ලබන පියවර ද ඇතුළුව තවත් අංශ 24 ක ප්‍රගතියක් දක්නට නොමැත.

ඊට අතිරේකව සහශ්‍ර සංවර්ධන ඉලක්ක හැටියට දක්වන දුප්පත්කම තුරන් කිරීම සහ මන්දපෝෂණය අවසන් කිරීම ආදියට තවත් ජාත්‍යන්තර එකඟතා බොහෝමයකට එළඹ ඇත. එහෙත් ගෙදර දොර හා ඉන් පිටත වායු දූෂණය නිසා වසරකට වාර්තා වන අකාල මරණ හැට ලක්ෂයකට අධිකය. හරිතාගාරවලින් නිකුත් කෙරෙන අහිතකර විෂ වායු එක්වීමෙන් 2100 වන විට ලෝකයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 3 ක සාමාන්‍ය අනුපාතයකින් ඉහළ යාමේ තත්ත්වයක් පවතින අතර ගංගා නිම්නවල රැෙඳන්නේ භාවිතයට සහ පානයට නුසුදුසු ජලයයි. එක්සත් ජාතීන්ගේ පළමු පරිසර සමුළුව වන ස්ටෝක්හෝම් සමුළුව ආරම්භ වූයේ මෙයට වසර 40 කට පෙරය. රියෝ මිහිකත සමුළුවෙන් අවුරුදු 20කට පසුවයි රියෝ +20 සමුළුව මෙවර කැඳවා ඇත්තේ. මේ සමුළුව රැස්වන්නේ වායු දූෂණය සහ දේශගුණ විපර්යාසය නිසා ලෝක ආර්ථිකයට බලපාන බරපතළ විනාශයන් අත්වෙමින් ඇති මොහොතකය. දැන් අපි ශ්‍රී ලංකාව දෙස හැරී බලමු.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය

ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර 65,610 ක ප්‍රමාණයෙන් යුක්ත ය. එකිනෙකට වෙනස් දේශගුණයන්ගෙන් යුක්තය. මුහුදුබඩ උෂ්ණත්වය 26 c0 කි. එය මධ්‍යම කඳුකරයේ 15 c0 – 20 c0 අතර වේ. මුහුදු මට්ටමේ සිට ඇති උස ප්‍රමාණය අනුව එසේ පහතරට, මැදරට සහ උඩරට යනුවෙන් හැඳින් වේ. වියළි කලාපය හා තෙත් කලාපය වශයෙන් කොටස් දෙකකි. රටේ ප්‍රධාන ගංගා මධ්‍යම කඳුකර කලාපයෙන් ආරම්භ වේ. ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය 21,283,913 කි. සිංහලයින් 73.8%කි. මුස්ලිම් ජාතිකයන් 7.2% කි. ඉන්දියන් දමිල 4.6% කි. ලංකා දමිළ 3.9%කි. වෙනත් ජාතීන් 0.5% කි. නිශ්චිත නොවන ජාතීන් 10% කි. ජනගහණය වැඩිවීමේ වේගය 1.1% කි.

ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාව, මුහුදු ජල මට්ටම ඉහළ යාම, දීර්ඝ කාලීන ඉඩෝර, ප්‍රබල ජල ගැලීම්, නාය යාම්, ජීව විවිධාංගීකරණ වෙනස්කම් යනාදියට පහසුවෙන් ගොදුරුවන රටකි. එවැනි ආපදා සංවර්ධනයට අහිතකර හෙයින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් ලක්කොට ඇත. මීට අමතරව පශු සම්පත ධීවර කර්මාන්තය සෞඛ්‍ය, ජලය, බලශක්තිය හා යටිතල පහසුකම් සහ තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කරනු ඇත.

තිරසාර සංවර්ධනයේ මුලික සාධක තුන ලෙස හැඳින්වෙන සමාජීය, ආර්ථික හා පාරිසරික ප්‍රවර්ධනය සඳහා ජාතික හා ජාත්‍යන්තර ආයතන ක්‍රමවේදයන් ශක්තිමත් කළ යුතුය යන ස්ථාවරයේ ශ්‍රී ලංකා රජය කටයුතු කරන අතර, ආර්ථිකය දියුණු කිරීමට කර්මාන්ත, කෘෂිකර්මය, වෙළෙඳාම, ප්‍රවාහනය, බලශක්තිය, යටිතල පහසුකම් හා අධ්‍යාපනය මෙන්ම පණිවිඩ හුවමාරුව වැනි සේවාවන් ද වර්ධිත තත්ත්වයක තිබිය යුතු යැයි සලකා කටයුතු කරනු ලබයි.

තිරසාර සංවර්ධනයක් උදෙසා හරිත ආර්ථිකයක් නඟා සිටුවාලීමට ශ්‍රී ලංකාව විවිධ පියවර රැසක් ගෙන ඇත. පාරිසරික අමාත්‍යාංශය විසින් 2009 වසරේදී ‘හරිත ලංකා’ නමින් වැඩසටහනක් දියත් කර ඇත. එමගින් තිරසාර සංවර්ධනය සඳහා ජාතික මණ්ඩලයක් පිහිටුවිය. එමගින් අපේක්ෂා කරන ලද්දේ පිරිසිදු වාතය, සත්ව හා ශාක සංරක්ෂණය, දේශගුණික විපර්යාසයට මුහුණදීම, භූමි සම්පත නිවැරැදිව යොදා ගැනීම, අපද්‍රව්‍ය කළමනාකරණය, සැමට ජලය, සෞඛ්‍ය හා සෞභාග්‍ය සඳහා හරිත නගර යන කාර්යන්ය.

මෙය සෑම අමාත්‍යාංශයකම දායකත්වයෙන් යුත් ක්‍රියාදාමයකි. මෙම සැලසුම කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් 2009 සිට 2010 තෙක් ක්‍රියාත්මක කෙරුණි. තිරසාර සංවර්ධනය සඳහා වන ජාතික මණ්ඩලය අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ පාරිසරික ඒකාබද්ධතාවය තුළින් මුළු රට තුළ ආර්ථික හා සමාජීය සංවර්ධනයක් අරභයා පිහිටුවන ලදී. මේ මණ්ඩලයේ සාමාජිකයෝ ආර්ථික සංවර්ධනයට අදාළ කැබිනට් අමාත්‍යවරුන්ය. පාරිසරික අමාත්‍යාංශය එහි ලේකම් කාර්යාලය වශයෙන් ක්‍රියා කරයි.

තිරසාර සංවර්ධනයේ ප්‍රධාන සාධක

බලශක්තිය, භූමිය, සෞඛ්‍ය, ජීව විවිධාංගීකරණය, දේශගුණික විපර්යාස, ප්‍රවාහනය, අපනයන කළමනාකරණය, කර්මාන්ත, නාගරික සංවර්ධනය, සමුද්‍රාසන්න පරිසරය, ජලය, කෘෂිකර්මය හා පශු සම්පත්, ශාක සහ සත්ව එකී සාධකයන් ය.

තිරසාර සංවර්ධනය සහ දේශගුණික විපර්යාසයන්ට පිළියම් වශයෙන් ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය 2007 වසරේදී පිහිටුවන ලදී. පරිසර හිතකාමී බලශක්ති නිෂ්පාදනය සහ පරිභෝජනය මෙන්ම බලශක්ති ප්‍රවර්ධනය සඳහා ද විදුලි හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම අධිකාරිය මගින් ක්‍රියාකරනු ලැබී ය.

ඒ අතර ‘හිරු සවිය’ ව්‍යාපෘතිය ගොඩනගන ලද්දේ ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ජාතික විදුලිබල පද්ධතියෙන් පරිබාහිර ව සුර්ය තාප විදුලිබලය, ග්‍රාමීය ප්‍රදේශවලට ලබාදීම සඳහා ය. ඒ අතර ප්‍රථම සුර්ය බලශක්ති විදුලිය ලබාගත් ගම්මානය මොණරාගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ය. එමගින් නිවාස 260 කට සහ ග්‍රාමීය පාසැල්වලට විදුලිය ලබා දී ඇත. මෙහි විශේෂත්වයක් වනුයේ රතුගල වැදි ජනතාවට ද විදුලිය සැපයීමට ද හැකිවීම ය.

අපද්‍රව්‍ය කළමනාකරණය

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ වගකීම ප්‍රධාන වශයෙන් ගැනෙනුයේ ප්‍රාදේශීය අධිකාරීන් යටතට ය. ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ජීව අපද්‍රව්‍ය 62% කඩදාසි 6.5% පොළිතීන් සහ ප්ලාස්ටික් 6% දැවමය 6%, වීදුරු 2% යනාදී වශයෙන් වෙන් කළ හැකි ය. අපද්‍රව්‍ය කළමනාකරණයට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම පාරිසරික අධිකාරිය ක්‍රියා කරයි. ඉදිරි වසර පහ ඇතුළත අපද්‍රව්‍ය ප්‍රශ්නය විසඳීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය 2008 වසරේදී ‘පිලිසරු’ ව්‍යාපෘතිය නමින් ව්‍යාපෘතියක් ආරම්භ කළේ ය. එම ව්‍යාපෘතිය යටතේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය මගින් නැවත ප්‍රයෝජනයට ගැනීමේ කාර්යය කරයි. විදත් වර්ගයේ අපද්‍රව්‍ය එකතු කොට ඒවා නිවැරදි පරිදි ඉවත ලෑමේ ක්‍රමවේදයක් 2010 දී ආරම්භ කරන්නට කටයුතු යොදා ඇත. රථවාහනවලින් ලැබෙන අපද්‍රව්‍ය සඳහා 2007 දී ජංගම සේවයක් ආරම්භ කරන්නට යෙදුනි.

රියෝ +20 සමුළුවේ ප්‍රධාන තේමාවක් වන “තිරසාර සංවර්ධනය හා දරිද්‍රතාව මුලිනුපුටා දැමීම සඳහා හරිත ආර්ථිකයක්” යන්න ළඟාකර ගැනීම සඳහා කර්මාන්ත අංශය ඉතා වැදගත් තැනක් උසුලයි. ශ්‍රී ලංකාවේ වැදගත් අංශයක් වන කර්මාන්ත අංශය ආර්ථික සංවර්ධනය හා පාරිසරික කළමනාකරණ යන ක්ෂේත්‍රයන්හි විවිධ කොටස් සමඟ සම්බන්ධ කර ඇත. ජනතා හිතවාදී හරිත ආර්ථිකයකට රට පරිවර්තනය කිරීමට රැකියා අවස්ථා, පරිසර හිතවාදී තාක්ෂණය, ආර්ථික හා සමාජීය සංවර්ධන කටයුතු අවශ්‍ය අංගෝපාංග වේ. ශ්‍රී ලංකාවේ දර්ශනය මනා සෞඛ්‍ය තත්ත්වයක් රට තුළ පවත්වාගෙන යාම ය.

දේශගුණික විපර්යාස

දේශගුණික විපර්යාසයන් නිසා උදාවන පාරිසරික අභියෝගවලට මුහුණදීම සඳහා එක්සත් ජාතීන්ගේ හා කියෝතෝ සම්මුතියේ මෙරට කේන්ද්‍රස්ථානයක් ලෙස පාරිසරික අමාත්‍යාංශය යටතේ පාරිසරික විපර්යාස ලේකම් කාර්යාලයක් ආරම්භ කරන ලදී. ක්‍රියාශීලි ලෙස කාබන් අලෙවි කටයුතුවල දී සාර්ථක ලෙස සහභාගීත්වය ලබාදීම සඳහා පාරිසරික අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා කාබන් අරමුදල 2008 දී ආරම්භ කරන ලදී. 2008 ජූලි 1 සහ 2 දිනවල ඩකා නගරයේ දී රැස් වු සාර්ක් සංවිධානයේ පාරිසරික අමාත්‍යවරුන් අට දෙනා දේශගුණ විපර්යාසයන් පිළිබඳ තුන් අවුරුදු කාර්ය සැලැස්මක් අනුමත කර ගත්හ. ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරු සාර්ක් සැලැස්මට එකඟ වු අතර, සෙසු අමාත්‍යාංශවල එකඟත්වයෙන් එම සැලැස්මට අනුව කටයුතු කිරීම ශ්‍රී ලංකාව එකඟ වී ඇත. දහවන සාක් සමුළුවේ දී ක්‍රියාත්මක කිරීම සඳහා එකඟත්වයට පැමිණි තම්පෝ ප්‍රකාශය පිළිබඳව අදාළ රේඛීය ආයතන දැනුවත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මුති රාමුව 1993 නොවැම්බර් මාසයේ දී රැස් වු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එලෙස එම සම්මුති රාමුව අනුමත කොට පිළිගත් රටවල් 50 න් එකක් ශ්‍රී ලංකාවය. මෙම ගිවිසුමට අනුව කලින් කළ දේශගුණ විපර්යාසයන් පිළිබඳව ජාතික සන්නිවේදනයක් කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

බාධක හා අවස්ථා

ශ්‍රී ලංකාව මැදි මට්ටමේ ආදායම් ලබන රටක් වුවද එහි සංවර්ධනය වන රටක සියලුම ලක්ෂණ තිබේ. ගෝලීය ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ වැඩිම අවධානය යොමු විය යුතු වන්නේ දිළිඳුකම තුරන් කිරීම, ඉඩම් හා ජලය තවදුරටත් හානියට පත්වීමට ඉඩ නොතබා ආහාර සුරක්ෂිත කිරීම, පිරිසිදු ජලය සැපයීම, සනීපාරක්ෂාව සැලසීම, මුලික අවශ්‍යතා සඳහා විදුලිය හා බලශක්තිය ප්‍රමාණවත්ව ලබාදීම, සුවදායක පරිසරයක් ඇති කිරීම, වායු දූෂණය වැළැක්වීම සහ ස්වභාවික ආපදාවලින් ආරක්ෂා වීමේ මාර්ග සැලසීම යනාදියයි.

මේ සඳහා තාක්ෂණික, මූල්‍ය හා පුහුණු මානව සම්පත් යනාදිය මගින් රටට විදේශාධාර අවශ්‍ය වේ. පසුගිය දශක දෙකක කාලය තුළ පරිසර සංරක්ෂණය, ස්වභාවික සම්පත් සංරක්ෂණය සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කොට ඇත. තව ද තිරසාර සංවර්ධනය, පරිභෝජනය සහ නිෂ්පාදනය ආදිය පිළිබඳව ජනතාව දැනුවත් කර ඇත.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේ ස්වභාවයන් මෙසේ දැක්විය හැකි අතර, එක්සත් ජාතීන්ගේ පරිසර ව්‍යාපෘතිය ප්‍රකාශ කරන ආකාරයට ක්‍රියාවිරහිත දෙගිඩියාවට තිත තැබීමට අවශ්‍ය මොහොත දැන් උදාවී ඇත. කරුණු කාරණා තේරුම් ගත යුතු මොහොත පැමිණ ඇත. සියලු ජනකොටස් එකමුතු කරන පොදු මනුෂ්‍යත්වයට අපි මුහුණදීමට අවශ්‍ය අක්‍රමවත් සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් මිදී තිරසාර සංවර්ධනයක් දෙසට ප්‍රගතියේ හා සංවර්ධනයේ අව්‍යාජ මාවතකට යොමු වීමට අවශ්‍ය කාලය පැමිණ ඇත. රියෝ +20 මිහිකත සමුළු මාලාවෙන් සිය ගණනක් ගිවිසුම් දැනටමත් ඇති කරගෙන ඇතත්, මනා අර්ථාන්විතව ක්‍රියාවට නැංවීමේ මුලෝපායකට ලෝක බලවතුන් තවමත් එකඟ වී නැත. වැඩි පරතරයක් යටතේ් මෙම රියෝ +20 මිහිතක සමුළුවත් තවත් සාකච්ඡාවක් පමණක්ම වේද? නැත්නම් එය ඉදිරි අනතුර හමුවෙහි අවශ්‍ය කඩිනම් පියවර ගනු ලබන පරිසර සංරක්ෂණ ක්‍රියාවලියෙහි සංධිස්ථානයක් බවට පත්වේ ද යන්න අපි බලා සිටිමු!

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා