එක්දින තරග ජයග්‍රහණයේ රස වැටුණු  ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලාවට ඉව අල්ලයි

එක්දින තරග ජයග්‍රහණයේ රස වැටුණු  ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලාවට ඉව අල්ලයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ත්‍රිත්ව ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ පළමු තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ගෙවුනු වසරක කාලය තුළ සිය අසතුටුදායක ටෙස්ට් වාර්තාව මේ තරගමාලාවේදී දියුණු කර ගැනීමට ශ්‍රී ලංකාව සෑම උත්සාහයක්ම ගනු ඇත.

ශ්‍රී ලංකාව ඔවුන් සහභාගි වූ පසුගිය ටෙස්ට් තරග 14න් ජයගෙන ඇත්තේ තරග 2ක් පමණි. තරග 6කින් පරාජය වී තිබේ. එහෙත්, මව්බිමේ තරග කරද්දී සැලකිය යුතු තරමේ දක්ෂ කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව පසුගිය මාර්තු – අප්‍රේල් වකවානුවේ, ලොව ඉහළින්ම ශ්‍රේණිගතව සිටින එංගලන්තය සමග පැවැති ද්විත්ව ටෙස්ට් තරගමාලාව සමකර ගැනීමට සමත් විය.

පාකිස්තානයට එරෙහිව පසුගියදා නිමාවට පත්වූ ජාත්‍යන්තර එක්දින තරගමාලාවේදී විශිෂ්ට දස්කම් පෑ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ඇතුළත්ව සිටී. මීට අමතරව, නුවන් කුලසේකර, ජීවන් මෙන්ඩිස් හා නුවන් ප්‍රදීප් ද ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. උපුල් තරංග හා ලහිරු තිරිමාන්න සංචිතයට ඇතුළත් කර නැත.තරග 5කින් සමන්විත වූ එක්දින තරගමාලාව තරග 3 – 1කින් ජය ගනිමින් ශ්‍රී ලංකාව දැනටමත් පාකිස්තානයට අනතුරු අඟවා තිබේ.

“ටෙස්ට් තරගමාලාවක් සැමවිටම ලොකු අභියෝගයක්. නමුත් ජයග්‍රහණය යනු කෙනෙකු තුළ තිබිය යුතු හොඳ පුරුද්දක්. ඒ නිසා මේ ජයග්‍රාහී ක්‍රීඩාව දිගටම ගෙන යන්න අපට හැකිවේවි කියලා ප්‍රාර්ථනා කරනවා” ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කියයි.

“පළපුරුදු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ටෙස්ට් තරග සඳහා කණ්ඩායමට පිවිසෙනවා. මෙය අපට ලැබෙන හොඳ අවස්ථාවක්. අපි ප්‍රාණවත්ව හා හොඳින් තරගය ආරම්භ කිරීම ඉතා වැදගත්.”

පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සෑම ආකාරයේම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව පැරදවූ පාකිස්තානය පසුගියදා පැවැති එක්දින තරගාවලියේදී පිතිකරණයේ හා පන්දු රැකීමේදී දුර්වල විය.

එහෙත් අද දවසේ ඔවුන් මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය වී තිබෙන්නේ ඔවුන්ගේ නායක මිස්බා උල් හක් ක්‍රීඩා නොකිරීමය. පසුගිය සඳුදා පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන 5 වැනි හා අවසාන ජාත්‍යන්තර එක්දින තරගයේදී නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව නොයැවීම හේතුවෙන් උල් හක් ට එක් තරගයක තහනමක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවා තිබේ. ඒ අනුව ඔහුට අද ඇරැඹෙන පළමු ටෙස්ට් තරගයට සහභාගි වීමට නොහැක.උල් හක් ට මේ දඬුවම පමුණුවා ඇත්තේ පාකිස්තාන කණ්ඩායම එම තරගයේදී නියමිත වේලාව වන විට ඕවර 3ක් අඩුවෙන් යවා තිබීම නිසාවෙනි. මෙය ජාත්‍යන්තර එක්දින තරගවල “බරපතළ වැරැද්දක්” බව ජගත් ක්‍රිකට් කවුන්සලයේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් පවසා තිබේ.

උල් හක් වෙනුවට මොහමඩ් හෆීස් අද තරගයේදී පාකිස්තානය මෙහෙයවනු ඇත. එහිදී යළිත් මේ තරග සංචාරයේ ඉදිරියට පැමිණ ටෙස්ට් ක්‍රීඩාවේ පාකිස්තානයේ විශිෂ්ට වාර්තාව දිගටම පවත්වා ගෙන යාමට පාකිස්තානය උත්සාහ කරනු ඇත.පාකිස්තානය, ඔවුන් සහභාගි වූ පසුගිය ටෙස්ට් තරග 9න් 7ක් ම ජය ගෙන තිබෙන අතර මීට ඇන්ඩෲ ස්ට්‍රාවුස්ගේ එංගලන්ත කණ්ඩායම තරග 3 – 0ක් පරාජය කිරීමද ඇතුළත්ය.

ඵලදායී පිට දඟ පන්දු යවන්නකු වන සයීඩ් අජ්මාල්ගේ මූලිකත්වයෙන් යුත් ප්‍රබල පන්දු ප්‍රහාරය කෙරෙහි පාකිස්තානය බලාපොරොත්තු තබා සිටී. තරග 8කදී කඩුලු 50ක් ලබා ගත් අජ්මාල් පසුගිය වසරේ ලොව වැඩියෙන්ම ටෙස්ට් කඩුලු ලබා ගත් පන්දු යවන්නා විය.මේ වසරේදී ඔහු දැනටමත්, එංගලන්තයට එරෙහි ටෙස්ට් තරග තුනේදී කඩුලු 24ක් ලබා ගෙන සිටින අතර ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ලොකුම අභියෝගය අජ්මාල් වනු ඇත.පාකිස්තාන කණ්ඩායම අවසන් වතාවට ටෙස්ට් තරගමාලාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ 2009 වසරේදීය. එම සංචාරයේදී ඔවුන් තරග 2 – 0කින් පරාජය විය.

එම තරගමාලාවේ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානුවන්ට ලකුණු 168ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් මගහැරී ගියේය. එහිදී එක් අවස්ථාවක කඩුලු 2කට ලකුණු 71ක් ලබා ගෙන සිටි පාකිස්තානය අවසානයේ ලකුණු 117කට දැවී ගියේය.

කොළඹදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 90කට පළමු ඉනිමේ දැවී ගිය පාකිස්තානයට දෙවැනි ඉනිමේදී ලකුණු 26කට කඩුලු 8ක් අහිමි වූ අතර ඔවුන් කඩුලු 7කින් තරගය පරාජය විය.

පාකිස්තානය අදින් ඇරැඹෙන තරගමාලාව තරග 3 – 0කින් ජයග්‍රහණය කළහොත් ඔවුන් ඉන්දියාව අභිබවා ගොස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානයට පත්වනු ඇත. තරග 2 – 0ක ජයක් වාර්තා කළහොත් ඉන්දියාව සමග සම තත්ත්වයට පිවිසෙනු ඇත.

6 වැනියට ශ්‍රේණිගතව සිටින ශ්‍රී ලංකාව තරග 3 – 0ක් හෝ 2 – 0කින් මේ තරගමාලාව ජය ගතහොත් ඔවුන් පාකිස්තානයට ඉහළින් 5 වැනි ස්ථානයට පත්වනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය : මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, දිනේෂ් චන්දිමාල්, තිලාන් සමරවීර, ප්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, සුරාජ් රන්දිව්, ජීවන් මෙන්ඩිස්, චානක වෙලගෙදර, නුවන් කුලසේකර, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්.

පාකිස්තාන සංචිතය : මොහමඩ් හෆීස් (නායක), අද්නන් අක්මාල්, අයිසාස් චීමා, අසාර් අලි, ජුනයිඩ් ඛාන්, සයීඩ් අජ්මාල්, උමාර් ගුල්, අබ්දුර් රහ්මාන්, අෆාක් රහීම්, අසාඩ් ෂෆික්, ෆයිසාල් ඉක්බාල්, මොහමඩ් අයුබ්, මොහමඩ් සාමි, ටව්ෆීක් උමාර්, යූනුස් ඛාන්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා